15. කකණ්ටක වර්‍ගය
1. ගෝධ ජාතකය (141)
“න පාපජනසංසෙවීති” යන මේ ජාතක දේශනය බුදු රජහු වේළුවන විහාරයෙහි වසන සේක්, ප්‍රතිපක්‍ෂ සෙවුනා භික්‍ෂුවක් අරබයා මේ ජාතකය දේශනා කළහ. මෙහි වත්මන් කථාව මහිලාමුඛ ජාතකයෙහි කථාව හා සමානය.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු තලගොයි යෝනියෙහි පිළිසිඳ ගත්හ. ඔහු වියට පැමිණ ගංතෙර මහත් ගුහාවක නොයෙක් සියගණන් තලගොයින් පිරිවරා වාසය කළේය. ඔහුගේ පුත් තලගොයි පෝතකයා එක් කටුස්සකු සමග මිත්‍රව ඔහු සමග සතුටුවෙමින් වසන්නේ කටුස්සා වැළඳ ගනිමි යි ඇඟ වැතිරෙයි. මේ දෙදෙනා අතර විශ්වාසය ගෝධ රජුට සැළවිය. ගෝධ රජු කුඩා පුතු කැඳවා දරුව, ඔබ නුසුදුසු තැනක විශ්වාසය තැබුවෙහි. කටුස්සෝ හීන ජාතියකි. ඔවුන් සමග විශ්වාසය නො කළ යුතුය. ඉදින්, ඔබ ඔහු විශ්වාස කරන්නේ නම් ඒ කටුස්සා නිසා මේ සියලු තලගොයි සමූහය විනාශ වන්නේය. මෙතැන් පටන් කටුස්සා සමග විශ්වාස නො කරව යි කීහ. එහෙත් පුත්‍රයා මිත්‍රත්වය පැවැත්වීය. බෝසත්හු නැවත නැවත කීව ද මේ මිත්‍රබව වැළැක්වීමට නො හැකි විය. මේ අතර බෝසත්හු මේ කටුස්සා නිසා අපට බියක් වන්නේ නම් පැන යා හැකි මඟක් තනන්ට වටනේ යි සිතා එක් පසෙකින් සුළං වදනා සිදුරක් කැරවීය.
බෝසතුන්ගේ පුත්‍රයා ද මහා සිරුර ඇත්තේ විය. කටුස්සා නම් එපමණ ම විය. ගෝධ පුත් කටුස්සා වැළඳ ගනිමි යි අතරතුර ඇඟ වැතිරේමය. කටුස්සාට පර්වතයක් වැතිරෙන්නාක් මෙන් දැනේ. ඌ පීඩාවට පත්ව මෙසේ සිතී. මේ තලගොයා මේ අයුරින් මා ඇඟ වැතිරුණහොත් මගේ ජීවිත නැත. එක් වැද්දකු සමග යහළුව මේ තලගොයි රංචුව වනසා දමන්නෙමි යි එක් දවසක් නියං වැසි වට කල්හි තුඹසින් මෙරු නැංගාහ. තලගොයි ඒ ඒ තැනින් නික්ම මෙරුන් කෑහ. එක් තලගොයි වැද්දෙක් තලගොයි ගුහාව බඳිනා පිණිස උදැල්ලක් ගෙන වනයට පිවිසියේය. කටුස්සා ඔහු දැක අද මම මගේ මනදොළ පුරවා ගනිමි යි ඔහු වෙත එළැඹ බිම වැතිර පින්වත් පුරුෂය, වනයෙහි හැසිරෙන්නේ මක් නිසාදැ යි ඇසීය. තලගොයින් සඳහායැ යි කීය. මම සියගණන් ගෝධයින් සිටිනා බිලක් දනිමි. ගිනි ද පිදුරු ද ගෙන එව යි ඔහු ලවා ගෙන්වා ගෙන වැද්දා තලගොයි නිවාසයට පමුණුවා මෙතනින් පිදුරු දමා ගිනි දල්වා හාත්පස බල්ලන් තබවා තමා මහා මුගුරක් ගෙන නික්මෙන සෑම තලගොයෙක් ම තලා මරා එක්රැස් කැරව යි කියා අද මම මගේ සතුරා පිටු දකිමි යි එක් තැනක හිස ඔසවා වැතිර සිටියේය. වැද්දා ද පිදුරු දුම් දුන්නේය. දුම බිල තුළට වන් කල්හි දුමින් අඳ වූ තලගොයි මරණ බයෙන් තැතිගෙන නික්මී පලායන්ට පටන් ගත්හ. වැද්දා නික්මුණු නික්මුණු එකා ගසා මරා දැමූහ. ඔහුගෙන් මිදුණු තලගොයි බල්ලෝ ඩැහැගත්හ. ගෝධයින්ට මහත් විනාශයක් විය.
බෝසත්හු මේ මහා විනාශය කටුස්සා නිසා උපන් බව දැන පවිටු පුද්ගලයන් හා මිත්‍රබව නො කළ යුතුය. පවිටුන් නිසා සැපයක් නම් නැත. එක පවිටු කටුස්සකු නිසා මේසා විනාශයක් වූයේයැ යි වාත බිලයෙන් නික්මී පලායමින් මේ ගාථාව කීහ.
“න පාපජන සංසෙවී අච්චන්තසුඛමෙධති,
ගොධාකුලං කකණ්ටාව කලිං පාපෙති අත්තානන්ති”
“පාප ජනයන් සෙවුනා පුද්ගලයා ඒකාන්තයෙන් සුව නොලබයි. කටුස්සා තලගොයි සමූහයා නෑසුවක් මෙන් තමාද එක් වූවන්ද විනාශය පමුණුවයි.”
මේ මෙහි ලුහුඬු අර්ථයයි. “පාප ජනසංසෙවී”, පවිටු ජනය ඇසුරු කරන පුද්ගලයා, “අච්චන්තසුඛං”, ඒකාන්ත සැපය නිරතුරු සැපය නම්, “න එධති”, නො ලබයි. කෙසේ ද යත්, “ගොධාකුලං කකණ්ටාව”, යම් සේ තලගොයි සමූහය කටුස්සාගෙන් සැප නො ලැබුවේ ද, එමෙන් පවිටු ජනයන් සේවනය කරන්නා ඒකාන්තයෙන් “කලිං පාපෙති අත්තානණ්ති”, මෙහි “කලි” නම් විනාශයයි. පාප සේවී පුද්ගලයා තමා ද අන්‍යයා ද තමා සමග ම විනාශයට පමුණුවයි. පාළියෙහි වනාහි “ඵලංපාපෙතීති” යනුවෙන් ද ලියයි. ඒ ව්‍යඤ්ජනය අටුවාවෙහි නැත. අර්ථය ද මෙතැනට නො ගැළපේ. එම නිසා කියන ලද අයුරින් ම ගත යුතුයි.
බුදු රජහු මෙම දහම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා කටුස්සා නම් දෙව්දත් විය. බෝධි සත්ත්ව පුත්‍රයා ප්‍රතිපක්‍ෂයේ වු භික්‍ෂුව විය. ගෝධ රාජයා මම ම වීමි.
2. සිඟාල ජාතකය (142)
“එතං හි තෙ දුරාජානන්ති” යන මේ ජාතකය බුදු රජහු වේළුවන වෙහෙරෙහි වසන සේක්, දෙව්දත් බුදු රජුන් නැසීමට ගත් උත්සාහය අරබයා දේශනා කළහ. දම් සභාවෙහි භික්‍ෂූන්ගේ කථාව අසා මහණෙනි, දෙව්දත් මා නැසීමට තැත් කළේ දැන් පමණක් නො වේ. පෙරත් මා නසනු පිණිස තැත් කළේ මැයි. එහෙත් මා නැසීමට නො හැකි විය. තෙමේ ම පීඩාවට පැමිණියේ යි වදාරා අතීත කථාව වදාළහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු සිවල් යෝනියෙහි ඉපිද සිවල් රජෙක් වී සිවල් සමූහය පිරිවරාගෙන සොහොන් වනයෙහි වාසය කළහ. එකල්හි රජගහ නුවර උත්සවයක් විය. මේ උත්සවයේ දී මිනිස්සු බෙහෙවින් සුරා පානය කරත්. එය සුරා උත්සවය නම් විය. එකල එහි බොහෝ ධූර්ත (සලෙළු) ජනයා බොහෝ සුරා ද මස් ද ගෙන්වා සැදී පැහැදී ගී ගයමින් සුරා පානය කරත්. මස් ද කති. රාත්‍රියෙහි පළමු යම අවසානයෙහි මස් අවසන් විය. සුරා බොහෝ ඉතිරි විය. එහි දී එක් සලෙළුවෙක් මස් දෙව යි කී කල්හි මස් අවසන් බව කීහ. එවිට ධූර්තයා මා සිටින තාක් මස ක්‍ෂය වීමක් නම් නැතැ යි කියා අමු සොහොනට ගොස් මළ මිනී කෑමට පැමිණි සිවළුන් මරා මස් ගෙනෙමි යි මුගුරක් ගෙන දිය බැස යන මඟින් නුවරින් නික්ම සොහොනට ගොස් මළ අයකු මෙන් උඩුකුරු ව හොත්තේය. එකල්හි බෝසත්හු සිවල් රැළ පිරිවරාගෙන එහි ගියාහු. සලෙළුවා දැක මේ මළ මිනියක් නො වන බව දැක වඩාත් විමසමි යි යටි සුළඟින් ගොස් සිරුරෙහි ජීව ගඳ ඉව කොට එපමණකින් ම ඔහු නො මළ බව දැන ලජ්ජා කොට ඔහු පලවා හරිමි යි සිතා ළඟට ගොස් මුගුරු කෙළවර කටින් ඩැහැ ඇද්දාහ. ධූර්තයා මුගුර අත නො හැරියේය. ඔහු වඩ වඩාත් දැඩි කොට අල්ලාගත් බෝසත්හු පැත්තක පැන එම්බා පුරුෂය, ඉදින්, තා මැරුණෙහි නම් මා මුගුර අදිත් ම ඉතා දැඩි කොට අල්ලා නො ගත්තෙහිය. මේ කාරණයෙන් තා මළ නො මළ බව දැන ගැනීම පහසු වී යි කියා මේ ගාථාව කීහ.