14. අසම්පදාන වර්‍ගය
1. අසම්පදාන ජාතකය (131)
“අසම්පදානෙනිතරීතරස්සාති” යන මේ දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, දෙව්දත් තෙරුන් අරබයා වදාළහ. එකල්හි භික්‍ෂූහු දම් සභාවෙහි කථාවක් ඉපද වූහ. ඇවැත්නි, දෙව්දත් තෙර කළගුණ නො දනී. තථාගතයන් වහන්සේගේ ගුණ නො දනියි. බුදුහු වැඩමවා මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්ත ව දැන් හුන්නාහුදැ යි විචාරා මෙ නම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, දෙව්දත් තෙර කළගුණ නො දත්තේ දැන් පමණක් නොව, පෙරත් කළගුණ නො දත්තේමැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර මගධ රට රජගහ නුවර එක් මගධ රජ කෙනකු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු ඔහුගේ ම සිටුතුමා විය. අසූ කෝටියක් ධනය ඇති සඞ්ඛ යන නමිනි. බරණැස් නුවර ද පිළිය සිටුතුමා නමින් අසූ කෝටියක් ධනය ඇති සිටුවරයකු විය. ඔවුහු ඔවුනොවුන් සහායකයෝ වූහ. ඔවුන් අතුරෙන් බරණැස් නුවර පිළිය සිටුතුමාට කිසියම් කාරණාවක් නිසා මහත් බියක් උපන්නේය. සියලු වස්තුව පිරිහිණ. හෙතෙම දිළිඳු වූයේ, පිළිසරණක් නැතිව බිරිඳ රැගෙන සඞ්ඛ සිටුතුමා බලාපොරොත්තුවෙන් බරණැස් නුවරින් නික්මී පයින් ම රජගහ නුවරට පැමිණ සඞ්ඛ සිටුතුමාගේ නිවසට ගියේය. හෙතෙම ඔහු දැක ම මගේ සහායකයා ආවේයැ යි පිළිගෙන සත්කාර සම්මාන කොට කීප දිනක් ගතකොට එක් දිනක් කිම යහළුව, කුමක් සඳහා ආවේදැ යි විචාළේය. යහළුව, මට බයක් උපන්නේය. සියලු ධනය විනාශ විය. (පිරිහුණේ) මට පිහිට වන්නැ යි කීය. යහපති. යහළුව, බිය නො වන්න. භාණ්ඩාගාරිකයා විචාරවා හතලිස් කෙළක් අමු රන් දෙවා සෙසු උපකරණ හා පිරිවර ද තමා සන්තක පණ ඇති නැති දේ සියල්ල දෙකට බෙදා බාගයක් ම දුන්නේය. ඔහු ඒ ධනය ගෙන නැවත බරණැසට ගොස් වාසය කෙළේය.
අපර භාගයෙහි සඞ්ඛ සිටුතුමාට ද එබඳු ම බයක් උපන්නේය. හෙතෙම තමාට පිළිසරණක් සොයන්නේ, මගේ සහායකයාට ලොකු උපකාරයක් කළෙමි. වස්තුවෙන් බාගයක් දුනිමි. ඔහු මා දැක බැහැර නො කරන්නේය. ඔහු සමීපයට යන්නෙමි යි සිතා භාර්යාව රැගෙන පයින් ම බරණැස් නුවරට ගොස් බිරිඳට කීවේය. සොඳුරිය, නුඹට මා සමග ඇතුල් වීදියෙහි යාම නම් යුතු නැත. මා විසින් එවන ලද යානයට නැඟී මහත් පිරිවරින් පසුව එන්නෙහි, යානාව එවන්නේ යම් විටක ද එතෙක් මෙහි ම හිඳුව යි කියා ඈ ශාලාවෙහි තබා තෙමේ නුවරට පිවිස සිටුතුමාගේ ගෙට ගොස් රජගහ නගරයෙන් නුඹගේ සහායක සඞ්ඛ සිටුතුමා ආවේයැ යි දැනුම් දුන්නේය. හෙතෙම එව යි කැඳවා ඔහු දැක අසුනෙන් නො නැඟිට්ටේය. පිළිසඳර කථා නො කළේය. හුදෙක් ආවේ ඇයිදැ යි විචාළේය. නුඹ බැහැදැකීමට ආවෙමි යි කීවේය. නවාතැන් පොළක් නුඹ කොහෙන් ගත්තෙහි ද? තව ම නවාතැන් පොළක් නැත. සිටු භාර්යාව ද ශාලාවේ නවතා ආවේ වෙමි. තොපට මෙහි නවාතැන් නැත. නවාතැන් පොළක් සොයාගෙන එක් තැනක පිස අනුභව කොට යවු. නැවත අප නො බලවයි කියා මගේ සහායකයාගේ රෙදි පොටෙහි බැඳ එක් බොල් බහුල වී (තිඹක්) ස්වල්පයක් දෙව යි දාසයාට අණ කෙළේය. එදවස වනාහි සිටුතුමා රත් ඇල්වලින් ගැල් දහසක් පමණ පොළවා ගබඩාව පිරවීය. සතලිස් කෝටියක් ධනය ගෙන ආවෙහිය. අකෘතඥ මහා සොරෙකි. යාළුවාට තිඹක් පමණ බොල් සහිත වී දෙවීය. දාසයා පසිම්බුවකට එක් බොල් වී තිඹක් දමා බෝසතාණන් ළඟට ගියේය.
බෝසත්හු මෙසේ සිතූහ. මේ අසත් පුරුෂයා මගේ සමීපයෙන් සතලිස් කෙළක් ධනය ලබා දැන් බොල් තිඹක් දෙවීය. ගනිම් ද? නො ගනිම් ද? ඉක්බිති, මොහුට මෙබඳු අදහසක් විය. යම්තාක් මේ අකෘතඥ මිත්‍රද්‍රෝහියා කළගුණ නො සැලකූ බැවින් මා සමග මිත්‍ර භාවය බින්දේය. ඉදින්, මම මොහු විසින් දෙන ලද බොල් වී තිඹ ලාමක බැවින් නො ගත්තෙමි යි මිත්‍ර භාවය බිඳින්නෙමි. ටිකක් ලද අන්ධ බාලයා එය නො ගන්නේ, මිතුරු බව විනාශ කරයි. මම වනාහි මොහු විසින් දෙන ලද බොල් සහිත වී තිඹ ගෙන මගේ ළඟ මිත්‍ර භාවය පිහිටුවන්නෙමි. හෙතෙම බොල් වී තිඹ රෙදි පොටෙහි බැඳගෙන ප්‍රාසාදයෙන් බැස ශාලාවට ගියේය. ඉක්බිති, ඔහුගෙන් බිරිඳ ආර්යයෙනි, කිම ලැබුණදැ යි විචාළාය. සොඳුරිය, අපගේ සහායක පිළිය සිටුතුමා බොල් වී තිඹක් දී අප අද ම බැහැර කළේය. ආර්යයෙනි, කුමකට ගත්තෙහි ද? කිම, මෙය හතළිස් දහසකට සුදුසුදැ යි අඬන්නට පටන් ගත්තාය. බෝසත්හු සොඳුරිය, නො හඬව. මම ඔහු සමග මිතුරු භාවය බිඳෙන බියෙන් මගේ ළඟ මිත්‍ර භාවය තබා ගන්නට ගත්තෙමි. නුඹ කුමක් නිසා ශෝක කරන්නේදැ යි කියා මේ ගාථාව කීවේය.