5. රාධ ජාතකය (145)
“න ත්‍වං රාධ, විජානාසිති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන කල්හි, ගිහිකල භාර්යාවගේ පෙළඹවීමක් අරබයා දෙසූහ. මෙහි වත්මන් කථාව ඉන්‍ද්‍රිය ජාතකයෙහි එන්නේය. බුදු රජහු එම භික්‍ෂුව අමතා මහණ, මාගමුන් නො රැකිය හැකිය. ඔබ පෙර මාගමක ආරක්‍ෂකයන් තබා රැක්මට තැත් කළ ද නො හැකි විය. දැන් කෙසේ නම් රකින්නෙහි ද? වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු ගිරා යෝනියෙහි පිළිසිඳ ගත්හ. එක්තරා බමුණෙක් බෝසතුන් ද කනිටු සොහොයුරා ද පුත්‍ර ස්ථානයෙහි තබා ඇතිදැඩි කළේය. බෝසතුන්ගේ නම පොට්ඨපාද නම් විය. කනිටු සොහොයුරු රාධ නම් විය. බමුණුගේ බිරිය ආචාරශීලී නො වූවාය. බමුණා වෙළෙඳාම පිණිස යන්නේ, දෙසොහොයුරන් අමතා දරුවනි, තොපගේ මව් බැමිණිය අනාචාරයෙහි හැසිරෙන්නී නම් ඇය එයින් වළක්වනු. එවිට බෝසත්හු පියාණෙනි, මැනවි. ඉදින්, හැකිනම් වළක්වමි. නො හැකි නම් නිශ්ශබ්ද වෙමි. මෙසේ බමුණා බැමිණිය ගිරවුන්ට පවරා දී වෙළඳාම පිණිස ගියේය.
ඔහු ගිය තැන් පටන් බැමිණිය පිළිසාචාරයෙහි හැසිරීමට පටන් ගත්තීය. ගෙට ඇතුළුවන්නන්ගේත් පිටවන්නන්ගේත් කෙළවරක් නො වීය. ඇගේ ක්‍රියා පිළිවෙල දුටු රාධ බෝසතුන්ට සොහොයුර, අප පියා, ඉදින් තොප මව අශීලාචාර වන්නී නම් වළක්වන ලෙස කියා ගියේ නො වේ ද? දැන් ඇය නො සිරිතෙහි යෙදෙයි. ඇය ඉන්වළක්වමු. එවිට බෝසත්, සොහොයුර, ඔබ අවියත් බව නිසාත් මුහුකුරා නො ගිය නිසාත් මෙසේ කියන්නෙහිය. මාගමුන් වනාහි කරතබා හැසුරුණා ද රැකියා නො හැක්කේ මය. මේ ක්‍රියාවක් නො කළ හැකි නම් එය කරන්ට නො වටනේයැ යි කියා මේ ගාථාව කීහ.
“න ත්‍වං රාධ, විජානාසි අඩ්ඪරත්තෙ අනාගතෙ,
අව්‍යායනං විලපසි විරත්තා කොසියායනෙති”
“රාධය, මධ්‍යම රාත්‍රිය එන්ට පෙර ම කොතෙක් පුරුෂයෝ පැමිණියාහුදැ යි නො දන්නෙහිය. ඔබ අරුත් නැති වචන කියන්නෙහිය. බැමිණිය බමුණා කෙරෙහි නො අමණාය.”
එහි, “විරත්තා කොසියායනෙති”, අපගේ මව වූ කොසියායනී බැමිණිය අප පියට නො ඇළුණීය. ආදරයක් නැත. ඉදින්, ඇයට පියා කෙරෙහි ආදරයක් - ආලයක් ඇත්තී නම් මෙසේ අනාචාරයෙහි නො හැසිරෙන්නීය. මේ වචනවලින් මේ අදහස ප්‍රකාශ කළේය.
මෙසේ ප්‍රකාශකොට රාධට බැමිණිය සමග කීමට අවකාශ නුදුන්නේය. ඒ බැමිණිය ද බමුණා නො එන තුරු සිත් පරිදි හැසිරුණීය. බමුණා අවුත් දරුව, මවගේ හැසිරීම කෙසේ වීදැ යි පොට්ඨපාදගෙන් විමසීය. බෝසත්හු සියලු පුවත් කියා පියාණෙනි, මෙබඳු දුසිල් ස්ත්‍රියක් කුමටදැ යි කියා පියාණනි, අප මවගේ දොස් කී තැන් පටන් මෙහි විසීමට නො හැකිය. බමුණාගේ පා වැඳ රාධ සමග ඉගිලී වනයට ම ගියේය.
බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් වදාළහ. කලකිරුණු භික්‍ෂුව සෝවාන් විය. එදා බමුණා හා බැමිණිය මේ දෙදෙනා ම වූහ. රාධ ආනන්ද තෙරණුවෝ වූහ. පොට්ඨපාද මම ම වීමි.
6. කාක ජාතකය (146)
“අපි නු හනුකා සන්තා” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, මහළු තෙරුන් සමූහයක් අරබයා දෙසූහ. ඔවුහු ගිහිකල සැවැත් නුවර මහත් සම්පත් ඇති ඔවුනොවුන් යහළු වූ කෙළඹි පුත්‍රයෝය. ඔවුහු එකතුව පින් කරන්නාහු, බුදු රජුගෙන් දහම් අසා මහළු වූ අපට ගිහි ගෙයින් කවර වැඩක්දැ යි පරම සත්‍යය වූ සසුනෙහි පැවිදි වී දුක් කෙළවර කරමු යි සිතා සියලු ධනය දූ පුතුන්ට දී හඬා වැටෙන ඤාතීන් අත්හැර පැවිදි වූහ. පැවිදි වුව ද පැවිද්දට අනුරූපව මහණ දම් නො පිරූහ. මහළු වී පැවිදි වූ හෙයින් ධර්මය ද නො හැදෑරූහ. ගිහි කල මෙන් පැවිදි කල ද විහාරය කෙළවර සෙනසුනක් කැරවා එක තැන ම විසූහ. පිඬු පිණිස හැසිරෙන්නාහු, වෙනත් තැනකට නො ගොස් බෙහෙවින් තමාගේ අඹු දරුවන්ගේ ගෙට ගොස් වැළඳූහ. එයින් එක් මහළු භික්‍ෂුවකගේ ගිහි කල භාර්යාවක් සියලු මහළු තෙරුන්ට ම උපකාර වූවාය. එම නිසා සෙස්සෝ ද තමා ලද අහර ඇගේ ගෙදර ම හිඳ වැළඳූහ. ඇය ද ඔවුන්ට ඇය විසින් පිළියෙල කරන ලද සූපව්‍යඤ්ජන දෙන්නීය. ඇය හටගත් රෝගයකින් කළුරිය කළාය. ඉක්බිති, ඒ මහළු තෙරවරු ඔවුනොවුන්ගේ ගෙළ බදාගෙන මිහිරි රස ඇති උපාසිකාව මළා යි විහාරය කෙළවර හඬමින් හැසිරුණාය. හඬන ශබ්දය අසා භික්‍ෂූන් එහෙන් මෙහෙන් රැස්ව ඇවැත්නි, කුමක් නිසා හඬන්නාහුදැ යි විමසූහ. අප යහළු භික්‍ෂුවකගේ මිහිරි අතිරස ඇති ගිහි කල භාර්යාව කළුරිය කළාය. අපට මහත් සේ උපකාර කළාය. දැන් එවැනි අයෙක් කෙසේ ලබන්නේදැ යි, මේ කරුණ නිසා හඬන්නෙමු යි කීහ.