4. නඞ්ගුට්ඨ ජාතකය (144)
“බහුම්පෙතං අසබ්භිජාතවෙදාති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, මිසදිටු තපස් ක්‍රම අරබයා දෙසූහ. එකල ආජීවකයෝ දෙව්රම පිටුපස විවිධාකාර මිසදිටු තපස්හි හැසිරෙත්. භික්ෂූහු ඔවුන්ගේ උක්කුටිකයෙන් සිටීම නැමැති තපස, වවුල් ව්‍රතය, කටු යහනෙහි හෙවීම, ගිනි පසකින් සිරුර තැවීම ආදී නානාප්‍රකාර මිසදිටු තපස් ක්‍රම දැක බුදු රජුන්ගෙන් විමසූහ. ස්වාමීනි, මේ තපස් ක්‍රම නිසා මොවුන්ට වැඩීමක් ඇත්තේ ද? මහණෙනි, මිථ්‍යා තපස් නිසා කුසලයක් හෝ වැඩීමක් නො වන්නේය. පෙර නුවණැත්තෝ මේ තපස් නිසා කුසල් වැඩීමක් ඇතැ යි සිතා උපන් දින ගිනි රැගෙන වනයට ගොස් ගිනි පිදීම් ආදියෙන් කිසි ම වැඩීමක් නො දැක ගින්න ජලයෙන් නිවා කිසුණු පිරියම් කොට අභිඤ්ඤා හා අට සමවත් උපදවා බඹලොව ගියාහුයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු උසස් බමුණු කුලයෙහි උපන්හ. ඔහුගේ මව්පියෝ ඔහු උපන් දිනයෙහි ගිනි දල්වා තැබූහ. ඔහු සොළොස් වස් කල මෙසේ කීහ. පුත, මේ ඔබ උපන් දිනයෙහි ගින්නයි. ඉදින්, ඔබ ගිහි ගෙයි වසනු කැමැත්තේ නම් ත්රිවේදය උගෙන ගනුව. බඹ ලොව යනු කැමැති නම් මේ ගින්න රැගෙන වනයට ගොස් ගින්න පුදමින් මහබඹුන් සිත් ගෙන බඹ ලොවට සුදුස්සෙක් වෙව යි කීහ. කුමරා, මට ගිහි ගෙයින් කම් නැතැ යි උපන් දින ගින්න ගෙන මහා වනයට පිවිස අසපුවක් තනා ගෙන ගිනි පුදමින් වනයෙහි විසී. ඔහු දිනක් පසල් ගමකින් දාන වශයෙන් ගවයකු ලැබ අසපුවට ගෙන ගොස් මෙසේ සිතී. ගිනි දෙවියන්ට ගව මස් කවමි යි සිතත් ම මෙහි ලුණු නැත. ලුණු නැති මස් ගිනි දෙවියාට නම් බුදිනු නො හැක්කේය. එම නිසා ගම් පියසට ගොස් ලුණු ගෙනවුත් ලුණු සහිත මස් ගිනි දෙවියන්ට පුදමි යි ගවයා එතැන ම බැඳ තබා ලුණු පිණිස ගමට ගියේය. ඒ අතර වැදි රංචුවක් එතැනට පැමිණ ගවයා දැක ඌ මරා මස් පිස අනුභව කොට නගුට, කෙන්ඩා, හම පමණක් ඉතිරි කොට ඉතිරි සියලු මස් රැගෙන ගියහ.
බමුණා අවුත් නගුට ආදිය පමණක් ඉතිරි ව තිබෙනු දැක මෙසේ සිතී. මේ ගිනි දෙවියා තමාට අයිති දේ පවා රැකීමට අසමත්ය. ඒ දෙවියා කෙසේ නම් මා රකී ද? මේ ගිනි පිදුම නිශ්ඵලය. මෙයින් කුසලයක් හෝ වැඩීමක් නො වන්නේය. ඔහු ගිනි දෙවි පිදීමේ අදහස අතහැර එම්බා දෙවියනි, ඔබ තමා සතු දෙය පවා රැකීමට අසමත්ය. කෙසේ නම් මා රකින්නේ ද? මාංශ නැත. මෙපමණකින් සතුටු වව යි නගුට ආදිය ගින්නෙහි දමමින් මේ ගාථාව කීහ.
“බහුම්පෙතං අසබ්භි, ජාතවෙද, යං තං වාලධිනාභිපූජයාමි,
මංසාරහස්ස නත්ථජ්ජ මාසං නඞ්ගුට්ඨම්පි භවං පටිග්ගහාතුති”
මංසාරහස්ස නත්ථජ්ජ මාසං නඞ්ගුට්ඨම්පි භවං පටිග්ගහාතුති”
“අසත් පුරුෂ වූ ගිනි දෙවියනි, තමා සතු දේ රැකීමට නො හැකි ඔබට නගුට ද වැඩිය. නගුටෙන් ගිනි දෙවි පුදමු. මාංශානුභවයට සුදුසු තට අද මස් නැත. නගුට පමණක් පිළිගනු.”
එහි, “බහුම්පෙතං”, මෙපමණක් ද වැඩිය. “අසබ්හි”, අසත් පුරුෂය, යහපත් නැත්ත, “ජාතවෙද”, මෙයින් ගින්නට අමතයි. ගින්න උපන් කෙණෙහි ම පෙනේනු යි, ප්‍රකට වේනු යි “ජාතවෙද”, යි කියයි. “යං තං වාලධිනාභිපූජයාමි”, අපි අද, තමා සතු දෙය පවා රැකීමට අසමත් දෙවියන් වලිගයෙන් පුදමු. එයත් ඔබට වැඩි දෙයකි. “මංසාරහස්ස”, මස් අනුභවයට සුදුසු ඔබට අද මස් නැත. “නඞ්ගුට්ඨම්පි භවං පටිග්ගහාතුති”, තමා සතු දේ රැකීමට අසමත් පින්වත් දෙවියා කුර සහිත කෙණ්ඩා, සම හා වලිගය පිළිගනිත්වා.
මෙසේ බෝසත්හු ගින්න ජලයෙන් නිවා සෘෂි පැවිද්දෙහි පැවිදි ව අභිඤ්ඤා සමාපත්ති උපදවා බඹ ලොව උපන්නේය.
බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. ගිනි නිවි තවුසාණෝ මම ම වීමි.
5. රාධ ජාතකය (145)
“න ත්වං රාධ, විජානාසිති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන කල්හි, ගිහිකල භාර්යාවගේ පෙළඹවීමක් අරබයා දෙසූහ. මෙහි වත්මන් කථාව ඉන්ද්රිය ජාතකයෙහි එන්නේය. බුදු රජහු එම භික්ෂුව අමතා මහණ, මාගමුන් නො රැකිය හැකිය. ඔබ පෙර මාගමක ආරක්ෂකයන් තබා රැක්මට තැත් කළ ද නො හැකි විය. දැන් කෙසේ නම් රකින්නෙහි ද? වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු ගිරා යෝනියෙහි පිළිසිඳ ගත්හ. එක්තරා බමුණෙක් බෝසතුන් ද කනිටු සොහොයුරා ද පුත්‍ර ස්ථානයෙහි තබා ඇතිදැඩි කළේය. බෝසතුන්ගේ නම පොට්ඨපාද නම් විය. කනිටු සොහොයුරු රාධ නම් විය. බමුණුගේ බිරිය ආචාරශීලී නො වූවාය. බමුණා වෙළෙඳාම පිණිස යන්නේ, දෙසොහොයුරන් අමතා දරුවනි, තොපගේ මව් බැමිණිය අනාචාරයෙහි හැසිරෙන්නී නම් ඇය එයින් වළක්වනු. එවිට බෝසත්හු පියාණෙනි, මැනවි. ඉදින්, හැකිනම් වළක්වමි. නො හැකි නම් නිශ්ශබ්ද වෙමි. මෙසේ බමුණා බැමිණිය ගිරවුන්ට පවරා දී වෙළඳාම පිණිස ගියේය.