8. ගෝධ ජාතකය (138)
“කි තෙ ජටාහි දුම්මෙධාති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, කුහක හෙවත් නැති ගුණ පෙන්වන භික්‍ෂුවක් අරබයා දෙසූහ. මෙහි වත්මන් කථාව යට කියන ලද කථා හා සමාන වේ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු තලගොයි යෝනියෙහි පිළිසිඳ ගත්හ. එකල්හි අභිඤ්ඤාණ පස උපදවා ගත් උසස් සිල් ගුණ ඇති තවුසෙක් පසල් ගමක් ඇසුරු කොට වන පෙදෙසක පන්සලක වෙසෙයි. ගම් වැසියෝ තවුසාට සැලකිළිමත් ව උවටැන් කරති. බෝසත්හු සක්මන් මඟ කෙළවර තුඹසක වෙසෙති. ඒ අතර දිනපතා ද දෙතුන්වරක් තවුසන් වෙත අවුත් අර්ථ ධර්ම යුත් කථා අසා වැඳ තුඹසට ම යයි. පසුකලෙක තවුසා ගම් වැසියන් විචාරා බැහැර ගියේය. ඒ සිල්වතින් පිරිපුන් තවුසා බැහැර වූ කල්හි වෙනත් දුසිල් තවුසෙක් එම අසපුවට අවුත් වාසය කළේය. බෝසත්හු මොහු ද සිල්වත් තවුසෙකැ යි සිතා පෙර මෙන් ම ඔහු වෙතට ද ගියහ.
නියම් කලෙක එක් දවසක් නො කල් වරුෂාවක් වට කල්හි තුඹසෙන් වේයෝ නික්මුණහ. උන් කෑම සඳහා තලගොයි එහි ආහ. ගම් වැසියෝ අවුත් බොහෝ තලගොයින් මරා රසවත් ලෙස ලුණු ඇඹුල් යොදා තලගොයි මස් පිස තවුසාට දුන්හ. තවුසා තලගොයි මස් අනුභව කොට රසයෙන් බැඳී මේ මස් ඉතා රසයි. කවර සතකුගේ මස්දැ යි තවුසා ඇසීය. තලගොයි මස් යි අසා මා ළඟට ද මහත් තලගොයෙක් එයි. ඌ මරා මස් කමි යි සිතා පිසන බඳුනක් ද ගිතෙල් ලුණු ඇඹුල් ආදිය ද ගෙන්වාගෙන පසෙක තබා මුගුරක් කසාවතින් වසා ගෙන පන්සල දොරටුව බෝසතුන්ගේ පැමිණීම බලමින් වෙනදාටත් වඩා ශාන්තව හුන්නේය. බෝසත්හු සවස් කාලයෙහි තවුසා වෙත යමි යි නික්මී යන අතර ඔහුගේ ඉඳුරන්ගේ වෙනස් බවක් දැක මෙසේ සිතූහ. මේ තවුසා හිඳිනා ආකාරය වෙනදා මෙන් නො වේ. අද මා දෙස බලන්නේ ද පවිටු ඇසිනි. ඔහු පරීක්‍ෂා කරමි යි බෝසත්හු තවුසාට යට වාතයෙහි සිට තලගොයි මස් ගඳ ආඝ්‍රාණය කොට අද මොහු තලගොයි මස් කන ලද්දේ විය යුතුය. එම නිසා මොහු රස තෘෂ්ණාවෙන් බැඳී මුගුරෙන් ගසා මා මරා කනු කැමැත්තේ වන්නේය යි ඔහු ළඟට නො ගොස් ආපසු හැරී හැසුරුණහ.
තවුසා බෝසතුන්ගේ නො පැමිණීම දැන මොහු විසින් තමා මැරීමට සූදානම් බව දැන ගත්තා විය යුතුය. එම නිසා ළඟට නො එන්නේය. නො පැමිණිය ද අද මාගෙන් මිදීමක් කොයින්දැ යි මුගුර ගෙන ගැසීය. මුගුර තලගොයාගේ නගුට අග පමණක් රිදවීය. බෝසත්හු ඉතා වේගයෙන් තුඹස තුළට ගොස් වෙනත් සිදුරකින් හිස ඔසවා, එම්බල හොර තවුස, මා තා වෙත පැමිණියේ සිල්වත් තවුසෙකැ යි යන හැඟීමෙනි. දැන් මම තාගේ හොර තවුස් බව දනිමි. තා වැනි මහා හොරකු හට මේ පැවිදි ආකල්පයෙන් ඇති ප්‍රයෝජනය කිමැ යි කියා ඔහුට ගරහමින් මේ ගාථාව කීහ.
“කින්තෙ ජටාහි දුම්මෙධ, කින්තෙ අජිනසාටියා,
අබ්භන්තරන්තෙ ගහණං බාහිරං පරිමජ්ජසීති”
“මෝඩය, තට තවුස් ජටාවෙන් කවර ඵලයක් ද? අඳුන් දිවි සමෙන් කවර වැඩක් ද? තාගේ සිත පවින් පිරී ඇත. බාහිර පෙනුම පමණක් තවුස් පිරිකරින් පිරිමැද තිබේ.”
එහි, “කින්තෙ ජටාහි දුම්මෙධ”, එම්බා මෝඩය, බාලය, මේ පැවිද්දකු විසින් දැරිය යුතු ජටාව තවුස් ගුණයක් නැති තට කවර ඵලයක් ද යන අර්ථයි. “කින්තෙ අජිනසාටියා”, අඳුන් දිවි සමට සුදුසු සංවරයක් නැති බැවින් ඉන් තට කවර වැඩක් ද? “අබ්භන්තරන්තෙ ගහණං”, තාගේ සිත රාග, දෝෂ, මෝහ අකුශලින් වැසී ඇත. “බාහිරං පරිමජ්ජසීති”, ඒ තා සිත අවුල් ව ඇති කල්හි, ස්ථානාදියෙන් ද ශ්‍රමණාකල්පය ගැනීමෙන් ද පිටත පිරිමදින්නෙහිය. පිරිසිදු කරන්නෙහිය. එසේ පිරිමැදීම කැඳ පිරවූ ලබු කබලක් මෙන් ද විෂ පිරවූ සැළියක් මෙන් ද සර්පයන් පිරුණු තුඹසක් මෙන් ද අසූචි පිරවූ විසිතුරු කළයක් මෙන් ද පිටත සිනිඳු ය. තා වැනි සොරකු මෙහි විසීමෙන් කවර වැඩක් ද? වහාම මෙතනින් පලා යව. පලා නො යන්නෙහි නම් තාගේ ස්වරූපය ගම් වැසියන්ට කියා ගර්හා කැරවන්නෙමි.
මෙසේ බෝසත්හු පවිටු තවුසා බිය ගන්වා තුඹසට ම පිවිසියහ. තවුසා ද එතැනින් පලා ගියේය.
බුදුහු මේ කථාව ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා පවිටු තවුසා කුහක භික්‍ෂුව විය. පළමු සිටි සිල්වත් තවුසා සැරියුත් තෙරණුවෝය. ගෝධ පණ්ඩිතයෝ මම ම වීමි.
9. උභතෝභට්ඨ ජාතකය (139)
“අක්‍ඛි භින්නා පටො නට්ඨොති” යන මේ ජාතක දේශනාව බුදු රජහු වේළුවනයෙහි වැඩ වසන සේක්, දෙව්දතුන් අරබයා දේශනා කළහ. එදින දම් සභාවෙහි භික්‍ෂූහු ඇවැත්නි, යම් සේ දෙපැත්තෙන් ගිනිගත් මැද අසූචි තැවරුණු ජවාලාභය (සොහොන් පෙනෙල්ලා) වනයෙහි දැව කාර්යය නො කෙරෙයි. ගමෙහි දර කාර්යය ද නො කෙරෙයි. දෙව්දත් මෙවැනි නිවනට පමුණුවන සසුනෙහි පැවිදි ව ගිහි සැපතින් ද ශ්‍රමණ ගුණයෙන් ද යන දෙපසින් ම ගිළිහුණේය. බැහැරවූවෙක් වූයේය. බුදු රජහු වැඩමවා මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නෙමු යි කී කල්හි, මහණෙනි, දෙව්දත් දෙපසින් ම පිරිහුණේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ ම පිරිහිණැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.