9. ඒකපණ්ණ ජාතකය (149)
“එකපණ්ණො අයං රුක්‍ඛො” යන මේ ජාතකය බුදු රජහු විශාලා නුවර කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක්, සැහැසි ලිච්ඡවී කුමරු අරබයා වදාළහ. ඒ කාලයෙහි විශාලා නුවර ගව්වෙන් ගව්වට තැනුණු පවුරු තුනකින් යුක්තය. තුන් තැනක දොරටු, අටලු කොටු, ගේ ආදියෙන් යුත් ඉතාමත් පොහොසත් නගරයක් විය. එහි හැමදා රජ කැරෙමින් සිටින රජවරු සත්දහස් සත්සිය සත්දෙනෙක් වූහ. යුව රජ, සෙන්පති, අයකැමි ආදීහු ද එපමණ ම වූහ. මොවුනතර එක් සැහැසි ලිච්ඡවි කුමරකු විය. දණ්ඩකින් ගැසූ සර්පයකු මෙන් නිරතුරුව ම ක්‍රෝධයෙන්, ද්වේශයෙන් දූෂිත ව කල් ගත කළේය. ඔහු ඉදිරියේ වචන දෙක තුනක් කථා කිරීමට සමතකු නො වීය. එසේ ම ඔහු හික්මවීමට මව්පියෝ, නෑ හිතවත්හු සමත් නො වූහ. මව්පියෝ මෙසේ සිතූහ. තම පුතුගේ සැහැසිකම් අත්හැරවීමට ලොව්තුරා බුදු රජුන් හැර වෙන සමතකු නැත. මොහු බුදු රජුන් විසින් ම දමනය කළයුතු අයකු විය යුතු යි බුදුන් වෙත ගෙනගොස් ස්වාමීනි. මේ කුමරාගේ සැහැසි ගත් නැති කරනු මැනවැ යි අයැද සිටියහ.
ඉක්බිති, බුදු රජහු කුමරාට ඔවදන් දුන්හ. කුමාරය. මිනිසකු සැඩ පරුෂ නො විය යුතු මෙන් ම මෙරමා පෙළන්නකු නො විය යුතුය. නො සරුප් වචන වැදූ මවට මෙන් ම පියාට ද සහෝදර සහෝදරියන්ට ද භාර්යාවට ද නෑ මිතුරන්ට ද අප්‍රිය වේ. නො සතුටට හේතු වේ. තමා ඩැසීමට ආ සර්පයකු, වනයෙන් පැමිණි සොරකු, තමා කෑමට යකකු මෙන් බිය ජනක වේ. එපමණක් නොව මේ ජීවිතයේ චුත ව අනතුරු ව අපායෙහි උපදී. මෙලොව දී ම සැහැසි පුද්ගලයා කොතරම් ශරීරය සැරසුව ද විරූප වේ. පුන් සඳ මඬලක් වැනි මුහුණක් තිබුණ ද ගින්නෙන් දැවී ගිය නෙළුම් මලක් මෙන් ද මළ බැඳුණු රන් කැඩපතක් මෙන් ද දැකුම්කළු නො වේ. තරහ නිසා මිනිස්සු ආවුධ ගෙන තමා ම මරා ගනිත්. වස විෂ කත්. ගෙල වැළලා ගනිති. කඳු මුදුනින් පනිත්. ඒ ක්‍රෝධ සිත නිසා ම මරණින් පසු නිරයෙහි උපදියි. මෙරමා පෙළන්නේ මෙලොව අපහාස ලැබෙති. නැවත මිනිසත් බවක් ලැබුව ද උපන් කල පටන් රෝගීහු වෙති. ඇස් රෝග, කන් රෝග ආදිය සමූහ වශයෙන් පැමිණේ. නිරතුරු ව රෝගපීඩාදියෙන් දුක් විඳිති. මේ සියලු සත්ත්වයන් කෙරෙහි මෙත් සිත, මුදු සිත, හිත් පිත් ඇත්තකු විය යුතුය. එසේ නො වන්නේ, නිරය ආදී බයෙන් නො මිදේ. ඒ කුමරා බුද්ධාවවාද ලැබ එකවරකින් ම නිහතමානීව දැමුණේ, සංසිඳුණු හිතැත්තේ, මෙත් සිත්, මුදු සිත් ඇත්තකු විය. පරිභව කළ ද ගැසුව ද නැවත බැලීම් පමණක්වත් නො කළේය. විෂ දළ ඉවත් කළ සර්පයකු මෙන් ද අඬු ගැළවී ගිය කකුළුවකු මෙන් ද අං සිඳුණු වෘෂභයකු මෙන් ද විය.
දිනක් භික්‍ෂූහු දම් සභාවෙහි මෙම පුවත මතු කළහ. ඇවැත්නි, මේ කුමරු බොහෝ කලක් අවවාද කළ ද හික්මවීමට මව්පිය ආදීහු අසමත් වූහ. බුදුහු එකවර අවවාදයෙන් ම මතැතකු උගත් හත්‍ථි ශිල්පය අනුව හික්ම වන්නාක් මෙන් හික්මවූහ. මේ සුභාෂිතය සත්‍යයමය. මහණෙනි, ඇතුන් හික්මවන සාරථියා හික්මවන ලද ඇතා පෙර දිශා, අපර දිශා, උතුරු දිශා, දකුණු දිශාවන්ගෙන් එක දිශාවකට ම මෙහෙයවයි. එසේ වෘෂභයන් හික්මවා සාරථියා හික්ම වූ ගවයා පෙර අපර උතුරු දකුණු දිශාවලින් එක දිශාවකට ම මෙහෙයවයි. පුරුෂයන් හික්මවන සම්මා සම්බුද්ධ තථාගතයන් විසින් හික්මවන ලද පුරුෂයා අට දිශාවකට මෙහෙයවයි. තමා රූප ධ්‍යාන ලාභී ව බාහිර රූපයන් දකී. මේ දිශාවක. -පෙ- නිරෝධ සමවතට සමවදී. මේ අට වැනි දිශාවයි. ඒ බුදු රජහු සතුන් හික්මවන ගුරුන් අතුරින් උසස් ම පුද්ගලයා යි කියනු ලැබෙති. එනම් පුරිසධම්මසාරථී වූ බුදුහුයැ යි ද බුදු රජුන් වැනි පුරුෂයන් හික්මවන උතුමකු නැතැ යි ද කථා ඉපැද්දීය. බුදුහු දම් සභාවට වැඩමවා මහණෙනි, දැන් කවර කථාවකින් යුතුව හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නාහුමැ යි කී කල්හි මහණෙනි, මම මොහු එක ම අවවාදයකින් හික්ම වූයේ දැන් පමණක් නො වේ. පෙර ද මොහු එක්වර අවවාදයෙන් ම හික්මවීමි යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු උසස් බමුණු කුලයෙහි ඉපිද වැඩිවියට පත්ව තක්සලාවෙහි ත්‍රිවේදය සහිත සියලු ශිල්ප හදාරා ටික කලක් ගිහි ගෙයි වැස මව්පියන්ගේ ඇවෑමෙන් සෘෂි පැවිද්දෙන් පැවිදි ව අභිඤ්ඤා සහිත සමවත් උපදවා හිමවතෙහි ම වාසය කළහ. කලක් එහි වැස ලුණු ඇඹුල් සෙවුනා පිණිස ගම්පියසට පැමිණ බරණැස් රජුගේ උයනෙහි වැඩ දෙවැනි දවස්හි මනාව හැඳ පෙරව සන්සුන් ව පිඬු පිණිස නගරයට පැමිණ රජ මැදුරට පැමිණියහ. රජ සිව්මැදුරු කවුළුවෙන් බලන්නේ, තවුසාණන් දැක ඉරියව් පැවැත්මෙහි පැහැද මේ තවුසා සන්සුන් ඉඳුරන් ඇත්තේය. හිත සන්සුන්ය. විය දණ්ඩක් පමණ බලන්නේය. පියවරක් පාසා දහසින් බැඳි පියල්ලක් තබන්නාක් මෙන් සිංහයකු මෙන් අභීත ව එන්නේය. ශාන්ත දහමක් ඇත්තේ නම් එය මේ තාපසයාණන්ගේ හිත තුළ වන්නේයැ යි සිතා ඇමැතියකු අමතා මේ තවුසාණන් කැඳවාගෙන එව යි කීය. ඔහු තවුසාණන් වෙත ගොස් වැඳ අතින් භික්‍ෂා භාජනත් ගෙන සිටි කල්හි කිම මහපිනැත්තෙහි යි ඇසූ කල්හි, රජ ඔබතුමන් කැඳවතැ යි කී කල්හි, රජු හා අප අතර කුලුපග බවක් නැත. අපි හිමවතට අයත් වූවෝ වෙමු යි කීහ. ඇමැතියා මෙකරුණ රජුට සැලකළහ. එවිට, ඇමැතිය, අපට වෙනත් කුළුපග කෙනෙක් නැත. ඔහු ම කැඳවාගෙන එන්නැ යි කීය. ඇමැති ද නැවත ගොස් බෝසතුන් වැඳ රජ හසුන පවසා තවුසාණන් රජ ගෙදරට පැමිණ වීය.