3. වේළුක ජාතකය (43)
“යො අත්ථකාමස්සාති” යන මේ ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක්, එක්තරා දුර්වච (නො කීකරු) භික්ෂුවක් අරබයා දේශනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඔහුගෙන් මහණ, නුඹ දුර්වචයකු යනු ඇත්තදැ යි විචාරා ස්වාමීනි, සත්යයයැ යි කී කල්හි මහණ, නුඹ දැන් පමණක් නොව පෙරත් දුර්වචයකුය. දුර්වච බැවින් ම නුවණ ඇත්තන්ගේ කීම නො පිළිගෙන සර්ප මුඛයෙහි ජීවිත විනාශයට පැමිණියේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු කරද්දී බෝසත් තෙම කසී රට මහා භෝග සම්පත් ඇති කුලයක උපන්නේ, බුද්ධිමත්බවට පැමිණ කාමයන්හි ආදීනව ද නෛෂ්ක්රමයෙහි අනුසස් ද දැක පස් කම් සැප අත්හැර හිමාලයට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදි ව කසිණු පිරියම්කොට අභිඥා පස ද අටසමවත් ද උපදවා ධ්‍යාන සැපයෙන් කල්ගත කරන්නේ, මෑත කාලයක මහා පිරිවර ඇත්තේය. පන්සියයක් තාපසයන් විසින් පිරිවරන ලද්දේ, සමූහයාගේ ශාස්තෲ වී වාසය කළේය. ඉක්බිති, එක් නයි පැටියෙක් තමාට පුරුදු පරිදි හැසිරෙන්නේ, එක්තරා තාපසයකුගේ ආශ්රමයට පැමිණියේය. තාපසයා ඌ කෙරෙහි දරු සෙනෙහස උපදවා ඌ එක් උණ පුරුකක නිදි කැරවා පෝෂණය කැරේ. ඌ උණ පුරුකේ නිදන බැවින් වේළුකයැ යි නමක් තැබුවේය. ඌ දරු පෙමින් පිළිදැඟුම් කරන නිසා තාපසයාට වේළුක පියායැ යි නම් කළේය.
එකල්හි බෝසත් තෙමේ එක් තාපසයෙක් සර්පයකු පිළිදැඟුම් කැරේයැ යි අසා කැඳවා නුඹ සර්පයකු පෝෂණය කරන්නේ ඇත්තක්දැ යි විචාරා, ඇත්තයැ යි කී කල්හි සර්පයකු සමග විශ්වාසයක් නම් නැත. මෙසේ පිළිදැඟුම් නො කැරව යි කීවේය. තාපසයා කීවේය. ඇදුරුතුමනි, හෙතෙම මගේ පුතාය. ඔහුගෙන් තොරව පවතින්න නො හැක්කෙමි. එ සේ නම් ඌගේ සමීපයෙන් ම ජීවිත විනාශයට පැමිණෙන්නෙහිය. තාපස තෙමේ බෝසතුන්ගේ වචනය නො ඇසීය. සර්පයා ද අත්හරින්නට නො හැකි විය. ඉක්බිති, කීප දිනක් ඇවෑමෙන් සියලු තාපසයෝ ඵලවැල සඳහා ගිය තැන ඵලාඵලයන්ගේ සුලබ බව දැක දෙතුන් දිනක් ම එහි වාසය කළාහුය. වේළුක පියා ද ඔවුන් සමග යන්නේ සර්පයා උණ පුරුකෙහි ම නිදි කැරවා වසා ගියේය. හෙතෙම නැවත තාපසයන් සමග දෙතුන් දිනකින් අවුත් වේළුකට ගොදුරු දෙමි යි උණ පුරුක විවෘතකොට දරුව එව, බඩගිනි ඇත්තෙහිදැ යි අත දිගු කළේය. සර්පයා දින දෙක තුනක් නිරාහාරව සිටි බැවින් කිපී දික් කළ අත දෂ්ටකොට තාපසයා එහි ම ජීවිතක්ෂයට පමුණුවා කැලයට පිවිසියේය. තාපසයෝ ඔහු දැක බෝධිසත්ත්වයන් වහන්සේට සැලකළාහුය. බෝසත් තෙම, ඔහුගේ අවසන් කටයුතු කැරවා තාපස සමූහයා මැද වැඩ හිඳ තවුසන්ට අවවාද වශයෙන් මේ ගාථාව කීවේය.
“යො අත්ථකාමස්ස හිතානුකම්පිනො, ඔවජ්ජමානො න කරොති සාසනං,
එවං සො නිහතො සෙති, වෙලුකස්ස යථා පිතාති”
එවං සො නිහතො සෙති, වෙලුකස්ස යථා පිතාති”
“වැඩ කැමැත්තා හිතවත් ව අනුකම්පා කරන්නාහු වචනය - අවවාදය දෙනු ලබන්නේ වුව ද යමෙක් නො කැරේ ද හෙතෙම වේලුක නම් සර්පයාගේ පියා යම් සේ ද එපරිද්දෙන් මරණයට පත්වූයේ, ශෝක කරයි.”
එහි, “එවං සො නිහතො සෙතීති” යමෙක් වනාහි තවුසන්ගේ අවවාද නො ගනී ද හෙතෙම යම් සේ මේ තාපසයා සර්ප කටෙහි නැසුණේ වෙයි යන අර්ථයයි. මෙසේ බෝසතාණන් වහන්සේ තාපස සමූහයාට අවවාද දී සිව් බඹ විහරණ වඩා ආයු කෙළවර බඹලොව උපන්නේය.
බුදු රජාණන් වහන්සේ, භික්ෂුව, ඔබ දුර්වච වූයේ දැන් පමණක් නොව පෙරත් දුර්වච වූයේය. අකීකරුකමින් ම සර්ප කටෙහි පූතිභාවයට පැමිණියේයැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා ජාතක කථාව නිමවා වදාළසේක. එකල වේලුක පියා දුර්වච භික්ෂුව විය. සෙසු පිරිස බුදු පිරිසයි. පිරිස් නායක මම ම වෙමි යි වදාළ සේක.
4. මකස ජාතකය (44)
“සෙය්යා අමිත්තො” යන මේ දේශනාව බුදු රජාණන් වහන්සේ මගධ රජ චාරිකාවෙහි හැසිරෙන්නේ, එක්තරා කුඩා ගමක මෝඩ ගැමි මිනිසුන් අරබයා දේශනා කළ සේක. බුදු රජාණන් වහන්සේ එක් කාලයක සැවැත් නුවරින් මගධ රටට වැඩමවා එහි චාරිකාවෙහි හැසිරෙන්නේ, එක්තරා කුඩා ගමකට පැමිණි සේක. ඒ කුඩා ගම බොහෝ සෙයින් මෝඩ මිනිසුන්ගෙන් ම පිරුණේය. එහි එක් දිනක් ඒ අන්ධ බාල මිනිසුන් එක්රැස්ව පින්වත්නි, අප කැලයට පිවිස කර්මාන්ත කරන විට මදුරුවෝ කති. එයින් අපේ කර්මාන්තය නවතියි. සියල්ලෝ ම දුනු ද ආයුධ ද ගෙන ගොස් මදුරුවන් සමග යුද්ධකොට සියලු මදුරුවන් විද සිඳ මරමු යි කතිකාකොට ගෙන කැලයට ගොස් මදුරුවන් විදින්නෙමු යි ඔවුනොවුන් විද පහර දී දුකට පැමිණියෝ අවුත් ඇතුල් ගම ද ගම මැද ද ගම් දොර ද වැද හොත්තේය.
බුදුරජාණන් වහන්සේ සංඝයා විසින් පිරිවරන ලද්දේ, එගමට පිඬු පිණිස වැඩම කළ සේක. සෙසු නුවණ ඇති මිනිස්සු බුදුරජාණන් වහන්සේ දැක ගම් දොර මණ්ඩපයක් කොට බුද්ධ ප්රමුඛ මහා සංඝයාට මහදන් දී බුදුරජුන් වැඳ හුන්නාහුය. බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැන වැටුණු මිනිසුන් දැක ඒ උවැසියන් විචාළ සේක. මේ බොහෝ දෙනා ගිලන් මිනිසුන්දැ යි විචාළ සේක. මොවුන් විසින් කුමක් කරන ලද්දේ ද? ස්වාමීනි, ඒ මිනිස්සු මදුරු යුද්ධයක් කරන්නට ගොස් ඔවුනොවුන්ට විද තමා ම ගිලන් වූහ. බුදුරජාණන් වහන්සේ, දැන් පමණක් අන්ධ බාල මිනිස්සු මදුරුවන්ට පහර දෙමැ යි තම තමන්ට පහර දෙති. පෙරත් මදුරුවන්ට පහර දෙන්නෙමු යි අනුන්ට පහර දෙන මිනිස්සු වූවෝමැ යි වදාරා ඒ මිනිසුන් විසින් ඉල්ලන ලද්දේ අතීත කථාව ගෙන හැර දැක්වූ සේක.