6. කාක ජාතකය (146)
“අපි නු හනුකා සන්තා” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, මහළු තෙරුන් සමූහයක් අරබයා දෙසූහ. ඔවුහු ගිහිකල සැවැත් නුවර මහත් සම්පත් ඇති ඔවුනොවුන් යහළු වූ කෙළඹි පුත්‍රයෝය. ඔවුහු එකතුව පින් කරන්නාහු, බුදු රජුගෙන් දහම් අසා මහළු වූ අපට ගිහි ගෙයින් කවර වැඩක්දැ යි පරම සත්‍යය වූ සසුනෙහි පැවිදි වී දුක් කෙළවර කරමු යි සිතා සියලු ධනය දූ පුතුන්ට දී හඬා වැටෙන ඤාතීන් අත්හැර පැවිදි වූහ. පැවිදි වුව ද පැවිද්දට අනුරූපව මහණ දම් නො පිරූහ. මහළු වී පැවිදි වූ හෙයින් ධර්මය ද නො හැදෑරූහ. ගිහි කල මෙන් පැවිදි කල ද විහාරය කෙළවර සෙනසුනක් කැරවා එක තැන ම විසූහ. පිඬු පිණිස හැසිරෙන්නාහු, වෙනත් තැනකට නො ගොස් බෙහෙවින් තමාගේ අඹු දරුවන්ගේ ගෙට ගොස් වැළඳූහ. එයින් එක් මහළු භික්‍ෂුවකගේ ගිහි කල භාර්යාවක් සියලු මහළු තෙරුන්ට ම උපකාර වූවාය. එම නිසා සෙස්සෝ ද තමා ලද අහර ඇගේ ගෙදර ම හිඳ වැළඳූහ. ඇය ද ඔවුන්ට ඇය විසින් පිළියෙල කරන ලද සූපව්‍යඤ්ජන දෙන්නීය. ඇය හටගත් රෝගයකින් කළුරිය කළාය. ඉක්බිති, ඒ මහළු තෙරවරු ඔවුනොවුන්ගේ ගෙළ බදාගෙන මිහිරි රස ඇති උපාසිකාව මළා යි විහාරය කෙළවර හඬමින් හැසිරුණාය. හඬන ශබ්දය අසා භික්‍ෂූන් එහෙන් මෙහෙන් රැස්ව ඇවැත්නි, කුමක් නිසා හඬන්නාහුදැ යි විමසූහ. අප යහළු භික්‍ෂුවකගේ මිහිරි අතිරස ඇති ගිහි කල භාර්යාව කළුරිය කළාය. අපට මහත් සේ උපකාර කළාය. දැන් එවැනි අයෙක් කෙසේ ලබන්නේදැ යි, මේ කරුණ නිසා හඬන්නෙමු යි කීහ.
මොවුන්ගේ මේ නුසුදුසු ක්‍රියාව දැක භික්‍ෂූහු දම් සභාවේ දී මෙ පුවත මතු කළහ. ඇවැත්නි, ඒ මහළු තෙරවරු මෙසේ හැසිරෙති යි කථා ඉපදුවෝය. බුදුහු දම් සභාවට වැඩම කොට මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙවන් කථාවකින් හුන්නෙමු යි කී කල්හි, මහණෙනි, ඒ භික්‍ෂූහු ඇගේ මරණය නිසා හැඬුවෝ, දැන් පමණක් නො වේ. මහණෙනි, පෙර ද මොවුහු කාක යෝනියෙහි ඉපිද මුහුදේ දී මළ මැය නිසා මුහුදෙහි ජලය හිස්කොට මැය ගොඩගනිමු යි උත්සාහ කළාහු, පණ්ඩිතයන් අසා ජීවිතය ලැබුවාහු යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු මුහුදු දෙවියෙක් වී උපන්හ. එකල කවුඩෙක් තම බිරිය වූ කැවිඩිය රැගෙන ගොදුරු සොයමින් මුහුද තෙරට ගියේය. එදවස මිනිස්සු මුහුදු තෙර කිරිබත්, මස් මාංශ, සුරා ආදියෙන් නාගයන් සඳහා බිලි පූජාකොට ගියාහුය. කවුඩා බිලිපූජා ස්ථානයට ගොස් කිරිබත්, මස් මාංශාදිය අනුභව කොට සුරා ද බීවේය. ඒ දෙදෙනාම සුරාවෙන් මත්ව මුහුදු කෙළි කෙළනා පිණිස මුහුදු වෙරළ කෙළවර සිට නහන්ට පටන් ගත්හ. ඒ සමග ම මහත් මුහුදු රැළක් අවුත් කවුඩු දෙන රැගෙන මුහුදට ගියේය. එවිට ම එක මසෙක් කවුඩු දෙන ගිල දැම්මේය. කවුඩා තම බිරිය මළා යි හැඬුවේය. කවුඩාගේ හැඬීම් අසා බොහෝ කවුඩෝ එතැනට රැස්වූහ. හැඬීමට කරුණු විමසූහ. ඔබගේ යෙහෙළිය නාමින් සිටිය දී රැළට අසුවී මුහුදට ගියා යි කීය. එවිට ඒ හැමදෙන ම මහහඬින් කෑගසන්ට වූහ. පසු ව ඔහු සැම එකතුව මේ මුහුද අපට එතරම් දෙයක් නො වේ. මුහුද ඉස හිස් කොට යෙහෙළිය ලබාගනිමු. එක එකා මුහුදු වතුරින් මුව පුරවා ගොඩ හෙලූහ. ලුණු දියෙන් ගෙළ තෙමෙත්ම උගුර වියලෙන කල්හි ගොඩට අවුත් ගිමන් හරිත්.
මෙසේ හකු සහ මුව වියලෙන කල්හි, ඇස් රතු වූ කල්හි, ගිලන් බවට පත්ව ඔවුනොවුන් අමතා පින්වත්නි, අපි මුහුදෙන් දිය ගෙන ගොඩ හෙළමු. ගත් ගත් තැන් ජලයෙන් පිරෙයි. මුහුද හිස් කරන්ට බැරිය කියා මේ ගාථාව කීහ.
“අපිනූ හනුකා සන්තා මුඛඤ්ච පරිසුස්සති,
ඔරමාම න පාරෙම පූරතේව මහොදධීති”