8. සිඟාල ජාතකය (148)
“නාහං පුනං නච පුනන්ති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, කෙළෙස් සංසිඳීමත් අරබයා දෙසූහ. සැවැත් නුවර මහත් ධන සම්පත් ඇති ඔවුනොවුන් යහළු වූ පන්සියක් පමණ සිටු පුත්‍රයෝ බුදු දහම අසා සසුනට ලැදි ව පැවිදි ව දෙව්රම් වෙහෙර කෙළක් කහවණු අතිරූ බිම් පෙදෙස ඇතුළත වාසය කළහ. දිනක් ඔවුන්ට මධ්‍යම රාත්‍රියෙහි පමණ කෙළෙස් සිතුවිලි උපන්නේය. ඔවුහු කලකිරී තමන් විසින් අත්හළ කෙළෙස් නැවත දෙසීමට සිතූහ. බුදුහු ද එම වේලාවෙහි සර්වඥ ඥාන නමැති පහන් ටැඹ ඔසවා දෙව්රම් වෙහෙර තුළ භික්‍ෂූහු කවරකු ඇලී සිටිත්ද යි ඔවුන්ගේ අදහස් බලන්නාහු, එම භික්‍ෂුන් අතර කාමරාග සහගත සිතිවිලි උපන් බව දැන ගත්හ. බුදු රජහු වනාහි එක පුත්‍රයකු ඇති ස්ත්‍රිය ඒ පුත්‍රයා රකින්නාක් මෙන් ද එක් ඇසත් ඇති පුරුෂයකු ඇස රකින්නාක් මෙන් ද තම සව්වන් රකිත්. පෙරයම් ආදී යම් යම් වේලාවක ඔවුන්ට කෙළෙස් උපදී ද එම කෙළෙස් වැඩීමට ඉඩ නො දී ඒ ඒ වේලාවෙහි ම සංසිඳුවයි. බුදු රජුන්ට මෙබඳු සිතක් උපන. සක්විති රජුගේ නගරය ඇතුළත ම සොරුන් පැමිණි කැලක් විය. දැන් මම ඔවුන්ට දම් දෙසා කෙළෙස් නැති කොට රහත් බව දෙමි යි බුදුහු ගඳකිළියෙන් නික්ම මිහිරි ස්වරය විහිදුවා ධම්ම භාණ්ඩාගාරික අනඳ තෙරුන් ඇමතූහ. තෙරණුවෝ ද, කිම? ස්වාමීනි යි වහා අවුත් වැඳ සිටියහ. ආනන්ද, යම් පමණ භික්‍ෂූහු දෙව්රම් වෙහෙර භූමිය තුළ වෙසෙත් ද ඒ සියල්ලෝම ගඳකිළි හාත්පස රැස්කරවනු. අනඳ තෙරණුවන්ට මෙබඳු සිතක් පහළ විය. ඉදින්, මම ඒ භික්‍ෂූන් පන්සිය පමණක් රැස් කරන්නේ නම්, බුදු රජුන් විසින් අප සිත් කෙළෙස් වසඟ වූ බව දන්නා ලදැ යි සිත් තැවුලක් ඇතිවූයේ නම් ධර්මාවබෝධයට බාධාවක් වන්නේය. එම නිසා සියලු භික්‍ෂූන් රැස් කැරවන ලෙස වදාළිය යුතු යි, තෙරණුවෝ බුදු රජුන්ගේ වචනය පිළිගෙන කෙස්ස හෙවත් යතුර ගෙන කුටියෙන් කුටියට ගොස් සියලු භික්‍ෂූන් ගඳකිළි අංගනයට රැස්කැරවා බුද්ධාසනය පැනවූහ.
බුදු රජහු පළඟ බැඳ බුදු සිරුර සෘජුව තබා ගල් පොළොවෙහි පිහිටි මහමෙර මෙන් පනවන ලද බුද්ධාසනයෙහි අග්බඹරු වී යුගල ව සවණක් ගණ බුදු රැස් විහිදුවමින් වැඩ සිටියහ. ඒ බුදු රැස් ද අල්ලක් පමණව ද සතක් පමණව ද කුළු ගෙයක් පමණව ද සිඳි සිඳී අහසෙහි විදුලිය මෙන් හැසිරුණේය. අහස් කුස කළඹා උද්දස්ත්‍ර හිරු උදාවන කලක් මෙන් විය. භික්‍ෂු සංඝයා ද බුදු රජුන් වැඳ ගුරු සිත පෙරදැරි ය රන් කම්බල තිරයකින් වට කරන්නාක් මෙන් බුදුරජුන් පිරිවරා වැඩ සිටියහ. ඉක්බිති, බුදු රජහු බඹගොස් පතුරුවා භික්‍ෂූන් අමතා මහණෙනි, භික්‍ෂුව විසින් කාමුක සිතිවිලි, ද්වේෂ සිතිවිලි, හිංසා සිතිවිලි මේ තුන් අකුසල සිතිවිලි සිතන්ට නො වටී. සිතෙහි ඇතිවන කෙළෙස් සුළුයැ යි සිතන්ට නො වටී. කෙළෙස් වනාහි සතුරකු සමානය. සුළු වූ සතුරකු නැත. ඉඩක් ලැබුණු වහා ම විනාශයට පමුණුවයි. එමෙන් සුළු වූ ද ක්ලේශය වැඩෙන විට මහා විනාශයකට පමුණුවයි. මේ ක්ලේශයෝ මහා විෂක් බඳුය. ඉවත් කළ සිවිය හා ලොම් ඇති ගඩුවක් බඳුය. සර්පයකු හා සමානය. හෙණගින්නක් සමානය. ඇලෙන්ට නුසුදුසුය. සැක කටයුතුය. උපන් උපන් කෙණෙහි ම ප්‍රත්‍යවේක්‍ෂා බලයෙන් හා භාවනා බලයෙන් මොහොතක් හෝ සිතෙහි නො තබා නෙළුම් පතක දිය බිඳක් යම් සේ පෙරළී යයි ද එමෙන් අත්හැරිය යුතුය. පෙර පඬිවරු සුළු වූ ද ක්ලේශය පහත් කොට සලකා යම් සේ දුරලී ද, යම් අයුරකින් සිතෙහි නූපවද්ද, එමෙන් සංසිඳවූහ යි වදාරා ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු සිවල් යෝනියෙහි පිළිසිඳ ගෙන වනයෙහි ගං තෙරක වාසය කළහ. එකල මහළු ඇතෙක් ගංතෙර මරණයට පත්විය. සිවලා ගොදුරු සොයා ඇවිදින අතර ඇත් සිරුර දැක මට මහත් ගොදුරක් ලැබුණේ යි සිතා සොඬ සැපීය. එවිට නගුලිසක් සැපූ කලක් මෙන් විය. එහි කෑ යුතු දෙයක් නො දැක දළ සැපීය. ටැඹක් හැපූ කලක් මෙන් විය. ඊළඟට කන් හැපීය. කුල්ලක් සැපුවා වැනි විය. බඩ සැපීය. ධාන්‍යය කොටුවක් සැපූ කල මෙනි. පා සැපීය. වංගෙඩියක් සැපුවා වැනි විය. නගුට සැපීය. මෝල් ගස මෙනි. මේ කිසි තැනක කෑ යුත්තක් රස විඳිය යුත්තක් නො ලැබූ සිවලා වස මඟ සැපීය. මෘදු කැවුමක් මුවට ගත් කල මෙන් දැනිණි. එවිට සිවලා මේ සිරුරෙහි කෑ හැකි කොටසක් ලැබුවෙමි යි සතුටු ව එතැන් සිට කමින් කුස තුළට ම පිවිස වකුගඩු, හෘදය මාංශාදිය කමින් පිපාස වූ කල ලේ බොමින් නිදීමට අවශ්‍ය වූ විට බඩතුර වැතිර නිදයි.