2. අන්ධභූත ජාතකය (62)
“යං බ්‍රහ්මණොති” යන මේ දේශනාව බුදුරජහු දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක්, කළකිරුණු භික්‍ෂුවක් අරබයා වදාළහ. බුදුරජහු එම භික්‍ෂුවගෙන් මහණ, ඔබ උකටලී වූයේදැ යි විචාරා සත්‍යයැ යි කී කල්හි, මහණ, ස්ත්‍රීහු නම් නො රැකිය හැක්කෝය. පෙර පඬිවරු ස්ත්‍රියක ගැබෙහි පටන් ආරක්‍ෂා කරන්නාහු, නමුදු රැකීමට නො හැකි වූහැ යි කියා ඉකුත් වත දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි බෝසත්හු ඔහුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගෙන නිසි වයසට පැමිණ සියලු ශිල්පයන්හි කෙළවරට පැමිණ පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දැහැමින් රාජ්‍යය කැරවූහ. හෙතෙම පුරෝහිතයා සමග දූ කෙළියෙහි යෙදෙයි. ක්‍රීඩා කරන විට,
“සබ්බා නදී වංකගතා සබ්බෙ කට්ඨමයා වනා,
සබ්බිත්‍ථියො කරෙ පාපාං ලභමානා නිවාතකෙති”
සබ්බිත්‍ථියො කරෙ පාපාං ලභමානා නිවාතකෙති”
“සියලු ගංගා ඇදේට ගලයි. සියලු වනයන් දැව මය. සියලු ස්ත්‍රීහු ආවරණ ස්ථානයක් ලබන්නාහු, වරදෙහි බැඳෙති.”
මේ දූ කෙළි ගීය ගයමින් රිදී පුවරුවෙහි රන් පස කැට දමයි. මෙසේ ක්‍රීඩා කරන කල්හි රජතුමා හැම විට ම දිනයි. පුරෝහිතයා පරදියි.
ඔහු ක්‍රමයෙන් ගෙදර සියලු ධනය වැය වී යන කල්හි මෙසේ සිතීය. මෙසේ ගියහොත් මගේ ගෙදර සියලු ධනය වැය වන්නේය. පුරුෂයකු කරා නො ගිය මාගමක් සොයා මගේ නිවසෙහි රදවා ගනිමි. මේ අතර ඔහුට මෙසේ සිතුණි. අන් පුරුෂයකු දුටු විරූ ස්ත්‍රියක රැකීමට නො හැක්කෙමි. මව් කුසෙහි පටන් එක් මාගමක් රැක ඇය නිසි වයසට පැමිණි කල්හි තම වසඟයට ගෙන එක් පුරුෂයකු පමණක් ඇත්තියක කරන්නේය. ඒ පුරෝහිතයා ශරීර විෂයෙහි දක්‍ෂයෙකි. ඉක්බිති, එක් දුප්පත් ගැබිනි ස්ත්‍රියක දැක ඇය දුවක වදන්නීයැ යි දැන ඇය වැදූ කල්හි ධනය දී පිටත් කැර යවා ඒ කුමරිය කිසි ම පුරුෂයකුට දැකීමට නො දී ගැහැනුන් අතට ම දී ඇති දැඩිකොට නිසි වයසට පත් කල්හි ඇය තමාගේ වසඟෙහි තැබීය. නිසි වයසට පත්වෙන තුරු රජු සමග දූ කෙළියෙහි නො යෙදුණේය. තමාගේ වසඟයට පත් කල්හි මහරජ, දූ කෙළියෙහි යෙදෙමු යි කීවේය. රජු මැනවැ යි පෙර මෙන් ම ක්‍රීඩා කළේය. රජු ගායනාකොට පසැට දමන කල්හි පුරෝහිතයා මගේ මෙනවිය හැරයැ යි කීය. එතැන් පටන් පුරෝහිතයා දිනයි. රජ පරදියි.
බෝසත්හු මොහුගේ නිවසෙහි එක් පුරුෂයකු ඇති එක ස්ත්‍රියක් විය යුතුයැ යි පරීක්‍ෂා කැරවා බලන්නේ, ඇති බැව් දැන ඇගේ ශීලය බිඳින්නෙමි යි එක් ධූර්තයකු කැඳවා පුරෝහිත බමුණාගේ බිරිඳගේ ශීලය බිඳ දැමීමට හැකිදැ යි ඇසීහ. හැකිවන්නෙමි යි දේවයන් වහන්ස, ඉක්බිති, ධනය දී එ සේ නම් වහා නිමවා පියව යි ඔහු යැවීය. ඔහු රජුගෙන් ධනය රැගෙන සුවඳ, සුවඳ දුම්, වත්සුණු, කපුරු ආදිය ගෙන ඔහුගේ නිවස සමීපයෙහි සියලු සුවද වර්‍ගවලින් යුත් කඩයක් ඇරඹීය. පුරෝහිත බමුණාගේ ගෙය ද මහල් හතකි. දොරටු කොටු හතකින් යුක්ත වෙයි. සියලු ම දොරටු කොටුවල ස්ත්‍රීන් විසින් ම ආරක්‍ෂා කරන ලදි. පුරෝහිත බමුණා හැර වෙනත් පුරුෂයකුට ගෙට පිවිසීමට ලැබෙන්නේ නැත. කසල ඉවත දමන පැස පවා පරීක්‍ෂාකොට ම ගෙට ගනිති. පුරෝහිතයා ම ඒ මානවිකාව දැකීම ලබයි. ඇයට එක් මෙහෙකාර ස්ත්‍රියක් සිටියාය. ඉක්බිති, ඇයගේ ඒ මෙහෙකාර ස්ත්‍රිය සුවඳමල්, මුල් ගෙන යන්නේ එම ධූර්තයාගේ අවන්හල ළඟින් යන්නීය. ඔහු ඇගේ සේවිකාවයැ යි නියම වශයෙන් දැන එක් දිනක් ඇය එනු දැක ම අවන්හලින් නැඟිට ගොස් ඇගේ පා මුල වැටී අත් දෙකින් ම පාගෙන මෑණියනි, මෙතෙක් කල් කොහි ගියාදැ යි හැඬීය. ඉක්බිති, සෙසු පිරිවර ධූර්තයෝ ද එකත්පසක සිට අත්පා මුව සටහන් අනුව ද හැසිරීම් අනුව ද මව් හා පුතු එක සමානයැ යි කීවාහුය. ඒ ස්ත්‍රිය ද මෙසේ ඔවුන් කියන කල්හි තමන් නො අදහා මොහු මගේ පුතා වන්නේයැ යි අඬන්න පටන් ගත්තාය. ඒ දෙදෙනා ම හඬා වැළප ඔවුනොවුන් වැළඳගෙන සිටියහ.
අනතුරුව ඒ ධූර්තයා මෙසේ කීය. මෑණියනි, කොහි වසන්නෙහි ද? දරුව, පුරෝහිතයාගේ කිඳුරි ලීලාවෙන් වසන්නා වූ රුවින් අගතැන් පත් ලාබාල ස්ත්‍රියට උවටැන් කරමින් වසමි. මෑණියනි, දැන් කොහි යන්නෙහි ද? ඇයට සුවඳ මල් ආදිය ගෙන ඒමට යමි. මෑණියනි, අන් තැනකට යාමෙන් කවර ඵලයක් ද? මෙතැන් පටන් මා වෙතින් ම ගෙන යනු මැනවි. මුදල් නො ගෙන ම බොහෝ බුලත්, කිතුල් ආදිය ද විවිධ මල් ද දුන්නේය. මානවිකාව බොහෝ සුවඳ මල් ආදිය රැගෙන එනු දැක කිම, මෑණියනි, අද අපගේ බමුණා පැහැදුණේදැ යි කීවාය. කුමක් නිසා මෙසේ කියන්නෙහි ද? මේ ද්‍රව්‍ය වැඩිපුරබව දැකය. බමුණා වැඩිපුර මුදල් නො දුන්නේය. මා විසින් වනාහි මේවා මගේ පුතා සමීපයෙන් ගෙනෙන ලදි. එතැන් පටන් බමුණා විසින් දෙන ලද මුදල් තමා ම ගෙන ධූර්තයාගේ සමීපයෙහි සුවඳ මල් ආදිය ගෙන එන්නීය. ධූර්තයා කීප දිනක් ගිය තැන ගිලන් බවක් ආරූඪ කරගෙන හොත්තේය. ඈ ඔහුගේ ආපන අවන්හලෙහි දොරටුව ළඟට ගොස් ඔහු නො දැක මගේ පුතා කොහිදැ යි විචාළාය. නුඹේ පුතාට අපහසු බවක් ඇතිවිය. ඈ ඔහු වැතිර හුන් තැනට ගොස් හිඳගෙන පිට පිරිමදින්නී, දරුව, නුඹට ඇති අපහසුව කුමක්දැ යි විචාළාය. ඔහු නිහඬ විය. දරුව, නො කියන්නේ ඇයි? මෑණියනි, මැරුණත් නුඹට නම් කියන්න නො හැකියි. මට නො කියා කාට කියන්න ද? දරුව, මෑණියනි, මට වෙන අපහසුවක් නැත. ඒ මානවිකාවගේ රූසපුව අසා ඈ පිළිබඳ සිත් ඇත්තේ වෙමි. ඇය ලබන්නේ නම් ජීවත් වන්නෙමි. නො ලබන්නේ නම් මෙහි ම මැරෙන්නෙමි. දරුව, මට එය බාරයි. නුඹ ඒ ගැන නො සිතව යි ඔහු අස්වසා බොහෝ සුවඳ මල් ආදිය රැගෙන මානවිකාවගේ ළඟට ගොස් දරුව, මගේ පුත්‍රයා මා වෙතින් නුඹේ රූ සපුව අසා ඔබ හා බැඳුනු සිත් ඇත්තෙක් වූයේය. කුමක් කටයුතු ද? ඉදින්, ඔහු රැගෙන එන්න හැක්කේ නම් මගෙන් බාධාවක් නැත.