4. දුරාජාන ජාතකය (64)
“මාසු නන්‍දි ඉච්ඡති මන්ති” යන මේ ජාතකය බුදු රජහු ජේතවනයෙහි වසන සේක්, එක් උපාසකයකු අරභයා දෙසූහ. සැවැත් නුවර වැසි උපාසකයකු තිසරණ පන්සිල්හි පිහිටියේ බුද්ධ මාමක, ධම්ම මාමක, සංඝ මාමක වූයේ විය. ඔහු ඔහුගේ බිරිය සිල් නැත්තී, පවිටු දම් ඇත්තී වූවාය. යම් දවසක මේ කාමයෙහි වරදවා හැසිරෙයි ද එදින සියයකට මිලට ගත් දාසියක මෙන් වෙයි. මිථ්‍යාචාර නො කළ දිනයෙහි ගෘහපතිනිය කමෙන් වන්නීය. සැඬය, පරුෂය, උපාසක තෙම ඇගේ ස්වභාවය දැනගන්න නො හැක්කේය. ඇය විසින් බිය ගන්වන ලද ඔහු බුදු රජුන් බැහැ දැකීමට නො යයි. දිනක් සුවඳ මල් ආදිය ගෙන බුදුරජුන් වෙත ගොස් වැඳ හුන් ඔහුගෙන් බුදුරජහු මෙසේ ඇසූහ. උපාසකය, ඔබ සත් අට දිනක් බුද්ධෝපස්ථානයට මක් නිසා ද නො පැමිණියෙහි ද? ස්වාමීනි, මගේ භාර්යාව එක දවසක සියයකට මිලට ගත් දාසියක මෙනි. තවත් දිනක ගෘහපතිනියක මෙන් සැඬය. පරුෂය. මම ඇගේ ස්වභාවය දැනීමට අසමත් වෙමි. ඇය විසින් බය කරන ලද මම බුද්ධෝපස්ථානයට නො පැමිණෙමි. එවදන් ඇසූ බුදුරජහු, උපාසකය, මාගමුන්ගේ හැඟීම්, දැනීම පහසු නො වේයැ යි පෙර පඬුවෝ ද කීහ. ඔහු විසින් අයදනා ලද බුදුරජහු ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසතාණෝ දිසාපාමොක් ඇදුරව පන්සියක් මානවකයන්ට ශිල්ප උගන්වති. එකල අසල් රටවැසි බ්‍රාහ්මණ මානවකයෙක් අවුත් ඔවුන් ළඟ ශීලය උගන්නේ එක් ස්ත්‍රියක සමග බැඳුණු සිත් ඇත්තේ, ඇය බිරියකොට ගෙන එම බරණැස් නුවර ම වසන්නේ, දෙතුන් වරක් ගුරු උවටැනට යයි. ඒ ඔහුගේ බිරිය දුසිල්ය. පවිටු දම් ඇත්තීය. මිථ්‍යාචාරයෙහි හැසුරුණු දිනයෙහි දාසියක වෙයි. නොද දින ගෘහපතිනිය මෙන් සැඬය. පරුෂය. ඔහු ඇයගේ ස්වභාව දැනගන්න නො හැක්කේ, බිය ගන්වනු ලබන්නේ, ආකූල සිත් ඇති ඇත්තේ, ගරු උවටැනට නො යයි. හත් අට දවසකට පසු ගුරු වෙත පැමිණි මානවකයා අමතා මානවකය, කිම, මෙතෙක් දවස් ඔබ නො දැක්මි යි කීහ. ගුරුතුමනි, ඒ මගේ බිරිය එක් දිනක් මා කැමැති වන්නීය. මා පතන්නීය. දාසයක මෙන් නිහතමානී වන්නීය. එක දවසක් ගෘහපතිනිය මෙන් තදය. සැඩය. පරුෂය. මම ඇගේ හිතැඟි දැනීමට අසමත් වෙමි. ඇය විසින් බියට පත් කරනු ලබන මම අවුල් සිත් ඇත්තේ, ගුරු උවටැන් සඳහා නො ආමි යි කීය. එවිට ගුරුතුමා, මානවකය, ඒ එ සේ මැයි. ස්ත්‍රීන් නො සිරිතෙහි හැසුරුණු දිනයෙහි ස්වාමියාට කීකරු ව සිටී. දාසියක් මෙන් නිහතමානී වෙයි. නො හැසිරුණු දිනයෙහි උඩඟු ව ස්වාමියා නො තකන්නීය. මේ අයුරින් මෙසේ කීහ. සුසිරිත් නැත්තේය. සිල් නැත්තේය. ඔවුන්ගේ හැඟීම් දැනීමට අසීරුය. ඔවුන් කැමැති වන කල්හිත් නො කැමැති වන කල්හිත් මැදහත් ව සිටිය යුතුයැ යි කියා ඔහුට අවවාද වශයෙන් මේ ගාථාව කීහ.
“මා සු නන්‍දි ඉච්ඡති මං මා සු සොචි න ඉච්ඡති,
ථීනං භාවො දුරාජානො මච්ඡස්සෙවොදකෙ ගතන්ති”
“මේ ස්ත්‍රිය මා කැමැති වෙයි කියා හෝ මා නො කැමැති වෙයි කියා හෝ ශෝක නො වන්න. ස්ත්‍රීන්ගේ ස්වභාවය දත නො හැකිය. ජලයෙහි මත්ස්‍යයාගේ ගමන මෙනි.”
“මා සු නන්‍දි ඉච්ඡති මං” මෙහි ‘සු’ යනු නිපාතයි. මේ ස්ත්‍රිය මා කැමැති වෙයි. මා පතයි. මට ආදරය කරයි යනුවෙන් සතුටු නො වන්නේය. “මා සු සොචි න ඉච්ඡති” මේ ස්ත්‍රිය මා නො කැමැති වෙතැ යි ශෝක නො කැරව. ඇය කැමැති වන කල්හි සතුටක්, නො කැමති වන කල්හි අසතුටක් නො කොට මැදහත්ව සිටුව යි, දක්වයි. “ථීනං භාවො දුරාජානො” ස්ත්‍රීන්, හැඟීම් නම් ස්ත්‍රී මායම්වලින් වැසී ඇති බැවින් දත නො හැකිය. යම් සේ මත්ස්‍යයන්ගේ ගමන ජලයෙන් සැඟවී ඇති බැවින් දැනීමට අපහසුය. එම නිසා ම මත්ස්‍යයෝ කෙවුලන් ආ කල්හි, ජලයෙන් ගමන් මඟ වසා පලා යති. තමන් ගැනීමට ඉඩ නොදෙති. එමෙන් ස්ත්‍රීහු මහත් දුසිරිතක් කොට අපි ඔවැනි ක්‍රියා නො කරමු යි තමා කළ ක්‍රියාව ස්ත්‍රී මායමින් වසා හිමියන් රවටත්. එම නිසා මේ ස්ත්‍රීහු නම් පාප ක්‍රියා, දුසිරිත් ඇත්තාහු ම වෙත්. ඔවුන් කෙරෙහි මැදහත් වූයේ ම සැපවත් වේය.