10. කාක ජාතකය (140)
“නිච්චං උබ්බිග්ගහදයාති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, ඤාති සංග්‍රහය අරබයා දෙසූහ. මෙහි වත්මන් කථාව දොළොස් වැනි නිපාතයෙහි භද්දසාල ජාතකයෙහි එන්නේය.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු කවුඩු යෝනියෙහි උපන්හ. දිනක් රජුගේ පුරෝහිත බමුණා නගරයෙන් බැහැර ගඟක නා සුවඳ විලවුන් ඇඟ ගල්වා මල්මාලා පැළඳ මාහැඟි වස්ත්‍ර හැඳ නගරයට පිවිසියේය. නගර දොරටු තොරණෙහි කවුඩෝ දෙදෙනෙක් සිටියාහ. එයින් එකෙක් අනිකාට, යහළුව, මේ බමුණාගේ හිසට සිරුරු මළ හෙළන්නෙමි යි කීවේය. ඔබට එසේ කිරීමට සිත් නො වේවා. මේ බමුණා අධිපතියෙකි. ඔවුන් සමග ගැටී ඉදින්, ඔහු කිපියේ නම් සියලු කවුඩන් විනාශ කළ හැකි වන්නේය යි අනිකා වැළකීය. එහෙත් මට එය නො කැර සිටිය නො හැකිය. එසේ නම් එම කාර්යයෙන් ඔබ ම ප්‍රකට වන්නේය යි කියා අනෙක් කවුඩා පලා ගියේය. ඉක්බිති, පුරෝහිත බමුණා තොරණ යටට පැමිණෙත් ම ලඹය බහන්නකු සෙයින් බමුණුගේ හිස මත වසුරු හෙළීය. බමුණා මෙයින් කිපී කපුටන් කෙරෙහි වෛර බැන්දේය.
මේ කාලයෙහි බැලයට වී කොටන මෙහෙකාරියක් ගෙය ඉදිරියට වී අව්වෙහි අතුරා රකින්නී, හිඳගෙන ම නිදිගත වූවාය. ඇගේ ප්‍රමාදය දැක් දික් ලොම් ඇති එළුවෙක් පැමිණ වී කෑවේය. ඕ නින්දෙන් නැඟිට එළුවා අඬවාපීය. මෙසේ මෙහෙකාරිය තුන්වර දක්වා එළවා මෙසේ සිතුවාය. මෙසේ එළුවා නැවත නැවත එය නිදන කල්හි පැමිණ වී කෑවේය. වී කන්නේ නම් අඩක් ම වැය වන්නේය. එවිට මට බොහෝ දොස් වන්නේය. දැන් මම ඉදිරියට නො එන ආකාරයෙන් කරන්නෙමි යි සිතා ගිනි පෙනෙල්ලක් ගෙන නිදන්නාක් මෙන් හිඳ වී කෑම සඳහා එළුවා පැමිණි කල්හි නැඟිට ගිනි පෙනෙල්ලෙන් එළුවාට ගැහැව්වාය. ලොම්වලට ගිනි ඇවිලිණි. එළුවා ගින්න නිවා ගැනීම සදහා දුවගොස් ඇත්හළ ම අබියෙස තණ කුටියක සිරුර අතුල්ලන්ට වූවාය. එය ද ගිනි ගති. එයින් ඇති වූ ගින්නෙන් ඇත්හළ ම ඇවිලිණි. ඇත්හල් ගිනි ගනිත් ම ඇතුන්ගේ පිට දැවී ගියේය. බොහෝ ඇත්තු තුවාල ඇත්තෝ වූහ. වෙද්දු, ඔවුන් සුව කළ නො හැකි බව රජුට සැලකළහ. රජ පුරෝහිතගෙන් විමසීය. ගුරුතුමනි, ඇතුන් සුව කළ නොහැකි බව වෙද්දු කියති. ඔබ, ඔවුන් සුව කළ හැකි බෙහෙතක් දන්නේ ද? එසේය. මහරජ, දනිමි. එයට අවශ්‍ය කුමක්ද? මහරජතුමනි, කාක තෙල් අවශ්‍ය වේ. එසේ නම් කපුටන් මරා තෙල් ගෙන එවු යි රජ අණ කළේය. එතැන් පටන් මිනිස්සු කපුටන් මරා තෙල් නැති බැවින් ඒ ඒ තැන රැස් කරත්. කවුඩන්ට මහත් බියක් ඇති විය.
එදවස බෝසත්හු අසූ දහසක් කවුඩන් පිරිවරා සොහොන් බිම වනයෙහි වෙසෙත්. එක් කවුඩෙක් ඔවුන්ට ඇති වී තිබෙන මහා විනාශය බෝසතුන්ට සැල කළේය. බෝසත්හු මෙසේ සිතූහ. පැමිණි මේ බය හරින්ට අන් සමතකු නම් නැත. දශ පෙරුම් දම් සිහි කොට මෛත්‍රී පාරමිතාව පෙරටුකොට ඉතා වේගයෙන් පැන හැර තිබුණු වා කවුලුවෙන් රජුගේ අසුන යටට පිවිසියහ. මිනිස්සු ඔහු එළවා දමන්ට තැත් කළෝය. පිහිට පතා මෙහි පැමිණි කපුටා අල්ලා ගැනීම සුදුසු නො වෙතැ යි රජ ඔහු වැළකීය. බෝසත්හු මදක් විඩාහැර මෛත්‍රී භාවනාව සිහි කොට යට අසුනින් නික්ම මහරජ, රජු වනාහි ලෝභාදී වශයෙන් නො මඟ නො ගොස් රාජ්‍යය කැරන්ට වටනේය. යමක් කළයුතු නම් එය ඉතා හොඳින් විමසා බලා කටයුතුය. යමක් කළ කල්හි සඵල වේ ද එය ම කටයුතුයි. ඉදින්, රජවරුන් කරනු ලබන යමක් සඵල නො වේ ද එය ම කරත් ද එවිට මහජනයාට මරණය කෙළවර කොට මහත් බිය උපදී. පුරෝහිත බමුණා වෛරයෙන් මුළාව බොරු කීවේය. කපුටන් හට තෙල් නැතැ යි කීය. ඒ අසා රජ සතුටු ව බෝසතුන්ට රන් පුටුවක් දෙවා එහි හුන් කල්හි පියාපත් අතර සියක්වර දහස්වර සිඳන ලද තෙල් ආලේප කොට රන් තැටියක රජුට සුදුසු මිහිරි ආහාර දෙවා පැන් පොවා සුවපත් බවට පැමිණි බෝසතුන්ගෙන් මෙසේ ඇසීය. පඬිතුමා, කපුටන් ගේ තෙල් නැතැ යි ඔබ කියන්නෙහිය. කවර හේතුවකින් ඔවුන්ට තෙල් නැත්තේ ද? එවිට බෝසත්හු මේ මේ කාරණයෙන්යැ යි රජ මැදුර ඝෝෂා පතුරුවමින් දහම් දෙසමින් මේ ගාථාව කීහ.
“නිච්චං උබ්බිග්ගහදයා සබ්බලොකවිහෙසකා,
තස්මා තෙසං වසා නත්ථි කාකානස්මාකඤාතිනන්ති”
තස්මා තෙසං වසා නත්ථි කාකානස්මාකඤාතිනන්ති”
“හැමවිට ම තැති ගත් සිත් ඇත්තාහ. සියලු ලෝ වැස්සන් වෙහෙසන්නාහ. එහෙයින් අපගේ ඤාතීන් වූ කපුටන් හට වුරුණු තෙල් නැත්තේය.”
මේ ගාථාවේ සංක්ෂේප අදහසයි. මහරජ, කවුඩෝ නම් නිතර ම තැතිගත් සිතින් බියවූවාහු ම වෙත්. සියලු ලෝකයාට ම වෙහෙස ගෙන දෙන්නේය. රජ ආදී මිනිසුන් ද ගැහැනුන් ද පිරිමින් ද කුමර කුමරි ආදීන් ද වෙහෙසමින් පීඩා කැරෙමින් හැසිරෙති. මේ දෙකරුණ නිසා ඒ අපගේ ඤාතීන් වූ කපුටන්ට වුරුණු තෙල් නම් නැත. පෙර ද නො වීය. මතු ද නො වන්නේය.
බෝසත්හු මෙකරුණ මතුකොට පෙන්වා මහරජ, රජු නො විචාරා නො විමසා ක්‍රියා නො කළ යුතුයැ යි රජුට අවබෝධ කළහ. රජ සතුටු ව බෝසතුන් රාජ්‍යයෙන් පිදීය. බෝසත්හු රාජ්‍යය නැවත පවරා පන්සිල්හි පිහිටුවා සියලු සතුන්ට ජීවන දානය ඉල්ලූහ. රජු ද සියලු සතුන්ට අභය දානය දී කපුටන් උදෙසා නිබඳ දන් ඇරඹීය. දිනපතා අමුණක සහල් පිස නොයෙක් රසයෙන් මුසු කොට කපුටු දානය දෙවීය. බෝසතුන්ට රාජ භෝජනය ම දෙනු ලැබීය.