9. උභතෝභට්ඨ ජාතකය (139)
“අක්‍ඛි භින්නා පටො නට්ඨොති” යන මේ ජාතක දේශනාව බුදු රජහු වේළුවනයෙහි වැඩ වසන සේක්, දෙව්දතුන් අරබයා දේශනා කළහ. එදින දම් සභාවෙහි භික්‍ෂූහු ඇවැත්නි, යම් සේ දෙපැත්තෙන් ගිනිගත් මැද අසූචි තැවරුණු ජවාලාභය (සොහොන් පෙනෙල්ලා) වනයෙහි දැව කාර්යය නො කෙරෙයි. ගමෙහි දර කාර්යය ද නො කෙරෙයි. දෙව්දත් මෙවැනි නිවනට පමුණුවන සසුනෙහි පැවිදි ව ගිහි සැපතින් ද ශ්‍රමණ ගුණයෙන් ද යන දෙපසින් ම ගිළිහුණේය. බැහැරවූවෙක් වූයේය. බුදු රජහු වැඩමවා මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නෙමු යි කී කල්හි, මහණෙනි, දෙව්දත් දෙපසින් ම පිරිහුණේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ ම පිරිහිණැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු රුක් දෙවියෙක් වී උපන්හ. එකල එක් ගමක බිලී වැද්දෝ වෙසෙති. එක් බිලී වැද්දෙක් බිලි රැහැන ගෙන තම කුඩා පුතු සමග කවදත් මිනිසුන් බිලී බානා දිය හෙබට ගොස් බිලී රැහැන දැමීය. එය දියෙන් වැසුණු කණුවක රැඳුණි. බිලී වැද්දා තැත් කළ නමුත් බිලී රැහැන ඇදීමට නො හැකිව මෙසේ සිතීය. මේ බිලී රැහැන කිසියම් මහා මත්ස්‍යයකු විසින් ගිල්වන ලද්දේ වන. පුතු යවා අසල් වැසියන් සමග කලහ කැරවමි. එවිට කොටස් බලාපොරොත්තු නො වෙති යි පුතුට, දරුව, අපට මහා මත්ස්‍යයකු ලද බවත් අසල් වැසියන් සමග කළහ කළ යුතු බවත් කියව යි පුතු මව් වෙත යවා බිලි රැහැන ඇදීමට නො හැකි බැවින් රැහැන සිඳේය යන බියෙන් හැඳිවත ගොඩ තබා දියට බැස මත්ස්‍ය ලෝභයෙන් ඒ මේ අත සොයන්නේ, කණුවෙහි වැදී දෙඇසම කණ විණි. ගොඩ තුබූ හැඳිවත ද සොරෙක් ගෙන ගියේය. හෙතෙම මහත් වේදනාවෙන් උමතුව අතින් ඇස් වසාගෙන දියෙන් ගොඩ අවුත් සැලෙමින් ඇඳිවත සොයන්ට විය.
ඔහුගේ බිරිය ද අසල් වැසියන් සමග කලහ කොට බලාපොරොත්තු නො වන්නෙම් නම් කැරෙන්නෙමි සිතා එක් කනක තල්පතක් පැළඳ එක් ඇසක් වළන් දැළියෙහි තබරා බලු පැටියකු අතෙහි තබාගෙන අසල් වැසි ගොයකට ගියාය. ඉක්බිති, එක් යෙහෙළියක් මෙසේ කීවාය. එක් කනෙක තල්පතක් පැළඳ ඇසේ දැළි තවරා පුතකු මෙන් බලු පැටවකු අතින් ගෙන ගෙන්ගෙට යන්නෙහිය. තී උමතු වූවෙහි ද? මම උමතු වූ තැනැත්තියක් නො වෙමි. මට නිකරුණේ පරිභව කරන්නෙහිය. මම දැන් ගම් දෙටුවාට කියා කහවණු අටක් දඩ ගෙවීමට සලස්වමි. මෙසේ දෙදෙනා ම ඔවුනොවුන් කළහ කොට ගම් දෙටු වෙත ගියහ. කලහය පිළිබඳ විනිශ්චය කරන කල්හි ඇය මත ම දඩ වැටිණි. අනතුරු ව ඇය බැඳ දඩ ගෙවන සේ බල කැරෙමින් තලන්ට පටන් ගත්හ.
රුක් දෙවියා ගමෙහි ඇය පිළිබඳ පුවතත් වනයෙහි ඇගේ හිමියාගේ ව්‍යසනයන් දැක කඳතුර සිට එම්බා පුරුෂය, විලයෙහි තගේ ක්‍රියාත් නිශ්ඵල විය. ගොඩ ක්‍රියාත් එසේ මය. දෙපසින් ම පිරිහී ගියේ යි කියා මේ ගාථාව කීහ.
“අක්‍ඛි භින්නා පටෙ නට්ඨො සඛීගෙහෙ ච භණ්ඩනං,
උභතො පදුට්ඨකම්මන්තො උදකම්හි ථලම්හි චාති”