2. කපෝත ජාතකය (42)
“යො අත්‍ථකාමස්සාති” යන‌ මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සේක්, එක්තරා කෑදර භික්‍ෂුවකු අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුවගේ කෑදරබව නව වැනි නිපාතයෙහි කාක ජාතකයෙහි මතු සඳහන් වන්නේය. එකල්හි වනාහි, භික්‍ෂූහු, ස්වාමීනි, මේ භික්‍ෂුව කෑදරයැ යි බුදුරජුන්ට සැලකළහ. ඉක්බිති, බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුවගෙන් මහණ, නුඹ ලොල්ය යනු ඇත්තදැ යි විචාළේය. ස්වාමීනි, එ සේය. බුදුරජාණන් වහන්සේ මහණ, නුඹ පෙරත් ලොල්ය. ලොල්කම නිසා ම මරණයට පත්විය. නුවණ ඇත්තේ ද ඔබ නිසා තමන්ගේ වසන තැනින් පිරිහුණේයැ යි වදාරා අතීතය ගෙනහැර පෑ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත් තෙමේ පරෙවි ජාතියෙහි උපන්නේය. එදා බරණැස් නුවර වැසියෝ පින් කැමැති නිසා ඒ ඒ ස්ථානයෙහි කුරුල්ලන්ට සැප සේ වාසය කිරීමට දහයියා පැස් එල්ලති. බරණැස් සිටුතුමාගේ අරක්කැමියා ද තමාගේ කුස්සියෙහි එක් දහයියා කූඩයක් එල්ලා තැබීය. බෝසත් තෙමේ එහි වාසය කළේය. හෙතෙම උදෑසන ම නික්මී ගොදුරු සඳහා හැසිර සවස අවුත් එහි වසන්නේ කාලය ගෙවයි. ඉක්බිති, එක් දිනක් එක් කපුටෙක් මුළුතැන්ගෙය උඩින් යන්නේ නො ඇඹුල් මත්ස්‍යය මාංශ සුවඳ ආඝ්‍රාණයකොට ලෝභය උපදවා කෙසේ නම් මාළු ලබන්නෙහිදැ යි, නුදුරෙහි හිඳ අල්ලා ගැනීමට පරීක්‍ෂා කරන්නේ සවස බෝසතුන් අවුත් මුළුතැන් ගෙයට පිවිසෙනු දැක මේ පරෙවියා නිසා මේ මස් හා මාළු ලබන්නෙමි යි දෙවැනි දින උදෑසන ම අවුත් බෝසතුන් නික්මී ගොදුරු සඳහා යන කල පිටුපසින් ගියේය. ඉක්බිති, ඔහුට බෝසත් තෙම මිත්‍රය, නුඹ කුමක් නිසා අප සමග හැසිරෙන්නෙහිදැ යි ඇසුවේය. ස්වාමීනි, නුඹ වහන්සේගේ ක්‍රියාව මට රුචි කෙරේ. මෙතැන් පටන් තොපට උපස්ථාන කරන්නෙමි. මිත්‍රය, තෙපි අන්‍යය වූ ගොදුරු ක්‍රම ඇත්තෝය. අපි අන්‍යය ගොදුරු ක්‍රම ඇත්තෝමු නුඹ විසින් අපට උපස්ථාන කිරීම දුෂ්කරය. ස්වාමීනි, නුඹ වහන්සේ ගොදුරු ගන්නා කල්හි මමත් ගොදුරු ගෙන නුඹ වහන්සේලා සමග ම යන්නෙමි. මැනවි. හුදෙක් අප්‍රමාද විය යුතුය. මෙසේ බෝසත් තෙමේ කපුටාට අවවාදකොට ගොදුරෙහි හැසිරෙන්නේ, තණ ඇට ආදිය කයි. බෝසතාණන් වහන්සේ ගොදුරු ගන්නා කල්හි කපුටා ගොස් ගොම පිඬු පෙරළා කුඩා පණුවන් කා බඩ පුරවා බෝසතුන්ගේ සමීපයට පැමිණ ස්වාමීනි, නුඹ වහන්සේ කල්යවා හැසිරෙව්. බොහෝ කෑම කන්නකු වන්න නො වටීයැ යි කියා බෝසතාණන් වහන්සේ විසින් ගොදුරු ගෙන සවස තමන් එන්නාහු සමග මුළුතැන්ගෙට පිවිසියේය. අරක්කැමියා අපේ පරෙවියා අනිකකු ගෙන ආයේය. කපුටාට ද පැසක් තැබීය. එතැන් පටන් දෙදෙනා ම වාසය කරත්.
ඉක්බිති, එක් දිනක සිටාණන්ට බොහෝ මස් හා මාළු ගෙනාවාහුය. අරක්කැමියා ඒවා ගෙන ඒ ඒ තැන එල්ලීය. කපුටා ඒ දැක ලෝභ උපදවා හෙට ගොදුරු බිමට නො ගොස් මා විසින් මෙය කෑ යුතුයැ යි රාත්‍රියෙහි තතනමින් වැද හොත්තේය. දෙවැනි දින බෝසත් තෙමේ ගොදුරු සඳහා යන්නේ, යහළු කපුට, එව යි කීවේය. ස්වාමීනි, තොපි යවු. මට බඩේ අමාරුවක් ඇත. යහළුව, කපුටන්ට බඩේ රුජා කිසි දිනක නො වූ විරූය. රාත්‍රියෙහි යාම තුන අතර එක එක යාමෙහි මුසපත්වන්නේ වෙයි. පහන් වැටියක් ගිල්ල කාලයෙහි වනාහි මොවුන්ට මොහොතක් තෘප්තිය වෙයි. තෝ මෙසේ මාළු කනු කැමැත්තේ වන්නෙහිය. එව, මිනිසුන් පරිභෝග කරන දේ තොපට භාවිතය අපහසුය. මෙබඳු දෙයක් නො කැරව. මා සමග ම ගොදුරු සඳහා යව. ස්වාමීනි, නො හැකි වෙමි. එ සේ නම් සිය ක්‍රියාවෙන් ප්‍රකට වන්නෙහිය. ලෝභ වසඟයට නො ගොස් අප්‍රමාදී වෙහි යි. ඔහුට අවවාදකොට බෝසත් තෙමේ ගොදුරු සඳහා ගියේය.