7. පුප්ඵරතන ජාතකය (147)
“නයිදං දුක්‍ඛං අදුං දුක්‍ඛං” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක්, කලකිරුණු භික්‍ෂුවක් අරබයා දෙසූහ. බුදු රජහු ඒ භික්‍ෂුව අමතා මහණ, ඔබ උකටලී වූයේ සත්‍යයදැ යි විමසූ කල්හි ස්වාමීනි, සත්‍යයයි. කුමක් නිසා උකටලී වූයේ ද? ස්වාමීනි, මගේ ගිහි කල භාර්යාව නිසා උකටලී වෙමි. ඇය මිහිරි අන්රස ඇත්තීය. ඇයගෙන් වෙන් ව සිටීමට මට නො හැක්කෙමි. මහණ, ඇය ඔබට හිතෛෂී නො වේ. පෙර ඔබ ඇය නිසා හුලෙහි තබන ලද්දේ ඇය නිසා ම වැළපෙමින් මැරී ගොස් අපායෙහි උපන්නේය. දැන් කුමක් නිසා ඇය පතන්නෙහිදැ යි වදාරා කිකුන් වත ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු අහසෙහි වසන දෙවියෙක් වූහ. කැති නැකත් ලදී. ඉල්මස මැදි පෝදින රැයෙහි සැණකෙළිය පැමිණි කල්හි නගරය දෙව් පුරයක් මෙන් අලංකාර කළහ. සියලු ජනයෝ සැණකෙළියෙහි යෙදුණෝ වූහ. එක් දුගී මිනිසකුට එක ම රළු සළු යුවළක් විය. ඔහු එය මනාව සෝදා නමා සිය දහස් රැළි සිටින සේ කොට තැබීය. ඔහුගේ බිරිය, මම වණුක් මල් සුවද කැවූ වස්ත්‍රයක් හැඳ පොරවා ඔබගේ ගෙළ වැළඳගෙන නැකත්කෙළි කෙළිනු කැමැත්තෙමි. සොඳුර, අප වැනි දිළින්දන්ට වණුක් මල් කෙසේ ලබමු ද? පිරිසිදු වතක් හැඳ ක්‍රීඩා කැරව. වණුක් මල රැඳ වූ වස්ත්‍රයක් නො ලබන්නේ නම් සැණකෙළි නො පවත්වමි. ඔබ අන් ළඳක් ගෙන ක්‍රීඩා කැරව. සොඳුර, මා පෙළන්නේ මන් ද? අපට වණුක් මල් කොයින් ද? හිමියනි, පුරුෂයකුට කැමැත්ත තිබේ නම් නැති දෙයක් නැත. රජතුමාගේ වණුක් උයනෙහි බොහෝ වණුක් ඇත. සොඳුර, එම උයන යකුන් අරක් ගත් පොකුණක් මෙන් බලවත් ආරක්‍ෂාවලින් යුක්තය. එහි ඇතුළුවීමට ඇති තිගේ රුචිය දුරු වේවා. ලද දෙයින් සතුටු වීම මැනවි. හිමියනි, රාත්‍රී භාගයෙහි අඳුරෙහි පුරුෂයින්ට ගමන් නො කළ හැකි තැනක් නම් නැත. මෙසේ නැවත නැවත ඇවිටිලි කරන කල්හි කෙළෙස් ගති නිසා ඇයගේ වචනය පිළිගෙන සොඳුර, ඉවසන්න. ඉටු කරමි යි ඇය සනසා රාත්‍රියෙහි දිවි පරදුවට තබා නුවරින් නික්ම රජුගේ වණුක් උයනට ගොස් වැට බිඳ දමා උයන තුළට පිවිසියේය. පාලක පුරුෂයෝ වැට බිඳෙන හඬ අසා සොරකුයැ යි වටකොට ඔහු අල්ලාගෙන පරිභව කොට තලාපෙළා රාත්‍රිය පහ වූ කල රජුට දැක්වූහ. රජ මොහු ගෙනගොස් හුලෙහි හිඳවිය. රජ අණ නියම කළේය. ඉක්බිති, රාජ පුරුෂයෝ ඔහු පිටි අත්බැඳ වද බෙර වයද්දී ගෙන ගොස් හුලෙහි හිඳවූහ. ඔහුට බලවත් වේදනා ඇතිවිය. කවුඩෝ උල් වැනි තුඩින් ඇස් උපුටා දැමූහ.
ඔහු මෙබඳු මහා දුක මෙනෙහි නො කොට සිය බිරිය සිහි කොට මල් රැඳවූ වස්ත්‍ර ඇඳගෙන තම ගෙළෙහි රැඳවූ අත් යුවලෙන් යුතුව නැකත් කෙළ කෙළීම් වාරයෙන් පිරිහුණෙමි යි මේ ගාථාව කීය.
“නයිදං දුක්‍ඛං අදුං දුක්‍ඛං යං මං තුදති වායසො,
යං සාමා පුප්ඵරත්තෙන කත්තිකං නානුභොස්සතී”
“කවුඩා හුල සිටින මා විඳින යම් දුකක් ඇද්ද, ඒ මට දුකක් නො වේ. වණුක් මලින් රැඳවූ සාමා තොමෝ කැති නැකැත් කෙළිය නො විඳී ද එය ම මට දුක් වේ.”
එහි, “නයිදං දුක්‍ඛං අදුං දුක්‍ඛං යං මං තුදති වායසො”, හුලෙහි ලැගීම නිසා යම් කායික වූ ද මානසික වූ ද යම් ලොහෝ හුල් වැනි තුඩින් සිදුරු කැරෙමින් පීඩා කරයි ද, ඒ සියල්ල මට දුක් නො වේ. මෙයම මට දුකයි. ඒ කුමක් ද යත්, “යං සාමා පුප්ඵරත්තෙන කත්තිකං නානුභොස්සති”, යම් ඒ ප්‍රිය සාමා නම් වූ මගේ බිරිය වණුක් මල් රැඳවූ එක් වතක් හැඳ එකක් පොරවා මෙසේ මල් සුවඳ කැවූ වස්ත්‍ර යුගළයෙන් මගේ ගෙළ අල්ලාගෙන කැති නැකැත් කෙළිය නො විඳී ද, එය මට පීඩාවකි. බාධකයකි.
ඔහු මෙසේ ස්ත්‍රියක අරබයා නන්දොඩවද්දී ම කළුරිය කොට නිරයෙහි උපන්නේය. බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එදින අඹුසැමි යුවළ නම් දැන් මේ යුවළ මැයි. මෙකරුණ සියැසින් දුටු අහස් වැසි දෙවියා මම ම වීමි.
8. සිඟාල ජාතකය (148)
“නාහං පුනං නච පුනන්ති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, කෙළෙස් සංසිඳීමත් අරබයා දෙසූහ. සැවැත් නුවර මහත් ධන සම්පත් ඇති ඔවුනොවුන් යහළු වූ පන්සියක් පමණ සිටු පුත්‍රයෝ බුදු දහම අසා සසුනට ලැදි ව පැවිදි ව දෙව්රම් වෙහෙර කෙළක් කහවණු අතිරූ බිම් පෙදෙස ඇතුළත වාසය කළහ. දිනක් ඔවුන්ට මධ්‍යම රාත්‍රියෙහි පමණ කෙළෙස් සිතුවිලි උපන්නේය. ඔවුහු කලකිරී තමන් විසින් අත්හළ කෙළෙස් නැවත දෙසීමට සිතූහ. බුදුහු ද එම වේලාවෙහි සර්වඥ ඥාන නමැති පහන් ටැඹ ඔසවා දෙව්රම් වෙහෙර තුළ භික්‍ෂූහු කවරකු ඇලී සිටිත්ද යි ඔවුන්ගේ අදහස් බලන්නාහු, එම භික්‍ෂුන් අතර කාමරාග සහගත සිතිවිලි උපන් බව දැන ගත්හ. බුදු රජහු වනාහි එක පුත්‍රයකු ඇති ස්ත්‍රිය ඒ පුත්‍රයා රකින්නාක් මෙන් ද එක් ඇසත් ඇති පුරුෂයකු ඇස රකින්නාක් මෙන් ද තම සව්වන් රකිත්. පෙරයම් ආදී යම් යම් වේලාවක ඔවුන්ට කෙළෙස් උපදී ද එම කෙළෙස් වැඩීමට ඉඩ නො දී ඒ ඒ වේලාවෙහි ම සංසිඳුවයි. බුදු රජුන්ට මෙබඳු සිතක් උපන. සක්විති රජුගේ නගරය ඇතුළත ම සොරුන් පැමිණි කැලක් විය. දැන් මම ඔවුන්ට දම් දෙසා කෙළෙස් නැති කොට රහත් බව දෙමි යි බුදුහු ගඳකිළියෙන් නික්ම මිහිරි ස්වරය විහිදුවා ධම්ම භාණ්ඩාගාරික අනඳ තෙරුන් ඇමතූහ. තෙරණුවෝ ද, කිම? ස්වාමීනි යි වහා අවුත් වැඳ සිටියහ. ආනන්ද, යම් පමණ භික්‍ෂූහු දෙව්රම් වෙහෙර භූමිය තුළ වෙසෙත් ද ඒ සියල්ලෝම ගඳකිළි හාත්පස රැස්කරවනු. අනඳ තෙරණුවන්ට මෙබඳු සිතක් පහළ විය. ඉදින්, මම ඒ භික්‍ෂූන් පන්සිය පමණක් රැස් කරන්නේ නම්, බුදු රජුන් විසින් අප සිත් කෙළෙස් වසඟ වූ බව දන්නා ලදැ යි සිත් තැවුලක් ඇතිවූයේ නම් ධර්මාවබෝධයට බාධාවක් වන්නේය. එම නිසා සියලු භික්‍ෂූන් රැස් කැරවන ලෙස වදාළිය යුතු යි, තෙරණුවෝ බුදු රජුන්ගේ වචනය පිළිගෙන කෙස්ස හෙවත් යතුර ගෙන කුටියෙන් කුටියට ගොස් සියලු භික්‍ෂූන් ගඳකිළි අංගනයට රැස්කැරවා බුද්ධාසනය පැනවූහ.