5. අත්‍ථකාම වර්‍ගය
1. ලෝසක ජාතකය (41)
“යො අත්‍ථකාමස්සා” යන මේ ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක්, ලෝසකතිස්ස තෙරුන් අරබයා වදාළ සේක. මේ ලෝසක තෙරුන් වහන්සේ කවරෙක් ද? කොසොල් රට එක් තමන්ගේ කුලය විනාශ කරන, ධීවර පුත්‍රයකු වූ, ලැබීමෙන් තොර භික්‍ෂුවකි. ඔහු වනාහි උපන් තැනින් චුත ව කොසොල් රට එක් ගෙවල් දහසක් ඇති ධීවර ගමක එක් ධීවරියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳ ගන්නා දින ඒ කල දහස දැල් ගත් අත් ඇතිව ගංගාවෙහි ද විල්වල ද මසුන් සොයන්නාහු, එක් කුඩා මසකුවත් නො ලැබූහ. එතැන් පටන් ඒ ධීවරයෝ පිරිහෙත්මය. ඔහු කුසට පැමිණි දින සිට ඔවුන්ගේ ගම සත් වරක් ගින්නෙන් දැවී ගියේය. සත් වරක් රජු විසින් දඬුවම් දෙන ලදි. මෙසේ පිළිවෙලින් දුප්පත් වූ ඔවුහු සිතූහ. පෙර අපට මෙබඳු දෙයක් සිදුවී නැත. දැන් වනාහි පිරිහෙමු. අප අතර එක් කාලකණ්ණියකු විය යුතුය. කොටස් දෙකක් වෙමු. පන්සියයක් පන්සියයක් වශයෙන් කුල එක් වූහ. එයින් පසු යම් තැනක ඔහුගේ මව්පියවරු වෙත් ද ඒ කොටස පිරිහේ. අනිත් කොටස වැඩේ. ඔවුහු ඒ කොටසත් දෙකඩ විය. එය ද දෙකඩ විය. මෙසේ යම්තාක් එම ගෙදර එකක් වී ද ඒතාක් බෙදා ඔවුන්ගේ කාලකණ්ණිකම දැන තලා බැහැර කළහ.
ඉක්බිති, ඔහුගේ මව අමාරුවෙන් ජීවත් වන්නී, ගැබ මෝරා ගිය කල එක් තැනක වැදුවාය. අන්තිම ජීවිතයේ වසන සත්ත්වයා නසන්න නො හැකිය. කලය තුළ පහනක් මෙන් ඔහුගේ හෘදයෙහි රහත්බවට හේතු සම්පත් දිලිහේ. ඕ තුමූ මේ දරුවා පෝෂණය කොට දුව පැන හැසිරෙන කාලයෙහි ඔහුට එක් කබලක් අතට දී පුත්‍රය, එක් ගෙයකට පිවිසේව යි යවා පලා ගියාය. හෙතෙම එතැන් පටන් තනිව ම එහි හිඟමන් සොයා එක් තැනක නො නිදයි. ස්නානය නො කරයි. ශරීරය පිළිදැගුම් නො කරයි. පාංසු පිසාචයෙක් මෙන් අමාරුවෙන් ජීවිකාව කරයි. හෙතෙම පිළිවෙලින් සත් හැවිරිදි වී එක් ගෙදරක භාජන සේදූ වතුර දමන තැන කවුඩෙක් මෙන් එක එක බත් උල අහුලා කයි.
ඉක්බිති, සැරියුත් හිමි සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙද්දී දැක මේ සත්ත්වයා ඉතා දුක්ඛිත තත්ත්වයට පත්වූයේය. කවර ගමක වැසියකුදැ යි ඔහු කෙරෙහි මෙත් සිත් වඩා බොල, එව යි කී සේක. ඔහු ගොස් තෙරුන් වහන්සේට වැඳ සිටියේය. ඉක්බිති, ස්ථවිර තෙමේ ඔහුගෙන් කවර ගමක වැසියෙක් ද? මව්පිය කොහිදැ යි විචාළ සේක. ස්වාමීනි, මම පිහිටක් නොමැත්තෙකි. මගේ මව ද පියා ද මා නිසා වෙහෙසට පත් වූහ යි මා අත් හැර දමා පලා ගියාහුය. එ සේ නම් පැවිදි වන්නේ ද? ස්වාමීනි, මම පැවිදි වන්නම්, ඒත් මා වැනි දුගියකු කවරෙක් පැවිදි කරන්නෝ ද? මම පැවිදි කරන්නෙමි. මැනවි. පැවිදි කරන සේක්වා. තෙරුන් වහන්සේ ඔහුට කෑ යුතු බීව යුතු දෑ දී ඔහු විහාරයට ගෙන ගොස් සියතින් ම නාවා පැවිදිකොට වයස් පිරුණු ඔහු උපසපන් කැරවූ සේක. හෙතෙම මහලු කල ලෝසකතිස්ස තෙරුන්යැ යි ප්‍රකට විය. පින් නැත්තේ ස්වල්ප ලාභ ඇත්තේය. ඔහු අසදෘශ දානයෙහි ද කුස පුරා නො ලද විරූය. ජීවිතය ගැටගසා ගැනීමට පමණක් ම ලබයි. උන්වහන්සේගේ පාත්‍රයට එක් කැඳ හැන්දක් දුන් කල්හි පාත්‍රය පිරීගියාක් සේ පෙනිණි. ඉක්බිති, මිනිස්සු මොහුගේ පාත්‍රය පිරී ඇතැ යි ඊළඟට සිටි අයට කැඳ දෙති. උන්වහන්සේගේ පාත්‍රයෙහි කැඳ දෙන කල මිනිසුන්ගේ බඳුන්වල කැඳ අතුරුදහන් වෙති යි කියති. කැවිලි ආදියෙහි ද මෙම ක්‍රමයයි.
හෙතෙම මෑත කාලයෙහි විදසුන් වඩා උසස් ඵලය වූ රහත් ඵලයෙහි පිහිටියේ නමුදු ස්වල්ප ලාභ ඇත්තේ ම වූ සේක. ඉක්බිති, උන්වහන්සේට පිළිවෙලින් ආයුෂ පිරිහුණු කල්හි, පිරිනිවන් පාන දවස පැමිණියේය. දම් සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ කල්පනා කරන සේක්, උන්වහන්සේ පිරිනිවන් පානා බව දැන මේ ලෝසකතිස්ස ස්ථවිරයන් වහන්සේ අද පිරිනිවන් පාන්නේය. අද මා විසින් මොහුට ඇතිතාක් ආහාර දෙන්න වටීයැ යි ඔහුත් රැගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩි සේක. ස්ථවිරයන් වහන්සේ ඔහු නිසා බොහෝ මිනිසුන් ඇති සැවැත් නුවර තෙක් අත දිගුකොට වැඳුම් මාත්‍රයක්වත් නො ලැබූ සේක. ඉක්බිති, ඔහුට ස්ථවිරයන් වහන්සේ ඇවැත්නි, යව. ආසන ශාලාවෙහි හිඳුවයි පිටත්කොට යවා මෙය ලෝසක තෙරුන්ට දෙවුයැ යි ලැබූ ආහාර යැවූ සේක. එය රැගෙන ගියා තැනැත්තෝ ලෝසක තෙරුන් සිහි නො කොට තුමූ ම අනුභව කළහ. ඉක්බිති, තෙරුන් වහන්සේ නැගිට විහාරයට ගිය කල්හි ලෝසකතිස්ස ස්ථවිර තෙමේ ගොස් තෙරුන් වැන්දේය. තෙරුන් වහන්සේ නැවතී සිටියේ ම ඇවැත්නි, ඔබ වහන්සේට බත් ලැබුණේදැ යි විචාළ සේක. ස්වාමීනි, බත් නො ලබන්නා වූයැ යි කී සේක. තෙරුන් වහන්සේ සංවේගයට පත්ව කාලය බැලූ සේක. කල් ඉක්ම ගොස් තිබුණි. තෙරුන් වහන්සේ එ සේ වේවා. ඇවැත්නි, මෙහි ම හිඳුවයි ලෝසක තෙරුන් වහන්සේ ආසන ශාලාවෙහි හිඳුවා කොසොල් රජතුමාගේ මාලිගාවට වැඩම කළ සේක. රජතුමා තෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙන්වාගෙන බත් කාලය නො වේයැ යි පාත්‍රය පුරා චතුමධුර පිළිදෙවීය. තෙරුන් වහන්සේ එය ගෙන වැඩමවා ඇවැත්නි තිස්සයෙනි, එව, මේ චතුමධුර වළඳව යි වදාරා පාත්‍රය අතෙහි තබාගෙන ම සිටි සේක. හෙතෙම තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ලජ්ජාවෙමින් නො වළඳයි. ඉක්බිති, ඔහුට තෙරුන් වහන්සේ ඇවැත්නි තිස්සයෙනි, එව, මම මෙම පාත්‍රය රැගෙන ම සිටිමි. නුඹ වහන්සේ හිඳගෙන වළඳනු. ඉදින්, මේ පාත්‍රය අතින් ඉවත් කෙළේ නම් කිසිවක් නො තිබෙන්නේයැ යි වදාළ සේක. ඉක්බිති, ආයුෂ්මත් ලෝසකතිස්ස තෙරුන් වහන්සේ අග ඉසුරු දම් සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ පාත්‍රයගෙන සිටි චතුමධුර වැළඳූ සේක. එය තෙරුන් වහන්සේගේ ආර්‍ය්‍ය සෘද්ධි බලයෙන් නිමාවකට පත් නො වීය. එදා ලෝසකතිස්ස තෙරුන් වහන්සේ ප්‍රමාණවත් බඩපුරා වැළඳූ සේක. එදින ම අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක. සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමීපයෙහි සිට සිරුර බැහැර කිරීම කැරවූ සේක. ධාතුන් ගෙන චෛත්‍යයක් කළහුය.