6. මුදුලක්ඛණ ජාතකය (66)
“එකා ඉච්ඡා පූරේ ආසීති” යන මේ ජාතක දේශනාව බුදුරජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් භික්‍ෂුවක් තුළ ඇති වූ කෙළෙස් සිතුවිල්ලක් අරබයා දේශනා කළහ. සැවැත්නුවර වැසි කුල පුත්‍රයෙක් බුදු රජුන්ගේ ධර්ම දේශනාව අසා සම්බුදු සසුනට දිවිපුදා පැවිදි පිළිවෙතින් සරුව භාවනාවේ යෙදුණේ කමටහන් අත් නොහැර දිනක් සැවැත් නුවර පිණ්ඩපාතයෙහි හැසිරෙන්නේ මනාව හැඳ පැළඳගත් ස්ත්‍රියක් දැක ඉඳුරන් බිඳ සුබ වශයෙන් බැලුවේය. ඔහු සිතෙහි කෙළෙස් සැලිණි. පොරොවෙන් ගැසූ කිරි ගසක් මෙන් විය. ඔහු එතැන් සිට කෙළෙස් වසඟ ව, කායික හෝ මානසික සුවයක් නො ලබයි. තැතිගත් මුවකු සමාන විය. සසුනෙහි කළකිරී වැඩුණු කෙස් නියලොම් ඇතිව කිළිටි සිවුරුධාරීව සිටියේය. ඔහුගේ මේ ඉඳුරන්ගේ වෙනස්වීම දුටු යහළු භික්‍ෂූහු ඇවැත්නි, ඔබගේ ඉන්‍ද්‍රිය ප්‍රසන්නතාවය දැන් නැත. හේතුව කුමක්දැයි ඇසූහ. ඇවැත්නි, සසුනෙහි සිත් නො ඇලුණේ වෙමි.
ඉක්බිති, භික්‍ෂූහු ඔහු රැගෙන බුදුරදුන් වෙත ගියහ. මහණෙනි, කිම අකැමැති භික්‍ෂුවක් ගෙන ආවහුදැ යි වදාළහ. ස්වාමීනි, මේ භික්‍ෂුව සසුනෙහි නො ඇලෙන්නේය. මහණ, ඇත්ත ද? එසේය, ස්වාමීනි. ඔබ උකටලී බවට පත් කළේ කවරෙක් ද? ස්වාමීනි, මම පිඬු පිණිස හැසිරෙන්නෙමි. ඉන්‍ද්‍රිය සංවරය බිඳ ස්ත්‍රියක දෙස බැලීමි. එවිට මගේ සිත තුළ කෙළෙස් සැළිනි. එම නිසා මම උකටලී වීමි. ඉක්බිති, බුදුරදහු, මහණ, ඔබ අසංවර ඉඳුරන් ඇති ව විරුද්ධ ලිංගික අරමුණක් ශුභ වශයෙන් බලා කෙලෙසුන්ගෙන් කම්පා වීම අසිරියක් නො වේ. පෙර පඤ්ච අභිඤ්ඤා අෂ්ට සමාපත්තිලාභී, ධ්‍යාන බලයෙන් කෙළෙස් යටපත්කොට පිරිසිදු සිත් ඇති ආකාශගාමී බෝසත්හු පවා ඉන්‍ද්‍රිය සංවරය බිඳ විරුද්ධ ලිංගික අරමුණක් දැක ධ්‍යානයෙන් පිරිහී කෙළෙස් වසඟ ව මහත් දුකක් වින්දාහ. මහමෙර පෙරළන සුළඟ ඇතකු පමණ කුඩා පර්වතයක් පැකිළීයේ ද? මහදඹ රුකක් ඉදිරීමට සමත් සුළඟ බිඳී ගිය ඉවුරක හටගත් කුඩා ගසක පැකිළීයේ ද? මහමුහුද වියලීමට සමත් සුළඟ වැද ගොන්නක දිය වියලා නො යාවි ද? එමෙන් උසස් බුද්ධික ප්‍රභා ඇති පිරිසිදු සිත් ඇති බෝසතුන් අඤාණ අන්‍ථයන් කරන්නා වූ ක්ලේෂයෙන් ඔබ කෙරෙහි කුමක් පිණිස ලජ්ජා වෙයි ද? ඒ පිරිසිදු සත්ත්වයෝ පවා කිලිටි වෙත්. උසස් කීර්තියෙන් යුක්ත වූවෝ ද නින්දාවට පත් වෙති යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු කසී රට මහත් සම්පත් ඇති එක් බමුණු කුලයක ඉපිද නැණවත් බවට පැමිණියාහ. සියලු සිප්සතර පරතෙරට ගොස් පඤ්ච කාමයන් හැර සෘෂි පැවිද්දෙන් පැවිදි ව කිසිණු පිරියම් කොට පංච අභිඤ්ඤා සමග අෂ්ට සමාපත්ති උපදවා ධ්‍යාන සැපයෙන් හිමවත් පෙදෙසෙහි වාසය කළහ. ලුණු ඇඹුල් ලබාගැනීම සඳහා හිමවතින් බැස බරණැස් නුවරට පැමිණ රජ උයනෙහි වැසූ දෙවැනි දවස් සිරුර පිළිදැඟුම් කොට රත් වැහැරියෙන් කළ හඳන සිවුරු හැඳ පොරවා අලුත් දිවි සම එක උරයක කොට ජටා මඬුල්ල බැඳ තවුස් කද ගෙන බරණැස් නුවර පිඬු පිණිස හැසිරෙන්නාහු, රජ මැදුරට පැමිණියහ. රජ ද බෝසතුන්ගේ හැසිරීම් විහරණයෙහි පැහැද කැඳවා මාහැඟි අසුනක වඩා හිඳුවා මිහිරි ආහාර පානයෙන් සතපවා අනුමෙවෙනි බණ අවසානයෙහි උයනෙහි වසන පිණිස ඉල්ලීය. එතුමෝ ද පිළිගෙන රජ මැදුරෙහි දී වළඳා රජ කුලයට උපදෙස් දෙමින් එම උයනෙහි සොළොස් මසක් විසූහ.
බඹදත් රජු කිපුණු පසල් දනව්වක් සංසිඳවීමට යන්නේ, මුදුලක්ඛණා නම් අග මෙහෙසියට තවුස් උතුමාණන්ට උවටැන් කරන්නැ යි කියා ගියේය. බෝසත්හු රජු ගිය කාලයෙහි පටන් තමන්ට කැමැති කැමැති වේලාවල ගෙට යයි. දිනක් මුදුලක්‍ඛණ බිසව බෝසතුන්ට ආහාර පිළියෙල කොට අද තවුසා පමාවෙතැ යි දැන සුවඳ දියෙන් නා සිව්බරණින් සැරසී උඩු මහළෙහි කුඩා සයනයක් පනවා බෝසතුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් වැද හොත්තෙහිය. බෝසත්හු ද තමන්ගේ වේලාව සලකා දැහැනින් නැඟී අහසින් ම රජ නිවසට ගියහ. බිසව වැහැරී සිවුරු හඬ අසා ම තවුසාණන් වැඩියහ යි සිතා, වහා නැඟී සිටියාය. ඇය නැඟිටිත් ම සිනිඳු සළුව ඇද වැටිණි. තවුසාණෝ සිහ මැදුරු කවුළුවෙන් පිවිසෙන්නේ දේවියගේ නිරුවත් රූපාරම්මණය, ඉන්‍ද්‍රිය සංවරය බිඳ ශුභ වශයෙන් බැලූහ. ඔහු ඇතුළත කෙලෙස් සැලිණි. කිරි ගසකට පහර දුන්නාක් මෙනි. එකෙණෙහි ම ඔවුන්ගේ දැහැන් අතුරුදහන් විය. සිඳුණු පියා ඇති කපුටකු මෙන් විය. හේ සිටියේ ම ආහාර පිළිගෙන අනුභව නො කොට කෙළෙසින් සැලී පහයෙන් බැස උයනට ගොස් පන්සලට පැමිණියේය. කෙලෙස් ගින්නෙන් දැවෙමින් අහර නැති බැවින් වියලෙමින් පුවරු ඇඳෙහි වැතිරී සත් දවසක් හොත්තේය.