2. සිඟාල ජාතකය (142)
“එතං හි තෙ දුරාජානන්ති” යන මේ ජාතකය බුදු රජහු වේළුවන වෙහෙරෙහි වසන සේක්, දෙව්දත් බුදු රජුන් නැසීමට ගත් උත්සාහය අරබයා දේශනා කළහ. දම් සභාවෙහි භික්‍ෂූන්ගේ කථාව අසා මහණෙනි, දෙව්දත් මා නැසීමට තැත් කළේ දැන් පමණක් නො වේ. පෙරත් මා නසනු පිණිස තැත් කළේ මැයි. එහෙත් මා නැසීමට නො හැකි විය. තෙමේ ම පීඩාවට පැමිණියේ යි වදාරා අතීත කථාව වදාළහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු සිවල් යෝනියෙහි ඉපිද සිවල් රජෙක් වී සිවල් සමූහය පිරිවරාගෙන සොහොන් වනයෙහි වාසය කළහ. එකල්හි රජගහ නුවර උත්සවයක් විය. මේ උත්සවයේ දී මිනිස්සු බෙහෙවින් සුරා පානය කරත්. එය සුරා උත්සවය නම් විය. එකල එහි බොහෝ ධූර්ත (සලෙළු) ජනයා බොහෝ සුරා ද මස් ද ගෙන්වා සැදී පැහැදී ගී ගයමින් සුරා පානය කරත්. මස් ද කති. රාත්‍රියෙහි පළමු යම අවසානයෙහි මස් අවසන් විය. සුරා බොහෝ ඉතිරි විය. එහි දී එක් සලෙළුවෙක් මස් දෙව යි කී කල්හි මස් අවසන් බව කීහ. එවිට ධූර්තයා මා සිටින තාක් මස ක්‍ෂය වීමක් නම් නැතැ යි කියා අමු සොහොනට ගොස් මළ මිනී කෑමට පැමිණි සිවළුන් මරා මස් ගෙනෙමි යි මුගුරක් ගෙන දිය බැස යන මඟින් නුවරින් නික්ම සොහොනට ගොස් මළ අයකු මෙන් උඩුකුරු ව හොත්තේය. එකල්හි බෝසත්හු සිවල් රැළ පිරිවරාගෙන එහි ගියාහු. සලෙළුවා දැක මේ මළ මිනියක් නො වන බව දැක වඩාත් විමසමි යි යටි සුළඟින් ගොස් සිරුරෙහි ජීව ගඳ ඉව කොට එපමණකින් ම ඔහු නො මළ බව දැන ලජ්ජා කොට ඔහු පලවා හරිමි යි සිතා ළඟට ගොස් මුගුරු කෙළවර කටින් ඩැහැ ඇද්දාහ. ධූර්තයා මුගුර අත නො හැරියේය. ඔහු වඩ වඩාත් දැඩි කොට අල්ලාගත් බෝසත්හු පැත්තක පැන එම්බා පුරුෂය, ඉදින්, තා මැරුණෙහි නම් මා මුගුර අදිත් ම ඉතා දැඩි කොට අල්ලා නො ගත්තෙහිය. මේ කාරණයෙන් තා මළ නො මළ බව දැන ගැනීම පහසු වී යි කියා මේ ගාථාව කීහ.
“එතං හි තෙ දුරාජානං යං සෙසි මතසායිකං,
යස්ස තෙ කඩ්ඪමානස්ස හත්‍ථා දණ්ඩො න මුච්චතීති”
“යම් හෙයකින් මළ එකක්හු සේ හොත්තෙහි ද, මුගුර අදනා කල්හි අතින් නො මිදේ ද එයින් තා මළ නො මළ බව දැනීම දුෂ්කරය.”
එහි, “එතං හි තෙ දුරාජානං”, තාගේ කාරණය දැනීමට අපහසු නො වේ. “යං සෙසි මතාසායිකං”, යම් කාරණයක් තා මෘතශ්‍යාවෙන් හෝනේ ද, මළ මිනියක සේ නිදන්නෙහි ද, “යස්ස තෙ කඩ්ඪමානස්ස”, තාගේ මුගුරු කෙළවරින් අදින කල්හි අතින් නො මිදේ ද එහෙයින් තා ඇත්ත වශයෙන් මළ මිනියක් නො වේ.
මෙසේ කී කල්හි ඒ ධූර්තයා ඔහු මා නො මළ බව දනිතැ යි නැඟිට මුගුරින් දමා ගැසීය. එහෙත් මුගුර වැරදිණි. යව. පහර වැරදුනා යි කීය. එවිට බෝසත්හු නැවත බලා එම්බල පුරුෂය, මා වැරදුන හට අට මහා නිරය, සොළොස් කුඩා නිරය නම් නො වරදින්නේ යි ගියහ. ධූර්තයා කිසිවක් නො ලැබ සොහොනෙන් නික්ම කාණුවෙන් නහා ආ මඟින් ම නුවරට පිවිසියේය.
බුදු රජහු මේ දම් දෙසුම පවත්වා ජාතකය නිමා කළහ. එදා ධූර්තයා දෙව්දත් විය. සිවල් රජු මම ම වීමි.
3. විරෝචන ජාතකය (143)
“ලසී ද තෙ නිප්ඵලිතාති” යන මේ ජාතක දේශනාව බුදුහු වේළුවනයෙහි වැඩ වසන සේක්, ගයා ශීසයෙ දී දෙව්දත්ගේ බුද්ධ ආකල්පය දැක්වීම අරබයා දෙසූහ. දෙව්දත් වනාහි ධ්‍යානයෙන් හා ලාභයෙන් හා ගරු බුහුමනින් පිරිහී ගියේ, තවත් උපායක් ඇතැ යි සිතා වරපස ඉල්ලා නො ලැබ දෙඅගසව් තෙරණුවන්ගේ අතවැසි නවක පැවිදි වූ ධර්ම විනය නො හසළ පන්සියක් භික්‍ෂූන් ගෙන ගයා සීසයට ගොස් බික්සඟන බිඳ එක සීමාවක් තුළ වෙන වෙන ම සංඝ කර්ම කළේය. බුදු රජහු, ඒ භික්‍ෂූන්ගේ නැණ නුවණ මුහුකුරා යන කාලය දැන දෙඅගසව් තෙරණුවන් එහි යැවූහ. දෙව්දත් ඔවුන් දැක සතුටු සිතින් රාත්‍රියෙහි දම් දෙසමින්, බුදු රජුන් අනුකරණය කැරෙමි යි බුද්ධාකල්පය පෙන්වමින් සැරියුත් තෙරණුවන් අමතා ඇවැත්නි, සාරිපුත්‍රය, මෙහි සිටින සඟ පිරිස සිත, කය අලස බැවින් දුරුය. ඔවුන්ට සුදුසු දැහැමි කථාවක් ඔබට වැටහේවා. මගේ පිට රිදෙයි. මම මදක් විඩා හරිමි යි කියා නින්දට ගියේය. දෙඅගසව්වෝ ඒ භික්‍ෂූනට දම් දෙසා මඟඵලයෙන් නැණවත් කොට ඒ සියල්ලන්ම රැගෙන වේළුවනයට ම පෙරළා පැමිණියහ.
මේ අතර කෝකාලික භික්‍ෂුව හිස් වෙහෙර දැක දෙව්දත් ළඟට ගොස් ඇවැත්නි දේවදත්තය, දෙඅගසව්වෝ පිරිස බිඳ විහාරය හිස් කොට පිරිස රැගෙන ගියාහුය. ඔබ තවමත් නිදන්නෙහිදැ යි කියා ඔහු සිවුර ඉවත් කොට බිත්තියට තබා පිටිකටුව ඇණ ගසන්නාක් මෙන් විලුඹින් ළයට පහරක් ගැසුවේය. එකෙණෙහි ම ඔහුගේ මුවින් ලේ වැතිරිණි. එතැන් පටන් ඔහු ගිලන් විය. බුදු රජහු සැරියුත් තෙරුන්ගෙන් ම විචාළහ. සාරිපුත්‍රය, තොප යන කළ දෙව්දත් හැසිරුණේ කෙසේ ද? ස්වාමීනි, දෙව්දත් මා දැක බුදු රජුන්ට අනුව ක්‍රියා කරන බව පෙන්වා මහත් විනාශයකට පැමිණියේය. සාරිපුත්‍රය, දෙව්දත් මා අනුකරණය කොට විනාශයට පැමිණියේ දැන් පමණක් නො වේ. පෙර ද පැමිණියේ යි වදාරා තෙරුන් විසින් අයදනා ලද්දාහු, ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.