10. දුම්මේධ ජාතකය (50)
“දුම්මෙධානං” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, ලෝකාර්ථ චර්යාව අරබයා වදාළහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු ඒ රජුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. මව් කුසින් නික්මුණු ඔහුට නම් තබන දවසෙහි බ්‍රහ්මදත්ත කුමරා යි නම් කළහ. කුමරා සොළොස් වියට පත් ව තක්සලාවෙහි සිප්සතර හදාරා ත්‍රිවේදයෙහි පරතෙරට ගොස් අටළොස් විද්‍යාවන්හි කෙළවරට පත්වූහ. ඉක්බිති, ඔහුගේ පියා කුමරුන්ට යුව රජ පදවිය දුන්නේය. එකල බරණැස් නුවර වැසියෝ දෙවියන් යදින්නෝ වූහ. දෙවියන් වඳිත්. බොහෝ එළු, බැටළු, කුකුල්, ඌරු ආදී සතුන් මරා නන් වැදෑරුම් සුවඳ දුම් මල් ආදියෙන් ද මල් ලේවලින් ද බිලි පූජා කරත්. බෝසත්හු මෙසේ සිතූහ. දැන් මිනිස්සු දෙවියන් යදිත්. බොහෝ අන්ත වධ කරත්. මහජනයා බෙහෙවින් දුසිරිතෙහි ගැලී සිටී. මම පියා ඇවෑමෙන් රාජ්‍යය ලැබ එකකුවත් නො වෙහෙසා උපායෙන් ම ප්‍රාණ වධ කිරීමට ඉඩ නො දෙන්නෙමි. ඔහු දිනක් රියට නැඟී නගරයෙන් නික්මෙන්නේ එක් නුග ගසක් අබියෙස මහජනයා රැස්ව සිටිනු දුටුවේය. එම ගසෙහි උපන් දෙවියාගේ ඉදිරියෙහි තමතමන් කැමැති දූපුතුන්, යසඉසුරු පතා බිලි පූජා කරන්නවුන් විය. කුමරා ද රියෙන් බැස ගස ළඟට ගොස් සුවඳ මලින් පුදා පැන් ඉස ගස පැදකුණුකොට දෙවියන් යදින්නකු වී දෙවියන් නැමැද රථයට නැඟී නගරයට ම ගියහ. එතැන් පටන් බෝසත්හු මේ ආකාරයෙන් වරින්වර එහි ගොස් දෙවියන් යදින්නකු මෙන් පූජා පවත්වති.
පසු කලෙක බෝසත්හු පියාගේ ඇවෑමෙන් රජ පදවියෙහි පිහිටා සිව් අගතිායෙන් තොරව දශරාජ ධර්ම නො ඉක්මවා දැහැමින් රාජ්‍යය කරවන්නාහු, මෙසේ සිතූහ. මගේ මනදොළ පිරිණි. රාජ්‍යයෙහි පිහිටමින් මම පෙර එක් කරුණක් ගැන සිතීමි. දැන් ඒ අදහස මුදුන් පමුණුවා ගන්නෙමි යි ඇමතියන්, බමුණන්, ගෘහපතියන් එක් රැස් කරවා ඔවුන් ඇමතූහ. පින්වත්නි, මා රාජ්‍යයට පත් වූයේ කවර කරුණකින් ද යන්න දන්නහු ද? දේවයිනි, නො දනිමි. මම අසවල් නුග ගස අබියෙස සුවඳ මලින් පුදා ඇඳිලි බැඳ වැඳීමෙන් සිටිනු දුටු විරූ ද? එ සේය දේවයිනි, ඉදින්, මට රාජ්‍යය ලැබෙන්නේ නම් ඔබට බිලි පූජාවක් කරමියි පැතීමක් කළෙමි. මා මේ රාජ්‍යය ලැබුවේ දෙවියාගේ බලයෙනි. දැන් ඔහුට බිලි පූජාව කරන්නට තොපි ප්‍රමාද නො වී බිලි පූජාව පිළියෙල කරව්. දේවයිනි, ඒ සඳහා කවර කවර දේ ගනිමු ද? පින්වත්නි, මම දේවතාවාට ආයාචනා කරන්නේ, යමකු මගේ රාජ්‍යයෙහි සතුන් මැරීම ආදී පස් දුසිල් කම් කැරෙමින් දශ අකුසල මඟෙහි යන්නේ නම් ඔවුන් මරා ඔවුන්ගේ අතුනුබහන්, ලේ, මස් ආදියෙන් බිලි පූජාවක් කරන්නෙමි යි දෙවියාට භාර වීමි. දැන් ඔබලා මෙසේ බෙර හසුරුවනු. අප රජු යුව රජ කල මෙබඳු භාරයක් විය. මම රජ වන්නෙම් නම් මගේ රාජ්‍යය තුළ දුසිල්හු වෙත් ද ඒ සියල්ලන් මරා බිලි පූජාවක් කරන්නෙමි. අප රජු දැන් පස් පව්, දශ අකුසල් කරන්නවුන් දහසක් මරා ඔවුන්ගේ හෘදය, මාංශාදිය ගෙන්වා බිලිපූජාවක් දේවතාවාට කරනු කැමැත්තේය. නගර වැසියෝ මේ කරුණ දැන ගනිත්වා. එබන්දන් දහසක් මරා යාගයක් කොට භාරයෙන් මිදෙන්නෙමි. ඒ බව ප්‍රකාශ කරන්නේ මේ ගාථාව කීය.
“දුම්මෙධානං සහස්සෙන යඤ්ඤො මෙ උපයාචිතො,
ඉදානි ඛො හං යජිස්සාමි බහූ අධම්මිකො ජනොති”
ඉදානි ඛො හං යජිස්සාමි බහූ අධම්මිකො ජනොති”
“නුවණ නැති මිනිසුන් දහසකින් යාගයක් කරමි යි දෙවියන්ට මම භාර වීමි. මම දැන් යාගය කරන්නෙමි. මක් නිසා ද යත්, බොහෝ ජනයා අධාර්මික බැවිනි.”
එහි, “දුම්මෙධානං සහස්සෙන” මේ ක්‍රියා කරන්න වටී, මේ ක්‍රියාව කරන්න නො වටී යි නො දන්නා බැවින් හෝ දශ අකුසල් කර්ම මාර්ගයෙහි ගමන් කරන බැවින් හෝ දූෂිත ඥානය මොවුන්ට ඇත්තේ, “දුම්මෙධ” නමි. එබඳු නුවණ නැත්තන් ගැන ගන්නවුන් දහසකින්, “යඤ්ඤො මෙ උපයාචිතො” මා විසින් දෙවියා වෙත එළැඹ මෙබඳු යාගයක් කරන්නෙමි යි යාගයක් ඉල්ලා සිටින ලදි. “ඉදානි ඛො හං යජිස්සාමි” ඒ මම බාර ගත් රාජ්‍යය ලබා ගත් නිසා දැන් ඒ බිලි පූජාව කරන්නෙමි. මක් නිසා ද යත්, දැන් ජනයා නො දැහැමිය. එම නිසා දැන් මම ඒ නො දැහැමියන් ගෙන බිලි පූජාව කරන්නෙමි.