3. තක්ක ජාතකය (63)
“කොධනා අකතඤ්ඤූචාති” යන මෙය බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, කළකිරුණු භික්ෂුවක් අරභයා වදාළහ. බුදුරජහු ඔහුගෙන් ඔබ උකටලී වූවෙහිදැ යි විචාරා සත්‍යයැ යි කී කල්හි ස්ත්‍රීහු නම් කෙළෙහි ගුණ නො දන්නෝය. මිතුරන්ට අවැඩ කරන්නෝය. ඔබ කුමක් නිසා ඔවුන් වෙනුවෙන් කළකිරුණෙහිදැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන සමයෙහි බෝසත්හු තවුස් පැවිද්දෙන් පැවිදි ව ගංතෙර අසපුවක් කොට සමාපත්ති ද අභිඥා ද උපදවා ධ්‍යාන ගෙන ඇලීම් සැපයෙන් වාසය කරති. එසමයෙහි බරණැස් සිටුහුගේ දියණිය දුෂ්ට කුමාරි නම් වූවාය. ඕ ඉතා දරුණුය. දැසි දස් කම්කරුවන්ට බැණ වදියි. පහර දෙයි. දිනක් ඇය රැගෙන ජල ක්‍රීඩා කරන්නෙමැ යි ගඟට ගියහ. ඔවුන් ක්‍රීඩා කරද්දී ම හිරු බැස යන වේලාව පැමිණියේය. වැහි වලා ගැසිණි. මිනිස්සු වැහි වලා දැක වේගයෙන් ඔබිමොබ පලා ගියහ. සිටු දුවගේ දැසි කම්කරුවෝ අද අප මැය පිටු දැකීමට සුදුසුයැ යි ඇය ජලයෙහි සිටියදී ම අත්හැර ගොඩ ආහ. වර්ෂාව වසින්න පටන් ගත්තේය. හිරු ද අවරට ගියේය. අන්ධකාරය විය. ඒ මිනිස්සු ඇය හැර ගෙට ගොස් සිටු දුව කොහිදැ යි ඇසූ කල්හි ඇය ගඟින් ගොඩට ආවාය. ඉන් පසු අපි නො දනිමු. ඇගේ නෑයෝ සොයා ද නො දුටහ.
සිටු දුව මහත් සේ විලාප දෙන්නී, ජලයෙන් ගසාගෙන යනු ලබන්නී, මැදියම් රැයෙහි බෝසතුන්ගේ පන්සල සමීපයට පැමිණියාය. බෝසත්හු ඇගේ ශබ්දය අසා මේ ස්ත්‍රියකගේ ශබ්දයෙකි. ඇයට ආරක්ෂාවක් කරන්නෙමි යි තණ හුලක් ගෙන ගංතෙරට ගොස් ඇය දැක බය නො වන්න, බය නො වන්නයැ යි අස්වසා ඇතෙක්ගේ බල ඇති ශක්තිමත් තවුසාණෝ ගඟ තරණය කරමින් ගොස් ඇය ඔසවා තම අසපුවට ගෙනවුත් ගිනි දල්වා දුන්නේය. සීතල පහ වූ කල්හි මිහිරි ඵලවැල දුන්හ. ඒවා අනුභවකොට සිටි ඇයගෙන් ඔබ කොහි වසන්නියක් වෙහි ද? කෙසේ නම් ගංගාවට වැටුණේදැ යි විචාළහ. එ සේ නම් ඔබ මෙහි ම වසන්නැ යි පන්සලෙහි රඳවා ගෙන දෙතුන් දිනක් තමා එළිමහනෙහි වැස දැන් යව යි කීහ. එවිට සිටු දුව මම මේ තවුසා ශීල භේදයට පමුණුවා ඔහු රැගෙන ම යමි යි නො ගියාය. මෙසේ කල්යත් ම සිටු දුව ස්ත්රීන්ගේ ආකල්ප ස්ත්රීන්ගේ මායම් දක්වා ඔහුගේ ශීල භේදයකොට ධ්‍යානයන් අතුරුදහන් කැර වූවාය. තවුසාණෝ ඇය පාවාගෙන වනයෙහි ම වසති. අනතුරුව ඕ තවුසාට හිමියනි, මේ වන වාසයෙන් කවර ඵලක් ද? මිනිස් පියසට යමු යි කීවාය. ඔහු ද ඇය රැගෙන එක්තරා කුඩා පසල් ගමකට අවුත් මෝරු, මී කිරි විකුණා ජීවිකාව කොට ඇය ද පෝෂණය කළහ. මෝරු විකුණා ජීවත් වන නිසා ඔවුන්ට තක්ක පණ්ඩිතයැ යි නම් කළහ. ඒ ගම් වාසීහු ඔහුට අපට යුතු අයුතුකම් කියමින් මෙහි ම වාසය කරනු මැනවැ යි වියදම් දී ගම් දොර කුටියක් කොට වාසය කැරවූහ.
එසමයෙහි සොරු පර්වතයෙන් බැස අවුත් පසල් දනව්වට පහර දෙත්. ඔවුහු එක් දිනක් ඒ ගමට පහර දී ගම් වාසීන් ලවා ම බඩු පොදි ඔසවවා යන්නාහු, එම සිටු දියණිය ද ගෙන තමන් වසන තැනට ගොස් සෙසු ජනයා හැර යැවූහ. සොර දෙටුවා ඇගේ රූපයෙහි බැඳී ඇය තමාගේ බිරිඳ කළේය. බෝසත්හු මෙනම් ඇත්තී, කොහිදැ යි විචාළහ. සොර දෙටුවා විසින් ඇය ගෙන තමාගේ බිරිය කරන ලදැ යි ඇසුව ද ඕ මා හැර එහි නො වසන්නීය. එයින් පලා යන්නීයැ යි ඇගේ නැවත පැමිණීම බලමින් එහි ම විසූහ.
සිටු දුව ද මෙසේ සිතුවාය. මොහු මෙහි අවුත් මෙතනින් මා රැගෙන යන්නේය. එවිට මම මේ සැපතින් පිරිහෙන්නෙමි. එම නිසා මම සෙනෙහසින් මෙන් ඔහු මෙහි කැඳවා මරවන්නේ නම් මැනවි. ඕ තුමූ එක් මිනිසකු කැඳවා මම මෙහි දුක සේ වෙසෙමි. පණ්ඩිතයෝ අවුත් මා රැගෙන යත්වා යි හසුනක් යැව්වාය. හෙතෙම ඒ හසුන අසා අදහා එහි ගොස් ගම් දොර සිට හසුනක් යැව්වේය. ඈ නික්මී ඔහු දැක ස්වාමීනි, ඉදින්, අපි දැන් යන්නෙමු නම් සොර දෙටුවා ලුහුබැඳ අපි දෙදෙනා ම ඝාතනය කරන්නේය. රාත්‍රී කාලයේ යන්නෙමු යි. ඔහු කැඳවා කවා කාමරයක හිඳුවා සවස සොර දෙටුවා අවුත් සුරා මත් වූ කල්හි ස්වාමීනි, මේ වේලාවෙහි ඔබගේ සතුරකු දකින්නේ නම් ඔහුට ඔබ කුමක් කරන්නේදැයි ඇසුවාය. මේ මේ දේ කරමි යි කී කල්හි ඒ සතුරා දුර සිටින්නකු නැත. කොටුවෙහි හිඳින්නේය. සොර දෙටුවා ගිනි හුළක් ගෙන එහි ගොස් ඔහු දැක ගෙන ගේ මැද හෙළා වැලමිට ආදියෙන් කැමති පරිදි ගැසුවේය. තවුසාණෝ එ සේ පහර දෙනු ලබද්දීත් අන් කිසිවක් නො කියා ස්ත්‍රීහු ක්‍රෝධ ඇත්තෝය. කෙළෙහි ගුණ නො දන්නෝය, කේලාම් කියන්නෝය, මිතුරන්ට අහිත කරන්නෝය, මෙපමණක් කියති. සොරා ඔහුට ගසා බැඳ හොවා රාත්‍රී භෝජනය අනුභව කොට සයනය කළේය. පිබිදුණු ඔහු සුරා මදය නැති වූ කල්හි නැවතත් ඔහුට ගසන්න පටන් ගත්තේය. එවිට ද ඒ තවුසාණෝ ඒ සතර පද ම කියති.
සොරා මෙසේ සිතීය. මේ තෙමේ මෙසේ පහර දෙනු ලබන කල්හි වෙන කිසිවක් නො කියා මේ සතර පද ම කියයි. ඔහුගෙන් මේ ගැන විචාරමි. ඇය නිදි බව දැන ඔහුගෙන් මෙසේ විචාළේය. පින්වත, ඔබ මෙසේ ගසනු ලබන කල්හිත් මේ සතර පදය ම කියන්නෙහි. එවිට තක්ක පණ්ඩිතයෝ, එ සේ නම් අසනු මැනවි යි ඒ කාරණය මුල පටන් කීහ. මම පෙර අරණ්‍ය වාසී වූ එක් තාපසයෙක්මි. ධ්‍යාන ලාභී වීමි. ඒ මම ගංගාවෙහි ගසා ගෙන යන මේ ස්ත්‍රිය ගොඩට ගෙන පෝෂණය කළෙමි. මැය මා පොළඹවා ධ්‍යානයෙන් ද පහ කළාය. ඒ මම වන වාසය අත්හැර මැය පෝෂණය කරමින් කුඩා පසල් ගමක වාසය කරමි. ඉක්බිති, මැය සොරුන් විසින් මෙහි ගෙනෙන ලදි. මම දුක සේ වසමි. අවුත් මා ගෙන යන්නැ යි මට හසුනක් එවා දැන් නුඹේ අතට පත් කළේය. මේ කරුණ නිසා මම මෙසේ කියමි. සොරා සිතුවේය. යම් බඳු ස්ත්‍රියක මෙබඳු ගුණවත්, උදව් උපකාර කළ කෙනකුටත් මෙසේ විරුද්ධව පිළිපැද්දා නම් ඈ මට කොයි ආකාර උවදුරක් නො කරන්නී ද? මෑ පන්නා හැරිය යුතුයි. හෙතෙම තක්ක පඬිතුමා අස්වසා ඔහු සතුටු කැරවා කඩුව ගෙන නික්මී මේ පුරුෂයා ගම් දොර දී ඝාතනය කරන්නෙමි යි කියා ඇය සමග ගමින් බැහැරට ගොස් මොහු අතින් ගනිවු යි ඔහු ලවා ඇගේ අතින් අල්ලවා ගෙන කඩුව ගෙන තක්ක පඬිතුමාට පහර දෙන්නාක් මෙන් ඇය දෙපළුකොට හිස් සෝදා නා තක්ක පඬිතුමාට කීප දිනක් ප්‍රණීත ආහාරයෙන් සංග්‍රහ කරන්නේ, දැන් කොහි යන්නෙහිදැ යි කීවේය. තක්ක පඬිතුමා ගිහි ගෙයි විසීමෙන් මට කාරියක් නැත. තවුස් පැවිද්දෙන් පැවිදි ව ඒ අරණ්‍යයෙහි ම වසන්නෙමි යි කීවේය. එ සේ නම් මම ද පැවිදි වන්නෙමි යි දෙදෙනා ම පැවිදි වී ඒ අරණ්යායතනයට ගොස් අභිඥා පහ ද සමාපත්ති අට ද උපදවා ගෙන දිවි කෙළවර බඹලොව උපන්නාහ.