4. මකස ජාතකය (44)
“සෙය්‍යා අමිත්තො” යන මේ දේශනාව බුදු රජාණන් වහන්සේ මගධ රජ චාරිකාවෙහි හැසිරෙන්නේ, එක්තරා කුඩා ගමක මෝඩ ගැමි මිනිසුන් අරබයා දේශනා කළ සේක. බුදු රජාණන් වහන්සේ එක් කාලයක සැවැත් නුවරින් මගධ රටට වැඩමවා එහි චාරිකාවෙහි හැසිරෙන්නේ, එක්තරා කුඩා ගමකට පැමිණි සේක. ඒ කුඩා ගම බොහෝ සෙයින් මෝඩ මිනිසුන්ගෙන් ම පිරුණේය. එහි එක් දිනක් ඒ අන්ධ බාල මිනිසුන් එක්රැස්ව පින්වත්නි, අප කැලයට පිවිස කර්මාන්ත කරන විට මදුරුවෝ කති. එයින් අපේ කර්මාන්තය නවතියි. සියල්ලෝ ම දුනු ද ආයුධ ද ගෙන ගොස් මදුරුවන් සමග යුද්ධකොට සියලු මදුරුවන් විද සිඳ මරමු යි කතිකාකොට ගෙන කැලයට ගොස් මදුරුවන් විදින්නෙමු යි ඔවුනොවුන් විද පහර දී දුකට පැමිණියෝ අවුත් ඇතුල් ගම ද ගම මැද ද ගම් දොර ද වැද හොත්තේය.
බුදුරජාණන් වහන්සේ සංඝයා විසින් පිරිවරන ලද්දේ, එගමට පිඬු පිණිස වැඩම කළ සේක. සෙසු නුවණ ඇති මිනිස්සු බුදුරජාණන් වහන්සේ දැක ගම් දොර මණ්ඩපයක් කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහදන් දී බුදුරජුන් වැඳ හුන්නාහුය. බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැන වැටුණු මිනිසුන් දැක ඒ උවැසියන් විචාළ සේක. මේ බොහෝ දෙනා ගිලන් මිනිසුන්දැ යි විචාළ සේක. මොවුන් විසින් කුමක් කරන ලද්දේ ද? ස්වාමීනි, ඒ මිනිස්සු මදුරු යුද්ධයක් කරන්නට ගොස් ඔවුනොවුන්ට විද තමා ම ගිලන් වූහ. බුදුරජාණන් වහන්සේ, දැන් පමණක් අන්ධ බාල මිනිස්සු මදුරුවන්ට පහර දෙමැ යි තම තමන්ට පහර දෙති. පෙරත් මදුරුවන්ට පහර දෙන්නෙමු යි අනුන්ට පහර දෙන මිනිස්සු වූවෝමැ යි වදාරා ඒ මිනිසුන් විසින් ඉල්ලන ලද්දේ අතීත කථාව ගෙන හැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත් තෙමේ වෙළඳාමෙන් ජීවිකාව කරයි. එකල්හි කසී රට එක් පසල් ගමක බොහෝ වඩුවෝ වාසය කරති. එහි එක් හිස් කෙස් සුදු වූ එක් වඩුවෙක් ගසක් අහියි. ඉක්බිති, එක් මදුරුවකු තඹ ලෝ තලියක පිටක් සේ වූ හිසෙහි හිඳ අඩයටියෙන් පහර දෙන්නා සේ හිස මුව තුඩින් විද්දේය. හෙතෙම තමන් සමීපයෙහි හුන් පුතාට කීවේය. දරුව, මගේ හිස මදුරුවෙක් අඩයටියෙන් පහර දෙන්නාක් මෙන් විදියි. ඌ වළක්වනු. පියාණෙනි, ඉවසනු මැනවි. එක පහරින් ම ඌ මරන්නෙමි යි තියුණු ලොකු පොරව ගෙන පියාගේ පිටුපස සිට මදුරුවාට පහර දෙන්නෙමි යි පියාගේ හිස දෙකට පැලුවේය. වඩුවා එහි ම මරණයට පැමිණියේය.
එකල බෝසතාණෝ වහන්සේ ද තමන්ගේ භාණ්ඩ සොයමින් ඒ ගමට පැමිණ ඒ වඩුවාගේ ශාලාවෙහි හුන්නේ, ඔහුගේ ඒ ක්‍රියාව දැක සතුරා වුව ද නුවණ ඇත්තා ම ශ්‍රේෂ්ඨයැ යි ද ඔහු වනාහි දඬුවමට බියෙන් හෝ මිනිසුන් නො මරන්නේයැ යි ද කියා මේ ගාථාව කීවේය.
“සෙය්‍යො අමිත්තො මතියා උපෙතො, තත්‍ථෙව මිත්තො මතිවිප්පහිනො,
මකසං වධිස්සන්ති හි එළමූගො, පුත්තො පිතූ අබ්හිදා උත්තමඞ්ගන්ති”
“නුවණ ඇති සතුරා වුව ද උතුම් වේ. නුවණ නැති නම් මිතුරා වුව ද උතුම් නො වේමැ යි (කුමක් හෙයින් ද යත්) මූඪ (කෙලතොලු) පුත්‍ර තෙමේ මදුරුවා මරමි යි පියාගේ හිස පැළීය.”
එහි, “සෙය්‍යොති” ශ්‍රේෂ්ඨ, උත්තම, “මතියා උපෙතොති” නුවණින් යුක්ත වූ, “එළමූගොති” කෙළ තොලු නලවන මුව ඇති බාලයා, “පුත්තො පිතූ අබ්හිදා උත්තමඞ්ගන්ති” තමුන්ගේ මෝඩකම නිසා පුතකු වුව ද පියාගේ හිස මදුරුවකු මරන්නෙමි යි දෙපලු කළේය. ඒ නිසා මෝඩ නුවණ නැත්තා පස මිතුරු වුව ද ශ්‍රේෂ්ඨයැ යි, මේ ගාථාව වදාරා බෝසතාණන් වහන්සේ නැඟට ගොස් කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියේය. වඩුවාගේ ඤාතීහු ඔහුගේ භූමදාන කටයුතු කළාහුය.
බුදුරජාණන් වහන්සේ, උපාසකවරුනි, පෙරත් මදුරුවන්ට පහර දෙන්නෙමු යි අන්‍යයන්ට පහර දුන් මිනිස්සු වූවාහු මයැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා පූර්වාපර සන්‍ධි ගළපා ජාතක කතාව නිමවා වදාළ සේක. එකල්හි ගාථාවක් කියා ගිය නුවණ ඇති වෙළෙන්දා වනාහි මම ම වෙමි යි වදාළ සේක.
5. රෝහිණී ජාතකය (45)
“සෙය්‍යො අමිත්තොති” යන මේ දේශනාව බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, අනේ පිඬු මහසිටුතුමාගේ එක් දාසියක අරබයා වදාළ සේක. අනේ පිඬු සිටුතුමාට වනාහි රෝහිණී නම් එක් දාසියක් වූවාය. ඈ වී කොටන තැනට අවුත් ඇගේ මහලු මව වැදහොත්තීය. මැස්සෝ ඈ පිරිවරා ඉදිකටුවෙන් විදින්නාක් මෙන් කති. ඕ තුමූ දුවට කීවාය. දරුව, මැස්සෝ මා කති. මොවුන් වළක්වවු. ඕ තුමූ මෑණියනි, වළක්වමි යි මෝල් ගසක් ඔසවා මෑණියන්ගේ සිරුරෙහි මැස්සන් මරා විනාශයට පමුණුවන්නෙමි යි මවට මොහොලෙන් පහර දී ජීවිතක්‍ෂයට පැමිණ වූවාය. එය දැක මව් තුමූ මැරුණෝයැ යි හඬන්නට පටන් ගත්තාය. මේ පුවත සිටාණන්ට සැලකළහ. සිටු තෙම ඇගේ අවසන් කටයුතු කැරවා විහාරයට ගොස් ඒ සියලු පුවත් බුදුරජාණන් වහන්සේට සැලකළේය. බුදුරජාණන් වහන්සේ ගෘහපතිය, මෝ තුමූ මෑණියන්ගේ සිරුරෙහි මැස්සන් මරමි යි දැන් පමණක් මොහොලින් පහර දී මව නො මැරුවාය. පෙරත් මැරුවේමැ යි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දේ ඉකුත් වත ගෙනහැර දැක්වූ සේක.