3. විරෝචන ජාතකය (143)
“ලසී ද තෙ නිප්ඵලිතාති” යන මේ ජාතක දේශනාව බුදුහු වේළුවනයෙහි වැඩ වසන සේක්, ගයා ශීසයෙ දී දෙව්දත්ගේ බුද්ධ ආකල්පය දැක්වීම අරබයා දෙසූහ. දෙව්දත් වනාහි ධ්‍යානයෙන් හා ලාභයෙන් හා ගරු බුහුමනින් පිරිහී ගියේ, තවත් උපායක් ඇතැ යි සිතා වරපස ඉල්ලා නො ලැබ දෙඅගසව් තෙරණුවන්ගේ අතවැසි නවක පැවිදි වූ ධර්ම විනය නො හසළ පන්සියක් භික්ෂූන් ගෙන ගයා සීසයට ගොස් බික්සඟන බිඳ එක සීමාවක් තුළ වෙන වෙන ම සංඝ කර්ම කළේය. බුදු රජහු, ඒ භික්ෂූන්ගේ නැණ නුවණ මුහුකුරා යන කාලය දැන දෙඅගසව් තෙරණුවන් එහි යැවූහ. දෙව්දත් ඔවුන් දැක සතුටු සිතින් රාත්‍රියෙහි දම් දෙසමින්, බුදු රජුන් අනුකරණය කැරෙමි යි බුද්ධාකල්පය පෙන්වමින් සැරියුත් තෙරණුවන් අමතා ඇවැත්නි, සාරිපුත්‍රය, මෙහි සිටින සඟ පිරිස සිත, කය අලස බැවින් දුරුය. ඔවුන්ට සුදුසු දැහැමි කථාවක් ඔබට වැටහේවා. මගේ පිට රිදෙයි. මම මදක් විඩා හරිමි යි කියා නින්දට ගියේය. දෙඅගසව්වෝ ඒ භික්ෂූනට දම් දෙසා මඟඵලයෙන් නැණවත් කොට ඒ සියල්ලන්ම රැගෙන වේළුවනයට ම පෙරළා පැමිණියහ.
මේ අතර කෝකාලික භික්ෂුව හිස් වෙහෙර දැක දෙව්දත් ළඟට ගොස් ඇවැත්නි දේවදත්තය, දෙඅගසව්වෝ පිරිස බිඳ විහාරය හිස් කොට පිරිස රැගෙන ගියාහුය. ඔබ තවමත් නිදන්නෙහිදැ යි කියා ඔහු සිවුර ඉවත් කොට බිත්තියට තබා පිටිකටුව ඇණ ගසන්නාක් මෙන් විලුඹින් ළයට පහරක් ගැසුවේය. එකෙණෙහි ම ඔහුගේ මුවින් ලේ වැතිරිණි. එතැන් පටන් ඔහු ගිලන් විය. බුදු රජහු සැරියුත් තෙරුන්ගෙන් ම විචාළහ. සාරිපුත්‍රය, තොප යන කළ දෙව්දත් හැසිරුණේ කෙසේ ද? ස්වාමීනි, දෙව්දත් මා දැක බුදු රජුන්ට අනුව ක්‍රියා කරන බව පෙන්වා මහත් විනාශයකට පැමිණියේය. සාරිපුත්‍රය, දෙව්දත් මා අනුකරණය කොට විනාශයට පැමිණියේ දැන් පමණක් නො වේ. පෙර ද පැමිණියේ යි වදාරා තෙරුන් විසින් අයදනා ලද්දාහු, ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු කෝෂර සිංහ රාජයකු වී හිමවත් පෙදෙසෙහි රන් ගුහාවක වාසය කළහ. එක් දවසක් සිහ රජු ගුහාවෙන් නික්ම ඇඟමැලි හැර සිව් දිශාව බලා සිංහ නාද කොට ගොදුරු පිණිස යන්නහු, මහමීමෙකු මරා රසවත් මස අනුභව කොට එක් විලකට බැස මිණිවන් ජලයෙන් කුස පුරවා ගුහාව දෙස යමින් සිටියහ. එකල සිවලෙක් ගොදුරු පිණිස යන්නේ, හදිසියේ ම සිංහයා දැක පලායන්ට නො හැකි ව සිංහයා ඉදිරියේ පාමුල වැටී වැතිරී සිටියේය. කෙසේ ද සිවල යි සිංහයා කීය. ස්වාමීනි, මා ඔබට උවටැන් කරනු කැමැත්තෙමි. එවු. මැනවි. මට උවටැන් කැරව. තට මස් දෙන්නෙමි යි සිවලා ද ගෙන ගුහාවට ගියහ. එතැන් පටන් සිවලා සිංහයා ඉඳුල් කළ මස් කයි. ටික දිනකින් ම සිවලාගේ සිරුර මහත් විය.
දිනක් ගුහාවේ වැතිරී සිටි සිංහයා මෙසේ කීය. සිවල, යව. මේ කඳු මුදුනෙහි හෝ කඳු පාමුල හැසිරෙන ඇත්, අස්, මී ආදී යමකුගේ මස් කනු කැමැත්තෙහි නම් ඌ බලා අවුත් අසවල් මස කනු කැමැති වෙමි යි කියා මා වැඳ ස්වාමීනි, බබලනු මැනවි යි කියව. මම ඌ මරා මස් අනුභව කොට තට ද දෙමියි. සිවලා කඳු ශිඛර පාදයෙහි හැසිර විවිධ සිවුපාවුන් බලා යමකුගේ මස් කනු කැමැත්තේ වේ ද රන් ගුහාවට ගොස් සිංහයාට ඌ හඳුන්වා පාමුල වැටී බබළනු මැනවැ ය කියති. සිංහයා ද වහා පැන ගොස් මහැතතු වුව ද එතැන දී ම ඔහු මරා ප්‍රණීත මාංශ අනුභව කොට සිවලාට ද දෙයි. හිවලා බඩපුරා මස් කා ගුහාවට පිවිස නිදයි. කල්යත් ම උගේ මානය වැඩිනි. මම ද සිව්පාවෙක් වෙමි. දිනපතා කුමක් නිසා මම අනුන් විසින් පෝෂණය කරනු ලබමින් වෙසෙම් ද? මෙතැන් පටන් මම ද ඇත් ආදීන් මරා මස් කමි යි සිංහයා රාජයා ද ස්වාමීනි, බබළනු මැනවැ යි කී කල්හි ඒ වචන බලයෙන් ඇතුන් මරයි. මම ද සිංහයා ලවා හිවලා, බබළනු මැනවැ යි කියවා ගෙන මතැතතු මරා මස් කමි යි සිතා,
සිංහයා වෙත ගොස් කීය. ස්වාමීනි, මම දිගු කලක් ඔබ විසින්මරන ලද ඇතුන්ගේ මස් කෑවෙමි. මම ඇතකු මරා මස් කනු කැමැත්තේ වෙමි. ගුහාවෙහි ඔබ හොත්නා තැන මම වැතිරී සිටිමි. ඔබ පර්වත පාදයෙහි හැසිරෙන ඇතකු බලා මා වෙත අවුත් සිවලානෙනි, බබළනු මැනවැ යි කියන්න. ඔබතුමා මෙපමණකට මසුරු නොවන්න. ඉක්බිති, සිංහයා සිවලාට, සිවල, ඇතුන් මැරීමට සමතුන් සිවල් කුලයෙහි උපන්නේ නැත. තෝ ද සිවල් කුලයෙහි උපන්නෙකි. ඇතුන් මරා මස් කෑමට සමත් සිවලෙකු ලෝකයේ ම නැත. එම නිසා තගේ අදහස අත් හරිනු. මා මරනා ඇතුන්ගේ මස් කා වසව යි සිංහයා මෙසේ කීව ද හිවලා එයින් මිදෙන්ට කැමැති නො වීය. නැවත නැවත ඉල්ලීය. සිංහයා ඔහු වැළැක්වීමට නො හැකි නිසා පිළිගෙන එසේ නම් යහළුව, මා වැතිර සිටි තැනට ගොස් වැතිරී සිටිනු යි සිවලා රන් ගුහාවෙහි හිඳුවා කඳුපාමුල ඇතකු බලා ගුහා දොරටුවට අවුත් සිවලාණෙනි, බබළනු මැනවැ යි කීය. හිවලා රන් ගුහාවෙන් නික්මී ඇඟමැලි ඇර සිව් දිශාව බලා තුන් වරක් නාද කොට මතැතකුගේ කුඹයට පනිමි යි පාමුල වැටුණේය. ඇතු දකුණු පය ඔසවා හිස තැලීය. හිසෙහි ඇටකටු සුණු විසුණු විය. ඉක්බිති, ඇතා හිවලාගේ ශරීර කොටස් පයින් එකතු කොට ඒ මත්තෙහි ඇත් බෙටි හෙළා කුඤ්ච නාද කැරෙමින් වනයට ගියේය.