5. අනභිරති ජාතකය (65)
“යථා නදී ච පත්ථො චාති” යන මේ ජාතක දේශනය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එබඳු ම උපාසකයකු අරබයා දේශනා කළහ. ඔහු තම බිරිය පරීක්ෂා කරන්නේ, ඇගේ දුසිල්බව දැන කලහ කරන ලද්දේ, අවුල් වියවුල් වූ සිත් ඇතිව සත් අට දිනක් බුදුරජුන් බැහැ දැකීමට නො ගියේය. දිනක් ඔහු වෙහෙරට ගොස් බුදුරජුන් වැඳ හුන්නේ, කුමක් නිසා සත් අට දිනක් නො ආවෙහිදැ යි ඇසූ කල්හි, ස්වාමීනි, මගේ බිරිය සිල් නැත්තීය. ඇය කෙරෙහි අවුල් සිත් ඇති හෙයිනි. නො ආවෙමි යි කීය. බුදුරජහු, උපාසකය, ස්ත්රීන් කෙරෙහි මොවුන් අනචාරීයැ යි කෝප නො කොට මැදහත් වීම සුදුසුය. පෙරත් පඬිවරු ඒ කීහ. ඔබ භවාන්තරයෙන් වැසී ගිය බැවින් එකරුණ නො සලකතැ යි වදාරා ඔහු විසින් අයදනා ලද බුදුරජහු ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කැරවන කල්හි බෝසත්හු පෙර මෙන් දිසාපාමොක් ඇදුරු වූහ. ඔහුගේ අතවැසියා බිරියගේ දොස් දැක අවුල් සිතින් දින කීපයක් ඇදුරන් වෙත නො ගොස් එක් දවසක් ඇදුරන් විසින් විචාරණ ලද ඔහු, එකරුණ සැල කළේය. ඉක්බිති, ආචාර්යවරයා, දරුව, ස්ත්රීන් සියල්ලන්ට සාධාරණය. ඔවුන් කෙරෙහි මොවුන් සිල් නැතැ යි, පඬිවරු කෝප නො කරතැ යි වදාරා අවවාද වශයෙන් මේ ගාථාව කීහ.
“යථා නදී ච පන්ථො ච පාණාගාරං සභා පපා,
එවං ලොකිත්ථියො නාම නාසං කුජ්ඣන්ති පණ්ඩිතාති”
එවං ලොකිත්ථියො නාම නාසං කුජ්ඣන්ති පණ්ඩිතාති”
“යම් සේ ගංගාව මහමඟ, සුරා හල, ඉසුබු හල, පින්තාලිය සියල්ලකට ම සාධාරණ ද ලෝකයෙහි ස්ත්රීන් ද එසේ මැයි. නුවණැත්තෝ ඔවුන්ට නො කිපෙත්.”
එහි, “යථා නදී” නොයෙක් තොට ඇති ගඟ නෑම සඳහා පැමිණි සැඬොල් රජු ආදීන්ට ද සාධාරණය. එහි කිසිවකු නෑම නො ලබන්නෝ නො වේ. “පන්ථො” මාර්ගාදියෙහි ද මහමඟ සියල්ලන්ට ම සාධාරණය. කිසිවෙක් එහි ගමන් කිරීමට නො ලබන්නේ නො වෙයි. සුරා ගෘහය ද සියල්ලන්ට ම සාධාරණය. බොනු කැමැති සියල්ලෝ එහි පැමිණෙත්. පින් කැමැත්තන් විසින් මිනිසුන්ට විසීම සඳහා ඒ ඒ තැන කළ ශාලා ද සාධාරණය. සියල්ලෝම එහි පිවිසීම ලබන්නෝය. “එවං ලොකිත්ථියො නාම” දරුව, මානවකය, මේ ලෝකයෙහි ස්ත්රීන් ද සියල්ලන්ට ම සාධාරණය. මේ සාධාරණ යන අරුතින් ගංගා, මාර්ග, අවන්හල්, ශාලා, පැන්තාලි සමානය. එහෙයින් “නාසං කුජ්ඣන්ති පණ්ඩිතා” මේ ස්ත්රීන්ගේ පහත් බව, නො සිරිත් බව, දුසිල් බව සියල්ලන්ට සාධාරණ බව සිතා නුවණැත්තෝ, දක්ෂයෝ නො කිපෙත්.
මෙසේ බෝසත්හු අතවැසියාට අවවාද දුන්හ. ඔහු ඒ අවවාද අසා මැදහත් විය. ඔහුගේ භාර්යාව ද ගුරුතුමන් විසින් දක්නා ලද්දේ වෙමි යි එතැන් සිට පව් කම් නො කළාය.
බුදුරජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් වදාළහ. උපාසක සෝවාන් ඵලයෙහි පිහිටියේය. බුදුරජහු අනුසන්ධි ගළපා ජාතකය නිම කළහ. එදින අඹු සැමියෝ දැන් අඹුසැමියෝ වූහ. ඇදුරු බමුණාහු මම ම වීමි.
6. මුදුලක්ඛණ ජාතකය (66)
“එකා ඉච්ඡා පූරේ ආසීති” යන මේ ජාතක දේශනාව බුදුරජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් භික්ෂුවක් තුළ ඇති වූ කෙළෙස් සිතුවිල්ලක් අරබයා දේශනා කළහ. සැවැත්නුවර වැසි කුල පුත්රයෙක් බුදු රජුන්ගේ ධර්ම දේශනාව අසා සම්බුදු සසුනට දිවිපුදා පැවිදි පිළිවෙතින් සරුව භාවනාවේ යෙදුණේ කමටහන් අත් නොහැර දිනක් සැවැත් නුවර පිණ්ඩපාතයෙහි හැසිරෙන්නේ මනාව හැඳ පැළඳගත් ස්ත්රියක් දැක ඉඳුරන් බිඳ සුබ වශයෙන් බැලුවේය. ඔහු සිතෙහි කෙළෙස් සැලිණි. පොරොවෙන් ගැසූ කිරි ගසක් මෙන් විය. ඔහු එතැන් සිට කෙළෙස් වසඟ ව, කායික හෝ මානසික සුවයක් නො ලබයි. තැතිගත් මුවකු සමාන විය. සසුනෙහි කළකිරී වැඩුණු කෙස් නියලොම් ඇතිව කිළිටි සිවුරුධාරීව සිටියේය. ඔහුගේ මේ ඉඳුරන්ගේ වෙනස්වීම දුටු යහළු භික්ෂූහු ඇවැත්නි, ඔබගේ ඉන්ද්රිය ප්රසන්නතාවය දැන් නැත. හේතුව කුමක්දැයි ඇසූහ. ඇවැත්නි, සසුනෙහි සිත් නො ඇලුණේ වෙමි.
ඉක්බිති, භික්ෂූහු ඔහු රැගෙන බුදුරදුන් වෙත ගියහ. මහණෙනි, කිම අකැමැති භික්ෂුවක් ගෙන ආවහුදැ යි වදාළහ. ස්වාමීනි, මේ භික්ෂුව සසුනෙහි නො ඇලෙන්නේය. මහණ, ඇත්ත ද? එසේය, ස්වාමීනි. ඔබ උකටලී බවට පත් කළේ කවරෙක් ද? ස්වාමීනි, මම පිඬු පිණිස හැසිරෙන්නෙමි. ඉන්ද්රිය සංවරය බිඳ ස්ත්රියක දෙස බැලීමි. එවිට මගේ සිත තුළ කෙළෙස් සැළිනි. එම නිසා මම උකටලී වීමි. ඉක්බිති, බුදුරදහු, මහණ, ඔබ අසංවර ඉඳුරන් ඇති ව විරුද්ධ ලිංගික අරමුණක් ශුභ වශයෙන් බලා කෙලෙසුන්ගෙන් කම්පා වීම අසිරියක් නො වේ. පෙර පඤ්ච අභිඤ්ඤා අෂ්ට සමාපත්තිලාභී, ධ්යාන බලයෙන් කෙළෙස් යටපත්කොට පිරිසිදු සිත් ඇති ආකාශගාමී බෝසත්හු පවා ඉන්ද්රිය සංවරය බිඳ විරුද්ධ ලිංගික අරමුණක් දැක ධ්යානයෙන් පිරිහී කෙළෙස් වසඟ ව මහත් දුකක් වින්දාහ. මහමෙර පෙරළන සුළඟ ඇතකු පමණ කුඩා පර්වතයක් පැකිළීයේ ද? මහදඹ රුකක් ඉදිරීමට සමත් සුළඟ බිඳී ගිය ඉවුරක හටගත් කුඩා ගසක පැකිළීයේ ද? මහමුහුද වියලීමට සමත් සුළඟ වැද ගොන්නක දිය වියලා නො යාවි ද? එමෙන් උසස් බුද්ධික ප්රභා ඇති පිරිසිදු සිත් ඇති බෝසතුන් අඤාණ අන්ථයන් කරන්නා වූ ක්ලේෂයෙන් ඔබ කෙරෙහි කුමක් පිණිස ලජ්ජා වෙයි ද? ඒ පිරිසිදු සත්ත්වයෝ පවා කිලිටි වෙත්. උසස් කීර්තියෙන් යුක්ත වූවෝ ද නින්දාවට පත් වෙති යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.