5. චන්‍දාභ ජාතකය (135)
“චන්‍දාභන්ති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, සංකස්ස නගර දොරටුවෙහි සැරියුත් තෙරණුවන්ගේ ම පැන විසඳීමක් අරබයා දෙසූහ. පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු අරණ්‍යායතනයක කළුරිය කරන්නාහු, අතවැස්සන් විසින් විචාරණ ලද්දාහු, සඳ එළිය, හිරු එළිය යි කියා ආභස්සර බඹ ලොවෙහි උපන්නේය. තාපසයෝ දෙටු අතවැසියාගේ වචන නො පිළිගත්හ. බෝසත්හු පැමිණ අහසෙහි සිට මේ ගාථාව කීහ.
“චන්‍දාභං සූරියාභඤ්ච යොධ පඤ්ඤාය ගාධති,
අවිතක්කෙන ඣානෙන හොති ආභස්සරූපගොති”
“යමෙක් මෙලොව චන්‍ද්‍ර, සූරිය ආලෝකය යම්තාක් පැතිර සිටී ද ඒ තාක් නුවණින් ධ්‍යාන අරමුණ පතුරුවයි. විතරක් නැති එම දෙවැනි ධ්‍යානයෙන් ආභස්සර බඹ ලොව පැමිණියෙමි.”
එහි, “චන්‍දාභන්ති”, ඔදාත (සුදු පැහැය) කසිනය දක්වයි. “සූරියාභන්ති”, පීත (කහ) කසිනය දක්වයි. “යොධ පඤ්ඤාය ගාධති”, යම් කෙනෙක් මේ සත්ත්ව ලෝකයෙහි මේ කසින භාවනා දෙක නුවණින් වඩත් ද අරමුණු වශයෙන් පිවිසෙත් ද එහි පිහිටත් ද නොහොත් “චන්‍දාහං, සූරියාභඤ්ච යොච පඤ්ඤාය භාවතීති”, යම් තරම් ප්‍රමාණයක් සඳහිරු එළිය පැතිරෙයි ද එපමණ දුර ප්‍රතිභාග කසින අරමුණ වඩා ඒ අරමුණු කොට ධ්‍යාන උපදවන්නේ, මේ දෙඑළිය නුවණින් වැඩීම නම් වේ. එම නිසා මේ මෙහි අර්ථය වේ. “අවිතක්කෙන ඣානෙන හොති ආභස්සරූපගොති”, ආභස්සර බඹලොව උපදින්නෙක් වේ.
මෙසේ බෝසත්හු තාපසයන් දැනුවත් කොට දෙටු අතවැසියාගේ ගුණ කියා බඹ ලොවට ම ගියේය.
බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා දෙටු අතවැසි සැරියුත් තෙරණුවෝය. මහබඹු වනාහි මම ම වීමි.
6. ස්වර්‍ණහංස ජාතකය (136)
“යං ලද්ධං තෙන තුට්ඨබ්බන්ති” යන මේ ජාතකය බුදුහු දෙව්රම් වෙහෙර වසන සේක්, ථුල්ලානන්‍දා මෙහෙණ අරබයා දෙසූහ. සැවැත් නුවර එක්තරා උපාසකයෙක් ලුහුණු දෙමි යි පවසා මෙහෙණි සසුන පවරා, එක් මෙහෙණියක් පැමිණියහොත් මෙහෙණකට ලුහුණු බික් දෙක තුනක් දෙන ලෙස කෙත් පල්ලාට අණ කළේය. ඉන්පසු ඔහු මෙහෙණෝ ලුහුණු පිණිස කෙතට ද ගෘහයට ද යති. එක් උත්සව දිනයක ඔහුගේ ගෙදර ලුහුණු අවසන් විය. ථුල්ල නම් භික්‍ෂුණිය පිරිවර සමග ගෙදරට ගොස් පින්වත, ලුහුණු අවශ්‍යයැ යි කියා ආර්යාවන් ගෙනෙන ලද ලුහුණු අවසනය. කෙතට යන්නැ යි කිය. ඇය කෙතට ගොස් පමණ නො දැන ලුහුණු ගෙන්වා ගත්තාය. කෙත් පාලකයා දොස් කීය. මෙහෙණියෝ පමණ නො දැන ලුහුණු ගෙන්වා ගන්නාහුය. ඒ ඇසූ අල්පේච්ඡ භික්‍ෂූණීහු ද මෙපුවත දැනගත් භික්‍ෂූහු ද දොස් කීහ. බුදු රජුන්ට ද මෙකරුණ සැලකළහ. බුදු රජහු ථුල්ලනන්‍ද භික්‍ෂූණියට දොස් පවරා මහණෙනි, අධික ආශා ඇති පුද්ගලයා වැදූ මවට ද ප්‍රිය නො වේ. එසේ ම අප හුදුණවුන් පැහැදීමට හෝ පැහැදුණවුන් වඩවඩාත් පැහැදීමට හෝ නැති ලාභ ලැබීමට හෝ නො ලැබුණු ලාභ ලැබීමට හෝ උපන් ලාභ තහවුරු කිරීමට හෝ සමත් නොවී අල්පේච්ඡ පුද්ගලයා වනාහි නො පහන් අය පැහැදවීමටත් පහන් අය වඩාත් පහන් කිරීම සඳහාත් නො ලැබුණු ලාභ ලැබීමටත් ලැබුණු ලාභ වැඩිවීමටත් උපන් ලාභ තහවුරු වීමටත් සමත් වෙයි. මේ ආදී වශයෙන් භික්‍ෂූන්ට අවස්ථානෝචිත දැහැමි කථා කොට මහණෙනි, ථුල්ලනන්‍දා අතෘපති ආශා ඇත්තී, දැන් පමණක් නො වේ. පෙර ද එසේ වූවාය යි වදාරා ඉකුත් කතාව ගෙනහැර දැක්වූහ.