7. වාරුණී ජාතකය (47)
“න වෙ අනත්‍ථ කුසලෙනාති” යන මේ ජාතකය බුදු රජුන් දෙව්රම් වෙහෙර වසන සේක්, සුරා දූතයකු අරබයා දෙසූහ. අනේපිඬු සිටුහුගේ යහළු සුරා වෙළෙන්දෙක් තියුණු මත සුරාවක් සාදා රන් රිදී ගෙන විකුණන්නේ මහජනයා රැස්වූ කල්හි අතවැසියා බණවා දරුව, මුදල් ගෙන සුරා දෙව යි තෙමේ නෑමට ගියේය. අතවැසියා මහජනයාට සුරා දෙන්නේ, මිනිසුන් අතරින්පතර ලුණු, සකුරු ගෙන්වා ගෙන කනු දැක සුරාවට ලුණු නැති සේයැ යි සිතා මෙහි ලුණු දමමි යි සුරා සැළෙහි නැලියක් පමණ ලුණු දමා ඔවුන්ට සුරා දුන්නේය. මිනිස්සු මුව පුරා ගෙන ඉවත දමා ඔබ කළේ කුමක්දැ යි ඇසූහ. ඔබ සුරා බී ලුණු ගෙන්වා ගෙන ඇත. ලුණු යෙදීමි. මෝඩය, මෙතරම් මිහිරි පානය තෝ විනාශ කළේයැ යි නැඟිට ගියහ. සුරා වෙළෙන්දා අවුත් එක සුරා බොන්නකු ද නො දැක සුරා බොන්නන් කොහි ගියාදැ යි විමසීය. අතවැසියා සියලු පුවත් කීය. සුරා වෙළේනදා මෝඩය, මෙබඳු දෙයින් තා විසින් විනාශ කරන ලද්දේදැ යි අතවැසියාට නින්දාකොට මෙපුවත අනේ පිඬු සිටාණන්ට සැල කළේය. සිටුතුමා මෙය බුදුරජුන්ට සැලකළ යුතු කථා පඬුරක්යැ යි දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජුන් වැඳ සැලකළේය. බුදුරජහු ගැහැවිය, මොහු සුරා දූෂකයකු වූයේ දැන් පමණක් නො වේ. පෙරදීත් මොහු සුරා දූෂකයකු වූයේමැ යි වදාරා ඔහු විසින් යාචිත වූයේ ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන සමයෙහි බෝසත්හු බරණැස සිටුවරයා විය. ඔහු ඇසුරුකොට එක් සුරා වෙළෙන්දෙක්, මෙසේ තියුණු සුරාවක් සාදා මෙය විකුණුව යි අතවැසියාට කියා නෑමට ගියේය. අතවැසියා ඔහු ගිය කෙණෙහි ම සුරාවෙහි ලුණු දමා මේ ක්‍රමයෙන් සුරාව නැසීය. ඉක්බිති, ඔහුගේ ගුරුවරයා පැමිණ ඒ කරුණ දැන සිටුවරයාට දැන්වීය. මෝඩයෝ නම් අනර්ථ කිරීමෙන් දක්නෝය. යහපතක් කරන්නෙමි යි අයහපතක් ම කරතැ යි කියා මේ ගාථාව කීය.
“න වෙ අනත්‍ථ කුසලෙන අත්‍ථචරියා සුඛාවහා,
හාපෙති අත්‍ථං දුම්මෙධො කොණ්ඩඤ්ඤො වාරුණිං යථාති”
එහි “කොණ්ඩඤ්ඤො වාරුණිං යථා” යනු යම් සේ කොණ්ඩඤ්ඤ නම් අතවැසියා යහපතක් කරමි යි ලුණු දැමීමෙන් සුරාව නැති කළේ ද මෙසේ සියලු අනර්ථයෙහි දක්‍ෂයා යහපත පිරිහෙළයි. විනාශ කරයි. බෝසත්හු මේ ගාථාවෙන් දම් දෙසූහ.
බුදු රජහු ගැහැවිය. මොහු සුරා දූෂකයකු වූයේ දැන් පමණක් නො වේ. පෙරත් සුරා දූෂකයකු වූයේ යි වදාරා අනුසන්‍ධි ගළපා ජාතකය නිමවූහ. එදා සුරා දූෂක දැනුත් සුරා දූෂක විය. බරණැස් සිටු මම ම වීමි.
8. වේදබ්භ ජාතකය (48)
“අනුපායෙන යො අත්‍ථන්ති” යන මේ ජාතක දේශනාව බුදුරජුන් දෙව්රම් වෙහෙර වැඩ වසන්නාහු, අකීකරු භික්‍ෂුවක් අරබයා දෙසූහ. බුදුරජහු ඒ භික්‍ෂුව අමතා මහණ, ඔබ අකීකරු වූයේ දැන් පමණක් නො වේ. පෙරත් එ සේ ම වූවෙහිය. මේ කරුණින් ම නැණවතුන්ගේ වදන් නො පිළිගෙන තියුණු කඩුවෙන් දෙපළුකොට කැපී මඟ වැටුණෙහි. ඒ එක පුද්ගලයා නිසා පුරුෂයන් දහසක් මරණයට පත්වූහැ යි වදාරා ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි එක් කුඩා ගමක එක්තරා බමුණෙක් වෙදබ්භ නම් මන්ත්‍රයක් දනී. ඒ මන්ත්‍රය අගනේය. මහාර්ඝය. නැකැත් යෝගයක් අනුව ඒ මන්ත්‍රය ජපකොට අහස බැලූ කල්හි අහසින් සත් රුවන් වැසි වසී. එදවස බෝසත්හු එම බමුණා ළඟ සිප්සතර හදාරති. එක් දවසක් බමුණා බෝසතුන් රැගෙන කිසියම් කාර්යයක් සඳහා තම ගමින් නික්ම චේතිය රටට ගියේය. අතරමග වනබද පෙදෙසක පන්සියයක් පමණ පණිවිඩ යවා වස්තු ගෙන්වන සොරු (පෙසනක චොරා) මං පැහැරීම කරත්. ඔවුහු බෝසතුන් ද වේදබ්භ බමුණා ද අල්ලා ගත්හ. ඔවුන් යවා බඩු ගෙන්වන සොරුන් (පෙසනක චොරා) යැයි කියනු ලබන්නේ කෙසේ ද? ඒ සොරු වනාහි දෙදෙනකු අල්ලාගෙන එකකු ධනය ගෙන ඒම පිණිස යවත්, එම නිසා මෙනමින් හඳුන්වනු ලබන පිය පුතුන් දෙදෙන ගත්විට පුතා තබාගෙන අපට ධනය ගෙනවුත් දී පුතා රැගෙන යව යි පියා යවත්. මේ අනුව මව හා දියණිය ගත්විට දියණිය රඳවාගෙන මව යවත්. දෙටු කනිටු සොහොයුරන් ගත්විට කනිටු සොහොයුරා තබා දෙටු සොහොයුරා යවත්. ගුරු අතවැසියන් ගත් විට අතවැසියා යවන්නෝය. එදින ද වේදබ්භ බමුණා රඳවාගෙන බෝසතුන් යැවූහ.