10. බන්ධනමොක්ඛ ජාතකය (120)
“අබද්ධා තත්ථ බජ්ඣන්ති” යන මේ දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, චිඤ්චි මානවිකාව අරබයා වදාළහ. ඇගේ කථා පුවත දොළොස් වැනි නිපාතයෙහි මහා පදුම ජාතකයෙහි මතු සඳහන් වන්නේය. එකල්හි වනාහි බුදු රජහු, මහණෙනි, චිඤ්චි මානවිකාව මට අභූත චෝදනා කළේ දැන් පමණක් නොව, පෙරත් බොරු චෝදනා කළේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු පුරෝහිත බමුණාගේ ගෙදර ඉපදී වැඩිවියට පත් කල්හි පියාගේ ඇවෑමෙන් ඔහුගේ ම පුරෝහිතයා වූහ. රජතුමා විසින් අග මෙහෙසියට වරයක් දෙන ලද්දේ වෙයි. සොඳුරිය, යමක් කැමැති ද එය කියව. ඈ මෙසේ කීවාය. මට වෙනත් වරයක් නම් දුර්ලභ නොවේ. මෙතැන් පටන් ඔබතුමා වෙනත් ස්ත්රියක් කෙලෙස් වශයෙන් නො බැලිය යුතුයි. රජතුමා එය ප්රතික්ෂේප කොට නැවත නැවතත් ඇවිටිලි කරන නිසා ඇගේ වචනය ඉක්මවා සිටීමට නො හැකි වන්නේ, පිළිගෙන එතැන් පටන් සොළොස් දහසක් පමණ වූ නාටක ස්ත්රීන් අතරින් කෙලෙස් වශයෙන් එක් ස්ත්රියක් දෙසවත් නො බැලුවේය.
ඉක්බිති, ඔහුගේ පසල් දනව්වක් කිපුණේය. පසල් දනව්වෙහි සිටි යෝධයෝ සොරුන් සමග දෙන්නා තුන් දෙනා වශයෙන් යුදකොට එයින් මත්තෙහි අපට නො හැක්කේයැ යි හසුන් යැවූහ. රජතුමා එහි යනු කැමැත්තේ, බල සෙනග රැස් කැරවා අග බිසව කැඳවා සොඳුරිය, මම පසල් දනව්වට යමි. එහි නොයෙක් ආකාර යුද්ධ ඇති වේ. ජය පරාජය ද අස්ථිරය. එබඳු තැනක ස්ත්රියකගේ රැකවරණය දුෂ්කරය. ඒ නිසා නුඹ මෙහි ම නවතින්නැ යි කීවේය. ඈ නවතින්න නො හැකි යි කීවාය. රජතුමා විසින් නැවත නැවතත් ප්රතික්ෂේප කරනු ලබන විට ඈ මෙසේ කීවාය. එසේ නම් එක් එක් යොදුනක් ගොස් මට සැප දුක් දැන ගැනීම පිණිස එක් එක් මිනිසා එවන්නේ නම් මැනවි. රජතුමා යහපතැ යි පිළිගෙන බෝසතුන් නුවර තබා මහත් බල සෙනඟින් යුතුව නික්මී යන්නේ, යොදුනෙන් යොදුන එක් එක් පුරුෂයා අපගේ සුවදුක් දන්වා දේවියගේ සුවදුක් ද දැනගෙන එව යි යැවීය. ඈ ආ ආ පුරුෂයා රජතුමා නුඹ කුමක් සඳහා එව්වේදැ යි විමසා නුඹ වහන්සේගේ සුවදුක් දැන ගැනීම පිණිසයැ යි කී කල්හි එසේ නම් එව යි ඔහු සමග අසත් ධර්මය (අනාචාර) සේවනය කරයි.
රජතුමා දෙතිස් යොදුන් මඟ යන්නේ, තිස් දෙකක් ජනයා යැවීය. ඈ ඒ සියලු දෙනා සමග ම එසේ කළාය. රජතුමා පසල් දනව්ව සංසිඳුවා ජනපදය අස්වසා නැවත එන්නේ ද, එසේ ම තිස් දෙදෙනකු යැවීය. ඈ ඔවුන් සමග ද එසේ ම අනාචාරයේ හැසිරුණේය. රජතුමා අවුත් ජය ටැඹ දොරටුව ළඟ සිට නගරය සරසා පිළියෙල කැරවයි බෝසතාණන් වහන්සේට තල්පතක් යැවීය. බෝසත්හු සියලු නගරය සරසවා රජ ගෙදර ද සරසා පිළියෙල කැරවන්නේ දේවිය වසන තැනට ගියහ. ඈ බෝසතාණන් වහන්සේගේ රූපයෙන් අග තැන්පත් සිරුර දැක ඉවසා දරා ගැනීමට නො හැකි වන්නී, එව බමුණ, ඇඳට නඟින්නැ යි කීවාය. බෝසත්හු එසේ නො කියන්න. රජතුමාට ගරු කරමි. පවට ද බිය වෙමි. මා විසින් මෙසේ කරන්නට නො හැකිය යි කීහ. හැට හතරක් සේවක ජනයන්ට රජතුමාට ගරු කිරීමක් නැත. අකුසලයට බිය වීමක් ද නැත. රජතුමාට ගරු කරන්නේ නුඹ විතරද? අකුසලයට බිය වන්නේ ඔබ විතර ද? එසේය. ඉදින්, ඔවුන්ටත් එසේ වූයේ නම් මෙසේ නො කරන්නේය. මම වනාහි දන්නා නිසා මෙබඳු සැහැසි ක්රියාවක් නො කරන්නෙමි. වැඩිපුර කථා කුමට ද? ඉදින්, මගේ කීම නො කරන්නේ නම් නුඹේ හිස සිඳ වන්නෙමි. සිටීවා. එක් ආත්ම භාවයක හිස තබා ආත්ම භාව දහසක හිස් ගසා දැම්මත් මා විසින් මෙබන්දක් කරන්නට නො හැකිය. ඈ, වේවා. කළ යුත්ත දනිමි යි බෝසතුන්ට තර්ජනය කොට තමන්ගේ කාමරයට ගොස් සිරුරෙහි නිය පහරවල් දක්වා තෙලින් සිරුර ගල්වා කිලිටි කඩක් ඇද ගිලන් ස්වභාවයක් ඇති කොට දාසියන්ට අණ කළාය. රජතුමා, දේවිය කොහිදැ යි ඇසූවිට අසනීප බව කියවු.