6. ස්වර්‍ණහංස ජාතකය (136)
“යං ලද්ධං තෙන තුට්ඨබ්බන්ති” යන මේ ජාතකය බුදුහු දෙව්රම් වෙහෙර වසන සේක්, ථුල්ලානන්‍දා මෙහෙණ අරබයා දෙසූහ. සැවැත් නුවර එක්තරා උපාසකයෙක් ලුහුණු දෙමි යි පවසා මෙහෙණි සසුන පවරා, එක් මෙහෙණියක් පැමිණියහොත් මෙහෙණකට ලුහුණු බික් දෙක තුනක් දෙන ලෙස කෙත් පල්ලාට අණ කළේය. ඉන්පසු ඔහු මෙහෙණෝ ලුහුණු පිණිස කෙතට ද ගෘහයට ද යති. එක් උත්සව දිනයක ඔහුගේ ගෙදර ලුහුණු අවසන් විය. ථුල්ල නම් භික්‍ෂුණිය පිරිවර සමග ගෙදරට ගොස් පින්වත, ලුහුණු අවශ්‍යයැ යි කියා ආර්යාවන් ගෙනෙන ලද ලුහුණු අවසනය. කෙතට යන්නැ යි කිය. ඇය කෙතට ගොස් පමණ නො දැන ලුහුණු ගෙන්වා ගත්තාය. කෙත් පාලකයා දොස් කීය. මෙහෙණියෝ පමණ නො දැන ලුහුණු ගෙන්වා ගන්නාහුය. ඒ ඇසූ අල්පේච්ඡ භික්‍ෂූණීහු ද මෙපුවත දැනගත් භික්‍ෂූහු ද දොස් කීහ. බුදු රජුන්ට ද මෙකරුණ සැලකළහ. බුදු රජහු ථුල්ලනන්‍ද භික්‍ෂූණියට දොස් පවරා මහණෙනි, අධික ආශා ඇති පුද්ගලයා වැදූ මවට ද ප්‍රිය නො වේ. එසේ ම අප හුදුණවුන් පැහැදීමට හෝ පැහැදුණවුන් වඩවඩාත් පැහැදීමට හෝ නැති ලාභ ලැබීමට හෝ නො ලැබුණු ලාභ ලැබීමට හෝ උපන් ලාභ තහවුරු කිරීමට හෝ සමත් නොවී අල්පේච්ඡ පුද්ගලයා වනාහි නො පහන් අය පැහැදවීමටත් පහන් අය වඩාත් පහන් කිරීම සඳහාත් නො ලැබුණු ලාභ ලැබීමටත් ලැබුණු ලාභ වැඩිවීමටත් උපන් ලාභ තහවුරු වීමටත් සමත් වෙයි. මේ ආදී වශයෙන් භික්‍ෂූන්ට අවස්ථානෝචිත දැහැමි කථා කොට මහණෙනි, ථුල්ලනන්‍දා අතෘපති ආශා ඇත්තී, දැන් පමණක් නො වේ. පෙර ද එසේ වූවාය යි වදාරා ඉකුත් කතාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු එක්තරා බමුණු කුලයක උපන්හ. ඔහු වැඩිවියපත් වූ කල්හි සමජාතික කුලයකින් බිරියක පාවාගත්හ. ඇයට නන්දා, නන්දාවතී, සුන්දරනන්දා යි දියණියෝ තිදෙනෙක් වූහ. ඔවුන් පතිකුලයට යන්නට පෙර ම බෝසත්හු කළුරිය කොට රන් හස් යෝනියෙහි උපන්හ. ඔවුන්ට පෙර කඳපිළිවෙල දන්නා නුවණ ද උපන්නේය. ඔහු වැඩිවිය පත්වෙත් ම රන්වන් පියාපතින් ගැවසුණු ශෝභාමත් මහත් සිරුර දැක මම කොහි සිට මෙහි උපන්නෙමිදැ යි බලන්නහු, මනුෂ්‍ය ලෝකයෙහි සිට බව දැන නැවතත් බලන්නහු, බැමිණිය හා දියණියන් කෙසේ ජීවත් වන්නෝදැ යි විමසන කල්හි අනුන්ට බැලමෙහෙ කොට දුකින් ජීවත් වෙති යි දැන මෙසේ සිතීහ. මගේ සිරුරෙහි රන් පියාපත් කෙටීම් ගැටීම්වලට සුදුසුය. මම එක එක පියාපතක් දෙන්නෙම් නම් එයින් මගේ බිරිඳත් දියණියෝත් සැප සේ ජීවත් වන්නාහ. මෙසේ සිතූ බෝසත්හු ගෙදරට ගොස් ගෙයි පිටිපස කෙළවර සැඟවී සිටියහ. බැමිණිය හා දියණියෝ බෝසතුන් දැක හිමියනි, කොහි සිට ආවෙහිදැ යි විචාළහ. මම ඔබගේ පියා වෙමි. මරණින් පසු රණ හංසයෙක් වී උපන්නෙමි. ඔබ දැකීම සඳහා මෙහි පැමිණියෙමි. මෙතැන් පටන් අනුන්ට බැලමෙහෙ කොට දුක සේ ජීවත් වීම අවශ්‍ය නො වේ. මම ඔබට එක එක පියාපතක් දෙමි. එය විකුණා සුව සේ ජීවත් වනු යි කියා එක් පියාපතක් දී ගියේය. බෝසත්හු මේ ක්‍රමයෙන් අතරතුර අවුත් එක එක පියාපතක් දී යති. බැමිණිය හා දියණියෝ ධනයෙන් සම්පූර්ණ ව සැපවත් වූහ.
ඉක්බිති, එක් දවසක් බැමිණිය සිය දියණියන් අමතා දරුවනි, තිරිසනුන්ගේ හිත් දැනීම අමාරුය. සමහරවිට ඔහු නැවත මෙහි නො එන්ට හැකිය. දැන් ඔහු ආ කල සියලු පියාපත් සිඳ ලබාගනිමු. එවිට දියණියෝ අපගේ පියා පීඩාවට පත් වන්නේ යි නො පිළිගත්හ. බැමිණිය අධික ලෝභකම නිසා නැවත දිනක රන් හසු පැමිණි කල්හි, හිමියනි, මෙහි එන්නැ යි ආදරයෙන් කැඳවා ළඟට පැමිණි රන් හසු දෙඅතින් අල්ලා සියලු පියාපත් සිඳ ගත්තාය. එහෙත් බෝසතුන්ගේ කැමැත්තෙන් තොරව ගත් නිසා ඒ සියලු පියාපත් කොකුන්ගේ පියාපත් සමාන විය. බෝසත්හු පියා විහිදා යන්ට අසමත් වූහ. ඉක්බිති, ඕ රන් හසු මදු සැළියක බහා පෝෂණය කළාය. එහෙත් රන් හසුගේ නැවත වැඩුණු පියාපත් සුදුපාට විය. බෝසත්හු වැඩුණු පියාපත් ඇත්තේ, ඉගිලී තමා වසන ස්ථානයට ගියහ. නැවත එහි නො පැමිණියහ.