5. රෝහිණී ජාතකය (45)
“සෙය්යො අමිත්තොති” යන මේ දේශනාව බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, අනේ පිඬු මහසිටුතුමාගේ එක් දාසියක අරබයා වදාළ සේක. අනේ පිඬු සිටුතුමාට වනාහි රෝහිණී නම් එක් දාසියක් වූවාය. ඈ වී කොටන තැනට අවුත් ඇගේ මහලු මව වැදහොත්තීය. මැස්සෝ ඈ පිරිවරා ඉදිකටුවෙන් විදින්නාක් මෙන් කති. ඕ තුමූ දුවට කීවාය. දරුව, මැස්සෝ මා කති. මොවුන් වළක්වවු. ඕ තුමූ මෑණියනි, වළක්වමි යි මෝල් ගසක් ඔසවා මෑණියන්ගේ සිරුරෙහි මැස්සන් මරා විනාශයට පමුණුවන්නෙමි යි මවට මොහොලෙන් පහර දී ජීවිතක්ෂයට පැමිණ වූවාය. එය දැක මව් තුමූ මැරුණෝයැ යි හඬන්නට පටන් ගත්තාය. මේ පුවත සිටාණන්ට සැලකළහ. සිටු තෙම ඇගේ අවසන් කටයුතු කැරවා විහාරයට ගොස් ඒ සියලු පුවත් බුදුරජාණන් වහන්සේට සැලකළේය. බුදුරජාණන් වහන්සේ ගෘහපතිය, මෝ තුමූ මෑණියන්ගේ සිරුරෙහි මැස්සන් මරමි යි දැන් පමණක් මොහොලින් පහර දී මව නො මැරුවාය. පෙරත් මැරුවේමැ යි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දේ ඉකුත් වත ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සිටු කුලයෙහි ඉපදී පියාගේ ඇවෑමෙන් සිටු තනතුරට පැමිණියේය. ඔහුට ද රෝහිණී නම් දාසියක විය. ඈ ද තමන්ගේ වී කොටන තැනට පැමිණ හුන්නා වූ මව, දරුව, මා මැස්සන්ගෙන් වළක්වව යි කියන ලද්දී, මෙපරිද්දෙන් ම මොහොලින් පහර දී මව මරණයට පමුණුවා හඬන්නට පටන් ගත්තාය. බෝසත් තෙම ඒ ප්රවෘත්තිය අසා සතුරා වුව ද මේ ලෝකයෙහි නුවණ ඇත්තා ම ශ්රේෂ්ඨයැ යි සිතා මේ ගාථාව කීවේය.
“සෙය්යො අමිත්තො මෙධාවී යඤ්චෙ බාලානුකම්පකො,
පස්ස රොහිණිකං ජම්මිං මාතරං හන්ත්වාන සොචතීති”
පස්ස රොහිණිකං ජම්මිං මාතරං හන්ත්වාන සොචතීති”
“අනුකම්පා කරන යම්බඳු බාලයෙක් ඇද්ද? (ඔහුට වඩා) නුවණ ඇත්තා වූ පස මිතුරා උතුම් වේ. බාල වූ රෝහිණී නම් නුවණ නැත්තිය බලව, මව මරා ශෝක කරන්නීය.”
එහි “මෙධාවීති” නුවණ ඇති, ඥානවන්ත, “යඤ්චෙ බාලානුකම්පකොති” මෙහි “යන්ති” යනු ලිඞ්ග විපර්ය්යාසයක් කරන ලද්දේය. “චෙති” නාමාර්ථයෙහි නිපාතයකි. යම් කිසි මෝඩයෙක් අනුකම්පා ඇත්තේ ද එයට වඩා සිය දහස් ගුණයෙන් නුවණ ඇති පස මිතුරා ශ්රේෂ්ඨයැ යි යන අර්ථයයි. තව ද, “යන්ති” අතිශ්රේෂ්ඨ අර්ථයෙහි නිපාතයකි. නැතිනම් මෝඩ අනුකම්පා ඇත්තා යන තේරුමයි. “ජම්මිංති” පහත්, මෝඩ, “මාතරං හන්ත්වාන සොචතීති” මැස්සන් මරන්නෙමි යි මව මරා දැන් මෝ මෝඩි තමා ම හඬයි. වැළපෙන්නීය. මේ කරුණින් මේ ලෝකයෙහි පස මිතුරා වුව ද නුවණ ඇති නම් ශ්රේෂ්ඨයි. බෝසතාණන් වහන්සේ නුවණ ඇත්තාට පසසමින් මේ ගාථාවෙන් දහම් දෙසූ සේක.
බුදුරජාණන් වහන්සේ, ගෘහපතිය, මේ තැනැත්ති මැස්සන් මරමි යි මව මැරුවේ දැන් පමණක් නොව පෙරත් ඝාතනය කළේයැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල මව මේ මව ම වූවාය. ඒ දුව ම මේ දුව වූවාය. මහ සිටුතුමා වනාහි මම ම වෙමි යි වදාළ සේක.
6. ආරාමදූෂක ජාතකය (46)
“න වෙ අනත්ථ කුසලෙනාති” යන මේ ජාතකය කොසොල් දනව්වෙහි එක්තරා කුඩා ගමක උයන් දූෂකයකු අරබයා දෙසූහ. බුදුරජහු කොසොල් රට සැරිසරමින් එක්තරා කුඩා ගමකට වැඩියහ. එහි එක් කෙළඹියක් බුදුරජුන්ට ආරාධනාකොට තම උයනෙහි වඩා හිඳුවා බුදුපාමොක් මහසඟනට දන් දී ස්වාමීනි, කැමැති සේ උයනෙහි හැසිරෙන ලෙස කීවේය. භික්ෂූහු නැඟිට උද්යාන පාලක සමග උයනෙහි ඔබිනොබ හැසිරෙන්නාහු, මුඩු බිමක් දැක උපාසකය, මේ උයනෙහි අන් තැන් ගස් සෙවනින් යුක්තය. එහෙත් මෙතැන මුඩු බිමකි. ගස් පඳුරු ආදී කිසිවක් නැත. ඊට හේතුව කුම්ක ද? ස්වාමීනි, මේ උයන රෝපණය කරන කාලයෙහි එක් ගම් දරුවෙක් ජලය ඉසින්නේ, කුඩා පැළ උදුරා මුලට ප්රමාණ වන සේ ජලය වත් කළේය. ඒ කුඩා පැළ මැලවී වියලිණි. මේ නිසා මේ ස්ථානය මුඩු බිමක් විය. අනතුරුව භික්ෂූහු බුදුරජුන්ට ඒ කරුණු සැලකළහ. මහණෙනි, එගම් දරුවා ආරාම දූෂක වූයේ දැන් පමණක් නො වේ. පෙරත් ආරාම දූෂකයකු වූයේමැ යි, ඉකුත් වත ගෙනහැර දැක්වූහ.