3. ඝතාසන ජාතකය (133)
“ඛෙමං යහින්ති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එක්තරා භික්ෂුවක් අරබයා දේශනා කළහ. බුදු රජුන්ගෙන් කමටහන් ලබාගත් භික්ෂුවක් පසල් දනව්වක කුඩා ගමක් ඇසුරු කොට වන සෙනසුනක වස් එළැඹ විසුවේය. පළමු මාසයේ ම පිඬු පිණිස වැඩ කල පන්සල දැවී ගියේය. සෙනසුන නැතිවීමෙන් පීඩාවට පත් භික්ෂුව දායක ජනයාට එකරුණ කීවේය. ස්වාමීනි, ඉවසන්න. පන්සල තනා දෙන්නෙමු. දැන් සී සෑම් ආදී ගොවිතැන් කටයුතු ඇතැ යි කියමින් මිනිස්සු තුන් මසට කල්ගත කළහ. භික්ෂුවට සුදුසු සෙනසුන් පහසුකම් නැති බැවින් කමටහන් සඵල කැර ගන්ට නො හැකි විය. එතෙම භාවනාවෙන් නිමිති මාත්‍රයක්වත් උපදවන්ට නො හැකි ව වස් වැස නිමවා දෙව්රම් වෙහෙරට ගොස් බුදු රජුන් වැඳ එකත් පසෙක හුන්නේය. බුදුහු ඔහු සමග පිළිසඳර කථා කොට එකල්හි බුදු රජහු මහණ, කෙසේ ද? කමටහන සඵල වීදැ යි විමසූහ. භික්ෂුව මුලපටන් කමටහන සඵල නො වූ පරිදි කීය. එවිට බුදු රජහු මහණ, පෙර තිරිසන් සත්තු පවා සුදුසු නුසුදුසු බව දැන විසීමට සුදුසු කල්හි වැස නුසුදුසු කල්හි විසූ ස්ථානය අත්හැර වෙනත් තැනකට ගියහ. මහණ, ඔබ කුමක් නිසා සුදුසු නුසුදුසු බව නො දන්නෙහිදැ යි වදාරා ඔහු විසින් අයදනා ලද බුදුහු අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු කුරුලු යෝනියෙහි ඉපිද වැඩිවියට පත්ව දැකුම්කලු කුරුලු රජකු වී එක් වනබද විල් තෙරක අතු රිකිලි කොළ ගහණ වූ මහා ගසක් ඇසුරු කොට පිරිවර සහිත ව වාසය කළේය. බොහෝ කුරුල්ලෝ ඒ ගසෙහි දිය මතුපිට පැතිරී ගිය අතුවල වසන්නාහු, සිරුරු මළ හෙළති. එම විලෙන් සැඩ නා රජෙක් වසයි. මේ කුරුල්ලෝ, මගේ නිවහන වූ විලෙහි සිරුරු මළ හෙලතැ යි කිපී දියෙන් ගිනි මතුකොට ගස දවා කුරුල්ලන් පලවා පියමි යි සිතී. ඉක්බිති, රාත්‍රී කාලයෙහි සියලු කුරුල්ලන් එකතු වී ගස් අතුවල නිදිගත් කල්හි පළමු කොට සියලු ජලය ලිප තැබුවාක් මෙන් පැසුණු කල්හි දෙවැනි වර දුම් දමා තෙවැනි වර නලකඳක් පමණ ගිනි ජාලාවක් උඩට නැංවීය. බෝසත්හු දියෙන් ගිනිදැල් නැඟෙනු දැක යහලු කුරුල්ලනි, ඇවුළුණු ගිනි දියෙන් නිවෙයි. දැන් ජලය ම ගිනිදැල් විය. අපට මෙහි විසීමට නො හැකිය. වෙනත් තැනකට යමු යි කියා මේ ගාථාව කීහ.
“ඛෙමං යහිං තත්ථ අරී උදීරිතො, උදකස්ස මජ්ඣෙ ජලතෙ ඝතාසනො,
න අජ්ජ වාසො මහියා මහීරුහෙ, දිසා භජව්හො සරණජ්ජ නො භයන්ති”
න අජ්ජ වාසො මහියා මහීරුහෙ, දිසා භජව්හො සරණජ්ජ නො භයන්ති”
“යම් තැනක නිර්භය ද එතැන සතුරා නැඟී සිටියේය. දිය මැද ගිනි දිළිසෙහි. පොළොවෙහි ගසක අද විසීමක් නැත. කුරුල්ලනි, අන් තැනකට යව්. අපට පිහිට වූ තැනින් බය උපන.”
එහි, “ඛෙමං යහිං තත්ථ අරී උදීරිතො”, යම් දිය තලයක නිර්භය බව වී ද එහි සතුරෙක් පැමිණියේය. පැන නැංගේය. “උදකස්ස”, ජලයෙහි, “ඝතාසනො”, ගින්නයි. ගින්න ගිතෙල් අනුභව කරන නිසා “ඝතාසනො”, යි කියනු ලැබේ. “න අජ්ජ වාසො”, අද අපට වාසය නැත. “මහියා මහීරුහො” මහීරුවා නමින් ගස කියනු ලැබේ. ගසෙහි - මේ මහපොළොවෙහි උපන් ගසෙහි යන අර්ථයි. “දිසා භජව්හො”, දිශාවන් ඇසුරු කරවු. යවු. “සරණජ්ජ නො භයන්ති”, අද අපට පිහිටි ස්ථානයෙන් ම බය ඇතිවිය. තදින් ම බිය උපන්නේය යන අර්ථයි.
බෝසත්හු මෙසේ කියා තමාගේ වචනය පිළිගන්නා කුරුල්ලන් රැගෙන උඩට නැඟී අන් තැනකට ගියහ. බෝසතුන්ගේ වචනය නො පිළිගෙන සිටි කුරුල්ලෝ මළහ.
බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් වදාරා ජාතකය නිමවූහ. සත්‍යය දේශනාව කෙළවර ඒ භික්ෂුව රහත් ඵලයෙහි පිහිටියේය.
එදා බෝසතුන්ගේ වචනය පිළිගත් කුරුල්ලෝ බුදු පිරිසය. කුරුලු රජ වනාහි මම ම වීමි.