8. වේදබ්භ ජාතකය (48)
“අනුපායෙන යො අත්‍ථන්ති” යන මේ ජාතක දේශනාව බුදුරජුන් දෙව්රම් වෙහෙර වැඩ වසන්නාහු, අකීකරු භික්‍ෂුවක් අරබයා දෙසූහ. බුදුරජහු ඒ භික්‍ෂුව අමතා මහණ, ඔබ අකීකරු වූයේ දැන් පමණක් නො වේ. පෙරත් එ සේ ම වූවෙහිය. මේ කරුණින් ම නැණවතුන්ගේ වදන් නො පිළිගෙන තියුණු කඩුවෙන් දෙපළුකොට කැපී මඟ වැටුණෙහි. ඒ එක පුද්ගලයා නිසා පුරුෂයන් දහසක් මරණයට පත්වූහැ යි වදාරා ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි එක් කුඩා ගමක එක්තරා බමුණෙක් වෙදබ්භ නම් මන්ත්‍රයක් දනී. ඒ මන්ත්‍රය අගනේය. මහාර්ඝය. නැකැත් යෝගයක් අනුව ඒ මන්ත්‍රය ජපකොට අහස බැලූ කල්හි අහසින් සත් රුවන් වැසි වසී. එදවස බෝසත්හු එම බමුණා ළඟ සිප්සතර හදාරති. එක් දවසක් බමුණා බෝසතුන් රැගෙන කිසියම් කාර්යයක් සඳහා තම ගමින් නික්ම චේතිය රටට ගියේය. අතරමග වනබද පෙදෙසක පන්සියයක් පමණ පණිවිඩ යවා වස්තු ගෙන්වන සොරු (පෙසනක චොරා) මං පැහැරීම කරත්. ඔවුහු බෝසතුන් ද වේදබ්භ බමුණා ද අල්ලා ගත්හ. ඔවුන් යවා බඩු ගෙන්වන සොරුන් (පෙසනක චොරා) යැයි කියනු ලබන්නේ කෙසේ ද? ඒ සොරු වනාහි දෙදෙනකු අල්ලාගෙන එකකු ධනය ගෙන ඒම පිණිස යවත්, එම නිසා මෙනමින් හඳුන්වනු ලබන පිය පුතුන් දෙදෙන ගත්විට පුතා තබාගෙන අපට ධනය ගෙනවුත් දී පුතා රැගෙන යව යි පියා යවත්. මේ අනුව මව හා දියණිය ගත්විට දියණිය රඳවාගෙන මව යවත්. දෙටු කනිටු සොහොයුරන් ගත්විට කනිටු සොහොයුරා තබා දෙටු සොහොයුරා යවත්. ගුරු අතවැසියන් ගත් විට අතවැසියා යවන්නෝය. එදින ද වේදබ්භ බමුණා රඳවාගෙන බෝසතුන් යැවූහ.
බෝසත්හු ගුරුන් වැඳ ගුරුතුමනි, මම දිනකින් හෝ දෙකකින් ආපසු එමි. ඔබතුමා බය නො වන්න. එ සේ වුව ද මගේ වචනය පිළිපදිනු මැනවි. අද දින ධන වස්සන නැකැත් යෝගය උදා වන්නේය. ඔබතුමා දුක ඉවසනු නො හැකිව මන්ත්‍රය ජපකොට ධනය නො වස්සනු මැනවි. ඉදින් එ සේ වස්සවන්නේ නම් ඔබතුමා ද විනාශ වන්නේය. මේ පන්සියයක් සොරු ද විනාශ වන්නාහ. මෙසේ ගුරුතුමන්ට අවවාද දී ධනය සෙවීම පිණිස ගියහ. සොරු ද ඉර බැස ගිය කල්හි බමුණා බැඳ දැමූහ. එකෙණෙහි ම පෙර දිගින් පිරිපුන් සඳ මඬල උදාවිය. බමුණා නැකැත් බලන්නේ ධන වස්සන නැකැත් යෝගය උදා වූ බව දැක මම දුක් විඳීමෙහි ඵලය කිම. මන්ත්‍රය ජපකොට ධනය වස්සවා සොරුන්ට දී සුව සේ යන්නෙමි යි සිතා පින්වත් සොරුනි, මා රඳවා ගත්තේ මක් නිසා ද? පින්වත, ධනය සඳහාය. ඔබට ධනය අවශ්‍යම නම් මා බැම්මෙන් මුදා නාවා අළුත් වස්ත්‍ර අන්දවා, සුවඳ ගල්වා, මල් පළඳවා තබන්න. සොරු ඔහුගේ කථාව අසා එසේ කළාහුය.
බමුණැ නැකැත් යෝගය දැන මන්ත්‍ර ජපකොට අහස දෙස බැලීය. එකෙණෙහි ම අහසින් රුවන් වරුසා වට සොරු ඒ ධනය උතුරු සලුවෙන් පොදි බැඳගෙන පැන ගියහ. බමුණා ද ඔවුන් පසුපස ම ගියේය. ඉක්බිති ව වෙනත් පන්සියයක් සොරු ඔවුන් අල්ලාගත්හ. අප අල්ලා ගත්තේ කුමකටදැ යි අසන ලද්දාහු ධනය සඳහායැ යි කීහ. ඉදින් තොපට ධනය අවශ්‍ය නම් මේ බමුණා අල්ලා ගනිවු. මොහු අහස බලා ධනය වැස්සවීය. අපට මේ ධනය ලබාදුන්නේ ද ඔහුය. සොරුන් අතහැර අපට ද ධනය දෙව යි බමුණා අල්ලා ගත්හ. එවිට බමුණා මම තොපට ධනය ලබා දෙන්නෙමි. ධනය වස්සන නැකැත් යෝගය මෙයින් වසරකින් පසු එළැඹෙන්නේය. ඉදින්, තොපි ධනය කැමැත්තාහු නම් ඉවසා සිටිනු. එදාට ධනය වස්සවමි යි කීය. සොරු කිපී එම්බල පවිටු බමුණ, දැන් අනික් සොරුන්ට ධනය වස්සවා දී අපට වසරක් සිටින්නට සැලැස්වීය. තියුණු කඩුවෙන් කපා දෙපලුකොට මඟ දමා වේගයෙන් ලුහුබැඳ ඒ සොරුන් සමග යුද්ධකොට ඒ සියල්ලන් මරා ධනය පැහැරනෙග නැවත ඔවුන් දෙකොටසක් වී ඔවුනොවුන් යුද්ධකොට දෙසිය පනසක් පුරුෂයන් මරා මේ ක්‍රමයෙන් දෙදෙනෙකු පමණක් ඉතිරි වන තුරු මරා ගත්හ. මෙසේ වනවිට පුරුෂයන් දහසක් මරණයට පත්වූහ.