10. සංජීව ජාතකය (150)
“අසන්තං යො පග්ගණ්හාතීති” යන මේ දේශනාව බුදුහු වේළුවනාරාමයෙහි වැඩ වසන සේක්, අජාසත් රජුගේ අසත්පුරුෂයන්ට අනුග්‍රහය අරබයා වදාළහ. හෙතෙම බුදු රජුන්ට විරුද්ධ වූ දුසිල් වූ පවිටු ස්වභාව ඇති දේවදත්තයන් කෙරෙහි පැහැදී ඒ අශාන්ත වූ අසත් පුරුෂයාට අනුග්‍රහ කොට ඔහුට සත්කාර කරන්නෙමි යි බොහෝ ධනය වියදම් කොට ගයා ශීර්ෂයේ විහාරයක් කැරවා ඔහුගේ ම කීම අසා පියා වූ දැහැමි රජ වූ සෝවාන් ඵලයට පත් ආර්යය ශ්‍රාවකයා ඝාතනය කොට තමන්ගේ සෝවාන් වීමට තිබූ හේතු සම්පත් බිඳ මහත් විනාශයකට පැමිණියේය. ඒ දේවදත්ත පොළව පලාගෙන ගියේයැ යි ආසා කිම මමත් පොළොවෙහි ගිලෙයිදැ යි බියෙන් තැති ගෙන රජ, සැප නො ලබයි. ඇඳෙහි නිදි සුවයක් නො ලබයි. තියුණු දුක් කම්කටොලුවලින් පෙළෙන ලද්දා වූ ඇත් පොව්වෙකු මෙන් කම්පාවෙමින් හැසිරෙයි. හෙතෙම පොළොව පැලෙන්නාක් මෙන් ද අවීචියෙන් ගිනිදැල් නික්මෙන්නාක් මෙන් ද තමා පොළොවට ගිලී යන්නාක් මෙන් ද දිලිසෙන යකඩ පොළොවෙහි උඩුකුරු ව සයනය කැරවා යකඩ උල්වලින් කොටන්නාක් මෙන් ද පෙනුණේය. ඒ නිසා ඔහු ගසන ලද කුකුලෙකුට මෙන් කම්පා විය. කිසි ම මොහොතක්වත් සැනසීමක් නම් නො වීය. හෙතෙම බුදු රජුන් දකිනු කැමැත්තේ, සමාකැරගනු කැමැත්තේ, ප්‍රශ්න අසනු කැමැත්තේ විය. තමාගේ අපරාධය මහත් බැවින් එළැඹෙන්නට නො හැකි වෙයි.
ඉක්බිති, ඔහුගේ රජගහ නුවර කාර්තික රාත්‍රී පැමිණි කල්හි දේව නගරයක් මෙන් නගරය අලංකාර කළ කල්හි මතු මහලේ ඇමැති සමූහයා විසින් පිරිවරන ලද්දේ, රන් අසුනේ හුන්නේ, ජීවක කෝමාරභච්ච නුදුරෙහි සිටිනු දැක මෙසේ සිත් විය. ජීවක ගෙන සම්බුදුන් දකින්නෙමි. කෙළින් ම කථා කිරීමට මම නො හැක්කෙමි. යහළු ජීවකය, මම, තෙමේ ම යන්නට නො හැක්කෙමි. එව. මා ශාස්තෲන් සමීපයට පමුණුවනු. සෘජු ව නො කියා එදින රාත්‍රිය වර්ණනා කොට අද මම කවර නම් ශ්‍රමණ බ්‍රාහ්මණයකු ඇසුරු කරයි ද? යමකු ඇසුරු කිරීමෙන් මගේ සිත පැහැදෙයි ද? එවැනි උතුමකු ඇසුරු කරන්නෙමි. එවිට ඇමැතිවරු තම තමන්ගේ ශාස්තෲන්වරුන් වර්ණනා කරන්නේය. එවිට ඔහු බුදු රජුන් වෙත යන්නෙමි යි පද පහකින් රාත්‍රිය වර්ණනා කෙළේය. මේ රාත්‍රිය දොසින් මිදුණේය. ඉතාමත් සිත්කළුය. මේ රාත්‍රිය දැකුම්කළුය. මේ රාත්‍රිය මනහරය. මේ රාත්‍රිය හැම අයුරින් ම සිත් ගන්නේය. මේ රාත්‍රිය මනහරය. අද මම යම් මහජන බමුණකු ඇසුරු කිරීමෙන් මගේ සිත පහදින්නේ ද එවැනි කවර නම් මහණ බමුණකු ඇසුරු කරන්නෙම් ද?
එවිට ඇමැතියෙක් පූර්ණ කස්සපගේ ගුණ වර්ණනා කළේය. එකෙක් මක්ඛලිඝෝෂාලගේ ද එකෙක් අජිත කේසකම්බිලිගේ ද එකෙක් පකුධකච්චායනගේ ද තව එකෙක් සඤ්ජය බෙල්ලට්ඨිපුත්‍රගේ ද එකෙක් නිගණ්ඨ නාථපුත්‍රගේ ද ගුණ කථා කළේය. එහෙත් රජතුමා ජීවකයන්ගේ කථාව ම බලාපොරොත්තුවෙන් සිටියේය. ජීවක ද රජතුමා මාගෙන් ඉල්ලූ විට ම කියමි යි නිහඬ ව නුදුරෙන් සිටියේය. ඉක්බිති, රජතුමා ජීවක අමතා යහළු ජීවකය, ඔබ මක්නිසා නිහඬ ව සිටින්නෙහි ද? එකෙණෙහි ජීවකයා හුනස්නෙන් නැඟී බුදු රජුන් දෙසට ඇඳිලි බැඳ, දේවයිනි, ඒ භාග්‍යවත් බුදු රජහු අපගේ අඹ වනයෙහි එක් දහස් දෙසිය පණසක් භික්‍ෂූන් වහන්සේ සමග වාසය කරති. ඒ බුදු රජුන්ගේ යහපත් කීර්ති ඝෝෂාව පැතිර පවතින්නේ යි නව අරහාදී බුදු ගුණ කියා බුදු රජුන්ගේ උපතෙහි පටන් සිදුවූ පෙර නිමිති ආදිය ද බුදු රජුන්ගේ ආනුභාවද ප්‍රකාශ කොට ඒ බුදු රජුන් ඇසුරු කෙරේවා. ධර්මය අසාවා. ප්‍රශ්න විචාරාවා යි කීවේය.
රජ පිරිපුන් මනදොළ ඇත්තේ වී, එසේ නම් යහළුව ජීවකය, ඇත් යානාදිය සූදානම් කැරව. යානා සූදානම් කැරවා මහත් රාජ ආනුභාවයෙන් ජීවක අඹ වනයට ගොස් සුවඳවත් කළ මැද මාලෙහි භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලද බුදු රජුන් දැක සන්සුන් රළ මැද මහා නැවක් මෙන් නො සැලෙන භික්‍ෂු සංඝයා ද ඒ මේ අත විමසා බලා මෙබඳු පිරිසක් පෙර නො දක්නා ලදිමි යි ඉරියව් පැවැත්මෙහි ම පැහැදී සංඝයට ඇඳිලි බැඳ ස්තුති කොට භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේ, සාමඤ්ඤඵල පිළිබඳ ප්‍රශ්න විචාළේය. ඉක්බිති, ඔහුට බුදුහු බණ වර දෙකකින් යුක්තව සාමඤ්ඤඵල සූත්‍රය දෙසූහ. හෙතෙම සූත්‍ර දේශනාවගේ කෙළවර සතුටු සිත් ඇත්තේ, බුදුන් ක්‍ෂමා කැරවා අසුනෙන් නැඟිට පැදකුණු කොට ගියේය. බුදුහු රජු ගිය නොබෝ වේලාවකින් භික්‍ෂූන් අමතා මහණෙනි, හාරා දමන ලද්දේය. රජතුමා විසින් නසන ලද්දේය. ඉදින් මහණෙනි, මේ රජ තෙම රජ සම්පත් හේතුකොට ගෙන දැහැමි ධාර්මික රජ වූ පියා නො මැරුවේ නම් මේ ආසනයේ දී ම ඔහුට රජස් නැති මළ නැති දහම් ඇස පහළ වන්නේය. දෙව්දත් නිසා අදාන්ත පුද්ගලයන්ට අනුග්‍රහ කිරීම හේතුවෙන් සෝවාන් ඵලයෙන් පිරිහුණේයැ යි කීහ.