9. අකාලරාවී ජාතකය (119)
“අමාතාපිතරි සංවද්ධොති” යන මේ ජාතක දේශනා බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, දොඩමළු භික්ෂුවක් අරබයා දේශනා කළහ. සැවැත් නුවර වැසි කුල පුතෙක් වූ ඔහු සසුනෙහි පැවිදි ව වත් පිළිවෙත හෝ ශික්ෂා හෝ නො උගත්තේය. ඒ භික්ෂුව, මා මේ වේලාවෙහි වත් කළ යුතුය. මේ වේලාවේ උවටැන් කළ යුතුය. මේ වේලාවෙහි ඉගෙනීම කළ යුතුයැ යි නො දනී. ප්‍රථම, මැදි, පැසුළු යන කාලත්‍රයෙහි පිබිදුණු කවර වේලාවක හෝ මහත් ශබ්ද කරයි. අනෙක් භික්ෂූහු මේ නිසා නිදි නො ලබත්. දම් සභාවෙහි රැස්වූ භික්ෂූහු, ඇවැත්නි, අසවල් භික්ෂුව මෙවැනි රුවන් වැනි සසුනක පැවිදි ව වතක් හෝ ශික්ෂාවක් හෝ කළ හෝ නො කළ දෙය නො දනිතැ යි ඔහුගේ අගුණ කථා කැරෙමින් හුන්නාහුය. බුදු රජහු දම් සභාවට වැඩමවා මහණෙනි, කවර කථාවකින් යුතුව හුන්නාහුදැ යි විචාරා ස්වාමීනි, මෙනම් කථාවකින් හුන්නෙමුයැ යි කී කල්හි, මේ කල් නොදැන රැව්දෙන භික්ෂුව පෙරත් එසේ ම විය. කල් නො කල් නො දන්නා බැවින් ගෙල ඇඹරී මරණයට පත් වූයේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු උසස් බමුණු කුලයක ඉපිද වැඩි වියට පැමිණ සියලු ශිල්පයන්හි පරතෙරට ගොස් බරණැස් නුවර දිසාපාමොක් ඇදුරු වී පන්සියයක් මානවකයන්ට ශිල්ප ඉගැන්වූහ. ඒ මානවකයන්ට නියම වේලාවට හඬලන කුකුලෙක් සිටියේය. මානවකයෝ කුකුළා හැඬලූ හඬින් නැඟිට අධ්‍යයන කටයුතු කරති. කුකුළා මළේය. මානවකයෙක් දර කඩමින් සොහොන් බිමෙහි යන්නේ, කුකුළකු දැක ගෙනැවුත් කූඩුවක තබා ඇතිදැඩි කළේය. සොහොනෙහි වැඩුණු බැවින් අසවල් වේලෙහි හඬලිය යුතුයැ යි නො දන්නේ, සමහර දිනක මහරාත්‍රියේ ද හඬලයි. තවත් දිනක අරුණ නැගෙත් ම හඬලයි. මහා රාත්‍රියෙහි හැඬලූ කල්හි ශිල්ප හදාරන්නාහු අරුණ නැඟීම දක්වා හැදෑරිය නො හැකි වෙත්. නිද්‍රෝපගත වීම නිසා පටන්ගත් තැන් ද නො දනිත්. ඉතා අළුයම හැඬූ කල්හි ඉගෙනීමට කාලය මද වේ. එවිට මානවකයෝ මේ කුකුළා මහා රෑ හෝ අළුයම හඬලයි. මේ නිසා අපගේ ඉගෙනීම් කාර්යයන් අවසන් නො වේ. මෙසේ සිතූ මානවකයෝ කුකුළා ගෙන ගෙල අඹරවා මරණයට පත්කොට නො කල්හි හඬලන කුකුළා අප විසින් මරණ ලද්දේ යි ගුරුතුමාට දැන්වූහ. එවිට ගුරුතුමා ඔවදන් ලබා නො වැඩුණු බැවින් මරණයට පැමිණියේ යි කියා මේ ගාථාව කීය.
“අමාතාපිතරි සංවද්ධො අනාචරියකුලෙ වසං,
නායං කාලං අකාලං වා අභිජානාති කුක්කුටොති”
නායං කාලං අකාලං වා අභිජානාති කුක්කුටොති”
“මව්පියන් සමීපයෙහි නො වැඩුණු, ඇදුරු කුලයක නො විසූ මේ කුකුළා හැඬිය යුතු කාලය හෝ නො හැඬිය යුතු කාලය නො දනී.”
එහි, “අමාතාපිතරි සංවද්ධො”, මව්පියන් ඇසුරු කොට ඔවුන්ගේ අවවාද ගෙන නො වැඩුණු තෙමේ, “අනාචරිය කුලෙ වසං”, ඇදුරු කුලයක නො වැස, සිරිත් උගන්වන්නකු ඇසුරු කොට නො විසූ බැවින් යන අර්ථයි. “කාලං අකාලං වා”, මෙවෙලාවෙහි හැඬලිය යුතුය. මෙවෙලාවෙහි නො හැඬලිය යුතුයැ යි මේ කුකුළා නො දනී. ඒ නො දන්නා නිසා ම මරණයට පැමිණියේය. මේ කරුණු දක්වා බෝසත්හු දිවි ඇතිතාක් සිට කම් වූ පරිදි ගියේය.
බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එදා නො කල්හි හැඬූ කුකුළා මේ භික්ෂුව වූයේය. අතවැසියෝ බුදුපිරිස වූහ. ගුරුතුමා මම ම වීමි.
10. බන්ධනමොක්ඛ ජාතකය (120)
“අබද්ධා තත්ථ බජ්ඣන්ති” යන මේ දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, චිඤ්චි මානවිකාව අරබයා වදාළහ. ඇගේ කථා පුවත දොළොස් වැනි නිපාතයෙහි මහා පදුම ජාතකයෙහි මතු සඳහන් වන්නේය. එකල්හි වනාහි බුදු රජහු, මහණෙනි, චිඤ්චි මානවිකාව මට අභූත චෝදනා කළේ දැන් පමණක් නොව, පෙරත් බොරු චෝදනා කළේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.