9. නක්ඛත්ත ජාතකය (49)
“නක්ඛත්තං පතිමානෙත්තන්ති” යන මේ ජාතකය බුදුරජුන් දෙව්රම් වෙහෙර වසන සේක්, එක්තරා ආජීවකයකු අරබයා දේශනා කළහ. සැවැත් නුවර එක් කුල පුත්‍රයෙක් තමාගේ පුත්‍රයාට ජනපදයෙහි එක් කුල දුවක කැමැති කැරවා අසුවල් දින ගන්නෙමි යි දින නියමකොට නියම දිනය පැමිණි කල්හි, හේ තම කුලුපග ආජීවකයකුගෙන් විමසා ස්වාමීනි, අද අපි මඟුලක් කරන්නෙමු නැකත සුදුසුදැ යි විමසීය. ඔහු ද මොහු පළමු ව මගෙන් නො විමසා දිනය නියමකොට දැන් විමසයි. හොඳයි. මොහු හික්ම වන්නෙමි යි සිතා අද ඉතා අශුභ දිනයකි. අද විවාහ මංගල්‍යය සිදු කළහොත් මහත් විනාශයක් වන්නේයැ යි කීය. ඒ පවුලෙහි මිනිස්සු ඔහුගේ කටයුතු සූදානම්කොට ඔවුන් නො එන බව දැන ඔවුන් විසින් ම දිනය නියම කරන ලදි. එහෙත් නො ආවෝය. අපට ද බොහෝ මුදල් වියදම් විය. ඔවුන්ගෙන් ඇති වැඩය කුමක් ද? අපේ දුව වෙන අයකු හට දෙමු යි පිළිවෙල කළ උත්සවයෙන් ම දුව අන් අයකුට දුන්හ.
අනෙක් අය දෙවැනි දවසෙහි අවුත් තොපගේ දුව දෙව යි කියා සිටියහ. සැවැත් නුවර වාසීහු දනව් වැසි ඔබ ගැහැවියෝය. පවිටු අදහස් ඇත්තෝය. දවස නියමකොට නො දන්වා නො පැමිණියෝය. ආ ගමනින් ම ආපසු යවු. අප විසින් දැරිය අනිකකු හට දෙන ලද්දීයැ යි අපහාස කළහ. ඔවුහු ඔවුන් සමග කලහකොට ආ මඟින් ම ආපසු ගියහ. ආජීවකයා විසින් ඒ මිනිසුන්ගේ මංගල්‍යයට අනතුරක් කළ බව භික්ෂූන් අතර පැතිර ගියේය. ඒ භික්ෂූහු දම් සභාවෙහි රැස්වූවාහු. ඇවැත්නි, ආජීවකයා විසින් කුලයක මංගල අන්තරාය කරන ලද්දේයැ යි කථා කරමින් හුන්හ. බුදුරජහු වැඩ මහණෙනි, කවර කථාවෙකින් හුන්නාහුදැ යි විමසූහ. ඔවුහු මේ කථාවෙනැ යි කීහ. මේ ආජීවකයා මංගල අන්තරාය කළේ දැන් පමණක් නො වේ. පෙරත් මොහු ඔවුන්ට කිපී මංගල අන්තරාය කළේමැ යි වදාරා ඉකුත් වත දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි නගර වාසීහු දනව් වාසීන්ට දියණියක කැමැති කැරවා ගෙන දිනය නියමකොට තම කුළුපග ආජීවක පැවිද්දාගෙන්, ස්වාමීනි, අද අපගේ මංගල කාර්යයක් ඇත. නැකැත සුබදැ යි ඇසූහ. ඔහු මොවුහු තම කැමැත්තෙන් දිනය නියම කැර ගෙන දැන් මගෙන් විමසති යි කිපී මොවුන්ගේ මංගල්‍යයට අන්තරායක් කරන්නෙමි යි සිතා අද නැකත අසුබය. අද දින මංගල්‍යය සිදු කළහොත් මහත් විනාශයකට පැමිණෙන්නාහුයැ යි කීය. ඔවුහු ආජීවකගේ වචනය අදහා නො පැමිණියහ. දනව් වැසියෝ ඔවුන්ගේ නො පැමිණීම දැන ඔවුහු තුමූ ම දින නියමකොට නො පැමිණියෝය. අපට ඔවුන්ගෙන් කම් නැතැ යි වෙනත් අයකු හට දැරිය දුන්හ. නගර වැසියෝ දෙවැනි දින පැමිණ දැරිය ඉල්ලූහ. දනව් වැසියෝ ඔබලා නගර වැසියෝය. ලජ්ජා නැති ගැහැවියෝය. දිනය නියමකොට ඇවිත් නො ගත්තාහුය. ඔබලා නො පැමිණි බැවින් අපි අනිකකු හට දුනිමු. අපි ආජීවකයාගෙන් නැකත අසුබයැ යි අසා නො පැමිණියෙමු. අපට දැරිය දෙවු. අපි ඔබ නො පැමිණි බැවින් අනෙකකු හට දෙන ලද්දේය. දැන් දුන් දැරිය කෙසේ ආපසු ගෙන එන්නෙමුදැ යි,
මෙසේ ඔවුනොවුන් කලහ කරද්දී එක් නගර වැසි නැණවත් පුරුෂයෙක් එක් කරුණක් සඳහා දනව් ජනපදයට ගියේය. නුවර වැසියන්ගේ නැකත අසුබ නිසා නො පැමිණියෙමු යි කියන වචනය අසා නැකතින් කවර වැඩක් වේ දැ, දැරිය ලැබීම ම නැකත නො වේදැ යි කියා මේ ගාථාව කීය.