4. ඣානසෝධන ජාතකය (134)
“යෙසඤ්ඤිතො” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, සංකස්ස නුවර දොරටුවෙහි දී තමන් වහන්සේ විසින් ලුහුඬින් අසන ලද ප්රශ්නයට දම් සෙනෙවි සැරියුත් තෙරණුවන් විසින් විස්තර වශයෙන් කළ පැන විසඳුම අරබයා වදාළහ. මේ ඒ පිළිබඳ ජාතක කථාවයි. පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කැරවන කල්හි බෝසත්හු අරණ්යායතනයක කළුරිය කරන කල්හි අතවැසියන් විසින් විශේෂාධිගම විචාරණ ලද්දේ, නෙවසඤ්ඤානාසඤ්ඤා විඤ්ඤාණය - ඇත්තෙක් නැත. නැත්තෙක් නැතැ යි කීහ. -පෙ- අතවැසියෝ දෙටු අතවැසි තවුසාගේ වචනය නො පිළිගත්හ. එවිට බෝසත්හු ආභස්සර බඹ ලොවින් අවුත් අහසෙහි සිට මේ ගාථාව කීහ.
“යෙ සඤ්ඤිනො තෙපි දුග්ගතා, යෙපි අසඤ්ඤිනො තෙපි දුග්ගතා,
එතං උභයං විවජ්ජය, තං සමාපත්තිසුඛං අනඞ්ගණන්ති”
එතං උභයං විවජ්ජය, තං සමාපත්තිසුඛං අනඞ්ගණන්ති”
“සිත ඇති යම් සත්ත්ව කෙනෙක් වෙත් ද ඔහු දිළිඳු වෙති. සිත් නැති යම් සත්ත්ව කෙනෙක් වෙත් ද ඔහු ද දිළිඳු වෙති. සිත ඇති සිත නැති භවයන් දුරු කොට ඒ අරූප සමවන් සුවය නිදොස්ය.”
එහි, “යෙ සඤ්ඤිනො”, යන්නෙන් නේවසඤ්ඤානාසඤ්ඤා යන්න අරූප ධ්යානලාභීන් හැර සෙසු සිත සහිත සත්ත්වයන් දක්වයි. “තෙපි දුග්ගතා”, එම සමවන නො ලැබීම නිසා ඔහු දුගී මෙන්, “යෙපි අසඤ්ඤිනො”, අසඤ්ඤ භවයෙහි උපන්නෝ සිත් නැති බැවින් දක්වයි. “තෙපි දුග්ගතා”, ඔහු ද මේ සමාපත්තිය නො ලැබීම නිසා දුගියෝ වෙති. “එතං උභයං විවජ්ජය”, මේ සඤ්ඤාදී අසඤ්ඤාදී බව අත්හරව යි අතවැසියාට අවවාද කළේය. “තං සමාපත්තිසුඛං අනඞ්ගණන්ති”, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවත් ශාන්ත බැවින් සැප ගණයට ගියේය. ධ්යාන සැපය නිදෝසීය. බලවත් සිතෙහි එකඟ භාවය නිසා ද එය “අනඞ්ගණ” නම් විය.
මෙසේ බෝසත්හු ධර්ම දේශනා කොට දෙටු අතවැසිගේ ගුණ කියා බඹ ලොවට ම ගියේය. එකල්හි සෙසු තාපසයෝ දෙටු අතවැසි පිළිගත්හ.
බුදු රජහු මේ කථාව ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා දෙටු අතවැසියා සැරියුත් තෙරණුවෝ වූහ. මහා බ්රහ්මයෝ මම ම වීමි.
5. චන්දාභ ජාතකය (135)
“චන්දාභන්ති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, සංකස්ස නගර දොරටුවෙහි සැරියුත් තෙරණුවන්ගේ ම පැන විසඳීමක් අරබයා දෙසූහ. පෙර බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කැරවන කල්හි බෝසත්හු අරණ්යායතනයක කළුරිය කරන්නාහු, අතවැස්සන් විසින් විචාරණ ලද්දාහු, සඳ එළිය, හිරු එළිය යි කියා ආභස්සර බඹ ලොවෙහි උපන්නේය. තාපසයෝ දෙටු අතවැසියාගේ වචන නො පිළිගත්හ. බෝසත්හු පැමිණ අහසෙහි සිට මේ ගාථාව කීහ.
“චන්දාභං සූරියාභඤ්ච යොධ පඤ්ඤාය ගාධති,
අවිතක්කෙන ඣානෙන හොති ආභස්සරූපගොති”
අවිතක්කෙන ඣානෙන හොති ආභස්සරූපගොති”
“යමෙක් මෙලොව චන්ද්ර, සූරිය ආලෝකය යම්තාක් පැතිර සිටී ද ඒ තාක් නුවණින් ධ්යාන අරමුණ පතුරුවයි. විතරක් නැති එම දෙවැනි ධ්යානයෙන් ආභස්සර බඹ ලොව පැමිණියෙමි.”
එහි, “චන්දාභන්ති”, ඔදාත (සුදු පැහැය) කසිනය දක්වයි. “සූරියාභන්ති”, පීත (කහ) කසිනය දක්වයි. “යොධ පඤ්ඤාය ගාධති”, යම් කෙනෙක් මේ සත්ත්ව ලෝකයෙහි මේ කසින භාවනා දෙක නුවණින් වඩත් ද අරමුණු වශයෙන් පිවිසෙත් ද එහි පිහිටත් ද නොහොත් “චන්දාහං, සූරියාභඤ්ච යොච පඤ්ඤාය භාවතීති”, යම් තරම් ප්රමාණයක් සඳහිරු එළිය පැතිරෙයි ද එපමණ දුර ප්රතිභාග කසින අරමුණ වඩා ඒ අරමුණු කොට ධ්යාන උපදවන්නේ, මේ දෙඑළිය නුවණින් වැඩීම නම් වේ. එම නිසා මේ මෙහි අර්ථය වේ. “අවිතක්කෙන ඣානෙන හොති ආභස්සරූපගොති”, ආභස්සර බඹලොව උපදින්නෙක් වේ.
මෙසේ බෝසත්හු තාපසයන් දැනුවත් කොට දෙටු අතවැසියාගේ ගුණ කියා බඹ ලොවට ම ගියේය.
බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා දෙටු අතවැසි සැරියුත් තෙරණුවෝය. මහබඹු වනාහි මම ම වීමි.
6. ස්වර්ණහංස ජාතකය (136)
“යං ලද්ධං තෙන තුට්ඨබ්බන්ති” යන මේ ජාතකය බුදුහු දෙව්රම් වෙහෙර වසන සේක්, ථුල්ලානන්දා මෙහෙණ අරබයා දෙසූහ. සැවැත් නුවර එක්තරා උපාසකයෙක් ලුහුණු දෙමි යි පවසා මෙහෙණි සසුන පවරා, එක් මෙහෙණියක් පැමිණියහොත් මෙහෙණකට ලුහුණු බික් දෙක තුනක් දෙන ලෙස කෙත් පල්ලාට අණ කළේය. ඉන්පසු ඔහු මෙහෙණෝ ලුහුණු පිණිස කෙතට ද ගෘහයට ද යති. එක් උත්සව දිනයක ඔහුගේ ගෙදර ලුහුණු අවසන් විය. ථුල්ල නම් භික්ෂුණිය පිරිවර සමග ගෙදරට ගොස් පින්වත, ලුහුණු අවශ්යයැ යි කියා ආර්යාවන් ගෙනෙන ලද ලුහුණු අවසනය. කෙතට යන්නැ යි කිය. ඇය කෙතට ගොස් පමණ නො දැන ලුහුණු ගෙන්වා ගත්තාය. කෙත් පාලකයා දොස් කීය. මෙහෙණියෝ පමණ නො දැන ලුහුණු ගෙන්වා ගන්නාහුය. ඒ ඇසූ අල්පේච්ඡ භික්ෂූණීහු ද මෙපුවත දැනගත් භික්ෂූහු ද දොස් කීහ. බුදු රජුන්ට ද මෙකරුණ සැලකළහ. බුදු රජහු ථුල්ලනන්ද භික්ෂූණියට දොස් පවරා මහණෙනි, අධික ආශා ඇති පුද්ගලයා වැදූ මවට ද ප්රිය නො වේ. එසේ ම අප හුදුණවුන් පැහැදීමට හෝ පැහැදුණවුන් වඩවඩාත් පැහැදීමට හෝ නැති ලාභ ලැබීමට හෝ නො ලැබුණු ලාභ ලැබීමට හෝ උපන් ලාභ තහවුරු කිරීමට හෝ සමත් නොවී අල්පේච්ඡ පුද්ගලයා වනාහි නො පහන් අය පැහැදවීමටත් පහන් අය වඩාත් පහන් කිරීම සඳහාත් නො ලැබුණු ලාභ ලැබීමටත් ලැබුණු ලාභ වැඩිවීමටත් උපන් ලාභ තහවුරු වීමටත් සමත් වෙයි. මේ ආදී වශයෙන් භික්ෂූන්ට අවස්ථානෝචිත දැහැමි කථා කොට මහණෙනි, ථුල්ලනන්දා අතෘපති ආශා ඇත්තී, දැන් පමණක් නො වේ. පෙර ද එසේ වූවාය යි වදාරා ඉකුත් කතාව ගෙනහැර දැක්වූහ.