7. බබ්බු ජාතකය (137)
“යත්‍ථෙකො ලභතෙ බබ්බූති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, කාණමාතු සිකපදය අරබයා දෙසූහ. සැවැත් නුවර කාණමාතාගේ දියණිය නමින් ප්‍රකට උවැසියක් වූවාය. සෝවාන් වූ ආර්යය ශ්‍රාවිකාවක් වූවාය. ඕ කාණා නම් දියණිය පසල් ගමක කුලගොත් සම පුරුෂයකුට පාවා දුන්නාය. කාණා දිනක් කිසියම් කාර්යයක් සඳහා මව් ගෙදරට පැමිණියාය. ඉක්බිති, ඇගේ හිමියා දින කීපයකට පසුව කාණාවගේ පැමිණීම රිසියෙමි යි දූතයකු යැවීය. කාණා ව දූත වචනය අසා තම හිමි වෙත යාම සඳහා මවගෙන් විචාළාය. දියණිය මෙතෙක් කල් මෙහි සිට හිස් අතින් යවනු නො කැමැති ව ගමන සඳහා කැවුම් පිසුවාය. එකෙණෙහි පිඬු සිඟා වඩිමින් සිටි භික්‍ෂුවක් නිවසට වැඩියේය. කාණ මාතාව භික්‍ෂුව වඩා හිඳුවා පාත්‍රය පුරා කැවුම් පිළිගැන්වූවාය. භික්‍ෂුව තවත් භික්‍ෂුවකට ද කීවේය. මාතාව ඔහුට පාත්‍රය පුරා කැවුම් පිළිගැන්වූවාය. මෙසේ සිව් නමකට පිළිගැන්වීමෙන් පසු පිළියෙල කළ සියලු කැවුම් අවසන් විය. මේ නිසා කාණාවගේ ගමන නැවතිනි. ඇගේ හිමියා දෙවැනි වරටත් තෙවැනි වරටත් දූතයන් යැවීය. තෙවැනි දූතයා යවන විට ඉදින්, කාණා නො එන්නී නම් වෙනත් බිරියක් ගෙන එන බව කියා යැවීය. එවර ද කාණාවගේ ගමන වැළකිනි. ඇගේ ස්වාමියා වෙනත් බිරියක ගෙන ආවේය. මේ පුවත ඇසූ කාණා හඬමින් සිටියාය.
බුදු රජහු මෙකරුණ දැන පෙරවරු හැඳූ පොරවා පාසිවුරු ගෙන කාණ මාතාවගේ ගෘහයට වැඩමවා පැනවූ අසුනෙහි වැඩහිඳ කාණාව කුමක් නිසා හඬන්නීදැ යි විමසූහ. කාරණය දැනගත් බුදු රජහු දහම් දෙසා ඔවුන් සනසා හුනස්නෙන් නැඟිට විහාරයට වැඩියහ. භික්‍ෂූන් සිව් නමක් කාණාවගේ ගමන සඳහා පිළියෙල කළ කැවුම් තුන්වරක් ම පිළිගෙන ඇගේ ගමන වැළකුණු බව මහසඟන අතර ප්‍රකට විය. දිනක් භික්‍ෂූහු දම් සභාවෙහි මෙකරුණ මතු කළහ. ඇවැත්නි, භික්‍ෂූන් සතර නමක් තුන්වරක් කාණාවගේ ගමන සඳහා පිසූ කැවුම් අනුභව කොට ඇගේ ගමනට බාධා කිරීම නිසා ඇගේ සැමියා අත්හළ දියණිය නිසා කාණ මාතාවට මහත් දොම්නසක් ඉපදවීය. බුදුහු මේ සභාවට වැඩමවා මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නාහු යි කී කල්හි මහණෙනි, ඒ භික්‍ෂූන් සතර නම කාණ මාතාවට අයිති දේ අනුභව කොට ඇය දොම්නස් කළෝ දැන් පමණක් නො වෙයි. පෙර ද එසේ ම වූහැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු ගල් කඩන කුලයක ඉපිද වැඩිවිය පත්ව ශිල්පය ඉගෙන ගත්හ. එකල කාසී රට එක් නියම් ගමක මහත් සම්පත් ඇති සිටු කෙනෙක් වූහ. ඔහුට නිධානගත ධනය රන් සතලිස් කෙළක් විය. ඉක්බිති, ඔහුගේ බිරිය කළුරිය කොට ධනාශාව නිසා ධන නිධාන මතුපිට මී දෙනක් වී උපන්නාය. ක්‍රමයෙන් ඒ සිටු කුලය ද අභාවයට ගියේය. පෙළපත ද සිඳීගියේය. ගම ද අතහැර දමන ලදි. නම පවා මැකී ගියේය. එදවස බෝසත්හු පැරණි ගම පිහිටි තැන ගල මතුකොට කඩත් මීදෙන එතැනින් ගොදුරු පිණිස යන්නී, බෝසතුන් නැවත නැවත දැකීම නිසා හටගත් කුළුපග කම් ඇත්තී මෙසේ සිතුවාය. මගේ විශාල ධනය නිකරුණේ විනාශ වෙයි. මොහු සමග එකතුව මේ ධනය පරිභෝග කරමි. දිනක් එක් කහවණුවක් මුවින් ඩැහැගෙන බෝසතුන් වෙතට ගියේය. බෝසත්හු ඒ දැක මෑණියනි, කහවණුවක් රැගෙන ආවෙහිදැ යි විචාළහ. දරුව, මෙය ගෙන තමා ද පරිභෝග කොට මට මස් ගෙන එව යි කීවාය. බෝසත්හු ද මැනවැ යි පිළිගෙන කහවණුව ගෙන ගෙට ගොස් එක් මස්සකින් මස් මිල දී ගෙන අවුත් මී දෙනට දුන්හ. ඇය ද එය තමා වසන තැනට ගෙන ගොස් කැමැති පරිදි කෑවාය. එතැන් පටන් මේ අයුරින් දිනපතා කහවණුව බැගින් බෝසතුන්ට දෙන්නීය. බෝසත්හු ද ඇයට මස් ගෙන අවුත් දෙයි.