6. ආරාමදූෂක ජාතකය (46)
“න වෙ අනත්‍ථ කුසලෙනාති” යන මේ ජාතකය කොසොල් දනව්වෙහි එක්තරා කුඩා ගමක උයන් දූෂකයකු අරබයා දෙසූහ. බුදුරජහු කොසොල් රට සැරිසරමින් එක්තරා කුඩා ගමකට වැඩියහ. එහි එක් කෙළඹියක් බුදුරජුන්ට ආරාධනාකොට තම උයනෙහි වඩා හිඳුවා බුදුපාමොක් මහසඟනට දන් දී ස්වාමීනි, කැමැති සේ උයනෙහි හැසිරෙන ලෙස කීවේය. භික්‍ෂූහු නැඟිට උද්‍යාන පාලක සමග උයනෙහි ඔබිනොබ හැසිරෙන්නාහු, මුඩු බිමක් දැක උපාසකය, මේ උයනෙහි අන් තැන් ගස් සෙවනින් යුක්තය. එහෙත් මෙතැන මුඩු බිමකි. ගස් පඳුරු ආදී කිසිවක් නැත. ඊට හේතුව කුම්ක ද? ස්වාමීනි, මේ උයන රෝපණය කරන කාලයෙහි එක් ගම් දරුවෙක් ජලය ඉසින්නේ, කුඩා පැළ උදුරා මුලට ප්‍රමාණ වන සේ ජලය වත් කළේය. ඒ කුඩා පැළ මැලවී වියලිණි. මේ නිසා මේ ස්ථානය මුඩු බිමක් විය. අනතුරුව භික්‍ෂූහු බුදුරජුන්ට ඒ කරුණු සැලකළහ. මහණෙනි, එගම් දරුවා ආරාම දූෂක වූයේ දැන් පමණක් නො වේ. පෙරත් ආරාම දූෂකයකු වූයේමැ යි, ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බරණැස් නුවර නැකැත් කෙළිය ප්‍රචාරය කළහ. නැකැත් බෙර හඬ ඇසුණු තැන් පටන් සියලු නුවර වැසියෝ නැකැත් කෙළියෙහි නියැළි හැසිරෙත්. එදා රජුගේ උයනෙහි බොහෝ වඳුරෝ වසති. උයන් පාලකයා මෙසේ සිතීය. නුවර නැකැත් ප්‍රචාරය කරන ලදි. වඳුරන්ට දිය ඉසුව යි කියා මම නැකැත් කෙළිමි යි, දෙටු වඳුරා වෙත ගොස් යහළු දෙටු වඳුරාණෙනි, මේ උයන ඔබලාට ද මහත් උපකාරය. ඔබලා මෙහි මල්, ඵල, දලු කන්නාහුය. අද නුවර නැකැත් කෙළි ප්‍රචාරය කරන ලදි. මම නැකැත් කෙළි කෙළිමි. මා එනතුරු මේ උයනෙහි ගස්, පැළවලට ජලය දැමීමට හැකිදැ යි විචාළේය. එ සේය, අපි දිය ඉසින්නෙමු. එ සේ නම් අප්‍රමාදී ව කරව යි කියා දි ඉසීම පිණිස හම් මල්ල ද දිය නඟන දඬු කැබලි ද දී ගියේය. වඳුරෝ හම් මල්ල ද ලී කැබලි ද ගෙන පැළ ගස්වලට වතුර දමුත්. එවිට වඳුරු දෙටුවා ඔවුන් අමතා වඳුරනි, ජලය රැකගත යුතුය. තොපි ගස්, පැළවලට වතුර දමන කල්හි එක එක පැළය උගුලා මුල බලා මුල් ගැඹුරට ගිය තැනට වතුර වැඩියෙන් එක්කළ යුතුය. වැඩි කළ යුතුය. නො ගැඹුරු තැන්වලට වතුර ටිකක් දමනු. එ සේ නො කළ පසුව අපට වතුර හිඟ වන්නේය. වඳුරෝ ද මැනවැ යි පිළිගෙන එ සේ කළහ.
එවෙලාවෙහි එක් නුවණැති මිනිසෙක් වඳුරන් එ සේ කරනු දැක යහළු වඳුරනි, තොපි මෙසේ පැළෑටි උදුර උදුරා මුල පමණට දිය ඉසින්නේ මක් නිසා ද? අප දෙටු වඳුරා උපදෙස් දෙන්නේ ඒ අයුරිනි යි කීහ. ඔවුන්ගේ වචනය අසා අගේමැ යි බාලයෝ, නුවණ නැත්තේ යහපතක් කරමු යි අවැඩැක් ම කරතැ යි සිතා මේ ගාථාව කීය.
“න වෙ අනත්‍ථ කුසලෙන අත්‍ථචරියා සුඛාවහා,
හාපෙති අත්‍ථං දුම්මෙධො කපි ආරාමිකො යථාති”
“අයහපතෙහි දක්‍ෂයා විසින් කරන ලද යහපත ද හිත සුව පිණිස නො වේ. නුවණ නැති බාලයා යහපත පිරිහෙළයි. කෙසේ ද යත්, උයනෙහි වඳුරා මෙනි.”
එහි “වෙ” යනු නිපාත මාත්‍රයකි. “අනත්‍ථ කුසලෙන” අනර්ථයෙහි නුසුදුසු දේ පිළිබඳ දක්‍ෂයා, සුදුසු දේ පිළිබඳ - යහපතෙහි අදක්‍ෂයා යනු අර්ථයි. “අත්‍ථචරියා” දියුණුවට අදාළ ක්‍රියා, “සුඛාවහා” මෙබඳු අයහපතෙහි දක්‍ෂා විසින් කායික මානසික සැප සංඛ්‍යාත වූ සැපය ගෙන දීමට නො හැකි යන අර්ථයි. මක් නිසා ද යත්, “හාපෙති අත්‍ථං දුම්මෙධො” ඒකාන්තයෙන් අනුවණ පුඟුලා යහපතක් කරමි යි සිතා යහපත යටපත්කොට අයහපත ම කරයි. “කපි ආරාමිකො යථා” යම් සේ උයනෙහි නියුතු උයන රකින වඳුරා යහපතක් කැර අනර්ථයක් ම කරයි ද එ සේ යමකු අනර්ථයෙහි දක්ෂයකු වේ ද ඔහු විසින් යහපත් දෙයක් ගෙන දීමට නො හැකිය. ඔහු ඒකාන්තයෙන් යහපත පිරිහෙළයි. මෙසේ ඒ නුවණැති මිනිසා මේ ගාථාවෙන් වඳුරු දෙටුවාට නින්දාකොට තම පිරිස ගෙන උයනින් නික්ම ගියේය.