2. පඤ්චගරුක ජාතකය (132)
“කුසලූපදෙසේ ධිතියා දළ්හාය චාති” යන මේ ජාතක දේශනාව බුදුහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, අජපල් නුග රුක මුල මාර දූවරුන්ගේ පෙළඹවීම් සූත්‍රය අරබයා දෙසූහ. බුදු රජහු මුල පටන්,
“දද්දල්ලමාතා ආගඤ්ජුං තණහා ච අරතී රගා,
තා තත්‍ථපනුදී සත්‍ථා තුලංභට්ඨං ව මාලුතොති”
“තණ්හා, අරති, රගා යන මාර දූහු දිළිසෙමින් පැමිණියහ. බුදුහු ඔවුන් මහා සුළඟින් පුළුන් රොදක් මෙන් පලවා හැරියහ.”
මෙසේ කෙළවර දක්වා සූත්‍රය දෙසූ කල්හි, දිනක් දම් සභාවේ රැස්වූ භික්‍ෂූහු කථාවක් ඉපදවූහ. ඇවැත්නි, බුදු රජහු මාර දූන් නොයෙක් සිය ගණන් දිව්‍ය රූප මවා පොළඹවනු සඳහා එළැඹ සිටි කල්හි ඇස් ඇර බැලීම් පමණකුදු නො කළහ. අහෝ! බුද්ධ බලය මහත් පුදුමය. බුදු රජහු දම් සභාවට වැඩමවා මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා, මෙනම් කථාවකින් හුන්නෙමු යි කී කල්හි, මහණෙනි, දැන් මම සියලු ආශ්‍රව ක්‍ෂය කොට සව්නේ දත් මුහුණ ලබා මරඟනන් නො ලැබීම පුදුමයක් නො වේ. පෙර සම්බෝධිය සොයමින් කෙලෙස් සහිත ව සිටි කල මවන ලද දෙවඟනන් රූප අසංවර ව ලෝභ සහගත සිතින් නො බලා ගොස් මහා රාජ්‍යයට පැමිණියෙමි යි වදාරා අතීත කථාව වදාළහ.
පෙර බරණැස් නුවර බෝසත්හු සොහොයුරන් සියයකට කනිටු වී උපන්හ. සියලු කථා පුවත යට තක්කසිලා ජාතකයෙහි කී අයුරින් විස්තර කළ යුතුය. එදා වනාහි තක්ශලා වාසීහු නගරයෙන් පිට ශාලාවක සිටි බෝසතුන් වෙත එළැඹ රාජ්‍යය පිළිගන්වා රාජ්‍යයෙන් අභිෂේක කොට එදින නගරය දිව්‍ය නගරයක් මෙන් ද රාජ භවනය ශක්‍ර භවනය මෙන් ද අලංකාර කොට ඔසවන ලද සේසත් ඇති උතුම් රුවන් පළඟෙහි සක්දෙවිඳු මෙන් වැඩහුන්හ. ඇමැතියෝ ද බමුණු ගැහැවි ආදීහු ද කුමරුවෝ ද සව්බරණින් සැදී පිරිවරා සිටියහ. දෙවඟනන් වැනි සොළොස් දහසක් නළු ස්ත්‍රීහු ද නන් බරණින් සැරසී නෘත්‍යය ගීත වාදිතයෙහි යෙදුණහ. රජ භවන මේඝ නාදයෙන් පිරුණු මුහුද කුස මෙන් ඒකානාද විය. බෝසත්හු තමාගේ සෞභාග්‍යය බලමින් මෙසේ සිතූහ. ඉදින්, මම ඒ යකින්නන් මැවූ දිව්‍ය රූපයන් බැලුවේ නම් මරණයට පත් වන්නෙමි. එවිට මේ සෞභාග්‍යවත් ජීවිතය නො ලබන්නෙමි. පසේ බුදුවරුන්ගේ අවවාදයෙහි සිටි බැවින් මම මේ සැපතට පැමිණියෙමි. මෙසේ ද සිතා ප්‍රීති වාක්‍යය පහළ කිරීම් වශයෙන් මේ ගාථාව කීහ.
“කුසලූපෙදෙස ධිතියා දළ්හාය ච, අවත්‍ථිතත්තාභයභීරුතාය ච,
න රක්‍ඛසීනං වසමාගමිම්හා, ස සොත්‍ථිභාවො මහතා භයෙන මෙති”
“දක්‍ෂ වූ පසේ බුදු රජුන්ගේ උපදේශයන්හි දැඩි ව ඤාණයෙන් යුතුව පිහිටි හෙයින් ද අකුශලයට බිය නිසා ද යකින්නන්ගේ වසඟයට නො ගියෙමු. මට ඒ බියෙහි ම සුවපත් බව විය.”
එහි, “කුසලූපෙදෙසේ”, දක්‍ෂයන්ගේ උපදේශයන් - පසේ බුදු රජුන්ගේ අවවාද යන අර්ථයි. “ධිතියා දළ්හාය චාති”, දැඩි බවින් හා ස්ථිර බවින් නො සිඳුණු නිරතුරු වීර්යයෙන් යන අර්ථයි. “අවත්‍ථීතත්තා භය භීරුතාය චාති”, බයින් නො නැවතුණු හෙයින් ද මෙහි “භාය”, නම් සිතෙහි තැතිගැනීම් මාත්‍රයකි. “භීරුතා”, නම් සිරුර කම්පා කරන මහා බයයි. මේ දෙයාකාර බිය ම බෝසතුන්ට නො වීය. යකින්නෝ මිනිසුන් කන්නෝ යි බිය ජනක අරමුණක් දැක ද බියක් නො වීය. එම නිසා “භය භීරුතා” නිසා නො නැවතී ඉදිරියට ගියේ යි කීවේ එහෙයිනි. “භය භීරුතා” නැති නිසා බිය ජනක අරමුණක් දැක ද නො නවතින බැවින් යන අර්ථයි. එම නිසා රකුසියන්ගේ වසඟයට නො ගියෙමු යි කියන ලදි. “ස සොත්‍ථිභාවො මහතා භයෙන මෙති”, ඒ මම අද මහත් බියෙන් රකුසියන්ගෙන් පැමිණිය හැකි දුක් දොම්නසින් සුවපත් බව, නිර්භය බව, සතුටු සොම්නස් බව ඇත්තෙක් වීමි.
මෙසේ බෝසත්හු මේ ගාථාවෙන් දම් දෙසා දැහැමින් රාජ්‍යය කොට පින්කම් කොට කම් වූ පරිදි ගියේය.
බුදුහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිම වූහ. එකල තක්සලාවට ගොස් රාජ්‍යයට පැමිණි කුමරා මම වූවෙමි.
3. ඝතාසන ජාතකය (133)
“ඛෙමං යහින්ති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එක්තරා භික්‍ෂුවක් අරබයා දේශනා කළහ. බුදු රජුන්ගෙන් කමටහන් ලබාගත් භික්‍ෂුවක් පසල් දනව්වක කුඩා ගමක් ඇසුරු කොට වන සෙනසුනක වස් එළැඹ විසුවේය. පළමු මාසයේ ම පිඬු පිණිස වැඩ කල පන්සල දැවී ගියේය. සෙනසුන නැතිවීමෙන් පීඩාවට පත් භික්‍ෂුව දායක ජනයාට එකරුණ කීවේය. ස්වාමීනි, ඉවසන්න. පන්සල තනා දෙන්නෙමු. දැන් සී සෑම් ආදී ගොවිතැන් කටයුතු ඇතැ යි කියමින් මිනිස්සු තුන් මසට කල්ගත කළහ. භික්‍ෂුවට සුදුසු සෙනසුන් පහසුකම් නැති බැවින් කමටහන් සඵල කැර ගන්ට නො හැකි විය. එතෙම භාවනාවෙන් නිමිති මාත්‍රයක්වත් උපදවන්ට නො හැකි ව වස් වැස නිමවා දෙව්රම් වෙහෙරට ගොස් බුදු රජුන් වැඳ එකත් පසෙක හුන්නේය. බුදුහු ඔහු සමග පිළිසඳර කථා කොට එකල්හි බුදු රජහු මහණ, කෙසේ ද? කමටහන සඵල වීදැ යි විමසූහ. භික්‍ෂුව මුලපටන් කමටහන සඵල නො වූ පරිදි කීය. එවිට බුදු රජහු මහණ, පෙර තිරිසන් සත්තු පවා සුදුසු නුසුදුසු බව දැන විසීමට සුදුසු කල්හි වැස නුසුදුසු කල්හි විසූ ස්ථානය අත්හැර වෙනත් තැනකට ගියහ. මහණ, ඔබ කුමක් නිසා සුදුසු නුසුදුසු බව නො දන්නෙහිදැ යි වදාරා ඔහු විසින් අයදනා ලද බුදුහු අතීත කථාව ගෙනහැර දැක්වූහ.