12. හංසී වර්‍ගය
1. ගද්‍රභ ප්‍රශ්න ජාතකය (111)
“හංසි ත්‍වං මඤ්ඤසීති” යන මේ ගද්‍රභ ප්‍රශ්නය ද උම්මග්ග ජාතකයෙහි දී ම ප්‍රකට වන්නේය.
2. අමරා දේවි ප්‍රශ්න ජාතකය (112)
“යෙන සත්තුබිලඞ්ගා” යන මේ අමරා දේවි ප්‍රශ්නය ද එම උම්මග්ග ජාතකයෙහි දී ම ප්‍රකට වන්නේය.
3. සිඟාල ජාතකය (113)
“සද්දහාසි සිඟාලස්සාති” යන මේ ජාතකය බුදු රජහු වේළුවනයෙහි වසන සේක්, දෙව්දත් අරබයා දෙසූහ. එකල්හි භික්‍ෂූහු ඇවැත්නි, දෙව්දත් විසින් පන්සියයක් භික්‍ෂූන් ගෙන ගයා සීසයට ගොස් මා කරන දේ ධර්මය වේ. මහණ ගොයම්හු කරන දේ ධර්මය නො වේ යි ඒ භික්‍ෂූන්ට තලබ්ධිය ගන්වා බොරුව මුදුන්පත් කොට මහසඟන භේද කොට එක් සීමාවක් තුළ උපෝසථ දෙකක් කරන ලදැ යි, දෙව්දත්ගේ අගුණ කථා කියමින් හුන්නාහුය. බුදු රජුන් දම් සභාවට වැඩමවා මහණෙනි, දැන් කවර කථාවක් කැරෙමින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, දෙව්දත් මුසාවාදී වූයේ දැන් පමණක් නො වේ. පෙර ද වූයේමැ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු සොහොනක් අසල වනයක රුක් දෙවියෙක් වී උපන්හ. එදවස බරණැස් නුවර නැකැත් කෙළිය දන්වන ලදි. මිනිස්සු සක්බලියක් කරමු යි කුඩාවේ, මහවේ ආදී තැන්වල මත්ස්‍ය මාංශ විසුරුවා මිනී හිස් කබල්වල බොහෝ සුරා තැබූහ. එකල්හි සිවලෙක් මධ්‍යම රාත්‍රියෙහි ජල මාර්ගයක් නගරයට පිවිස මස් මාංශ කා සුරා බී දොඹ ගස් පඳුරක් අතර විසීය. පහන්වන තුරු නිදි ගත්තේය. සිවලා එළිය දැක පිබිදී දැන් පිටත යා නො හැකියත මඟ ළඟට ගොස් සැඟවී සිට මිනිසුන් දැක ද කිසිවක් නො කියා මුව දෙවීම සඳහා යන එක් බමුණකු දැක මෙසේ සිතීය. බමුණෝ වනාහි ධන ලෝභියෝ වෙති. මොහු ධනයෙන් පොළඹවා, යම් සේ මොහු මා උතුරු සළුවෙන් පිළිසන් කොට කිසිළි අතුරෙහි තබාගෙන යයි ද එසේ කරන්නෙමි යි සිවලා මිනිස් බසින්, ‘බමුණා’ යි කීහ. ඔහු ද ආපසු හැරී මා කැඳවන්නේ කවරෙක්දැ යි ඇසීය. බමුණානෙනි, මම වෙමි. කාරණය කුමක් ද? බමුණාණෙනි, මට කහවණු දෙසීයක් තිබේ. ඉදින්, ඔබ මා කිසිලි අතරෙහි තබා උතුරු සළුවෙන් වසා කිසිවකුට නො පෙනෙන සේ නගරයෙන් පිටත්ව ගෙනයන්ට හැක්කේ නම් මම ඒ කහවණු ඔබට දෙමි. බමුණා ද ධන ලෝභයෙන් මැනවැ යි පිළිගෙන සිවලා කී පරිදි නුවරින් නික්ම මද දුරක් ගියේය. සිවලා බමුණා, දැන් කොහිදැ යි ඇසීය. අසවල් නම් ඇති තැනයි. තවත් මද දුරක් යනු මෙසේ නැවත නැවත කියමින් මහසොහොන් බිමට පැමිණ සිවලා දැන් මා මෙහි තබනු කීය. ඔහු ද එසේ කළේය. එසේ නම් බමුණ, උතුරු සළුව මෙහි එලනු. ධන ලෝභයෙන් බමුණා ද මැනවැ යි පිළිගෙන සළුව දිගහැරීය. දැන් බමුණ, මේ ගස මුල සාරනු. බමුණා පොළොව සෑරීමෙහි යොදවා සිවලා සළුවට නැඟ සිව්කොණ හා මැද යන පස් තැනක සිරුර මළ පහකොට අසූචි තවරා මුත්‍රකොට තෙමා සොහොන් වනයට ම වැදුණේය. බෝසත්හු ගස් දෙබලෙහි සිට මේ ගාථාව කීහ.
“සද්දහාසි සිඟාලස්ස සූරාපීතස්ස බ්‍රාහ්මණ,
සිප්පිකානං සතං නත්‍ථි කුතො කංසසතා දූවෙති”
“බ්‍රාහ්මණය, සුරා බී සිවලුගේ වචනය අදහන්නෙහි ද, ඔහු ළඟ බෙල්ලන් සියයකුදු නැත. කහවණු දෙසීයක් කොයින් ද?”
එහි, “සද්දහාසි”, අදහන්නෙහි ද? “සද්දහෙසි” යනු ද කැමැති වන්නෙහි ද යන අර්ථයි. “සිප්පිකානං සතං නත්‍ථි”, මොහුට බෙල්ලන් සියයකුදු නැත. “කුතො කංසසතා දූවෙ”, ඔහුට කහවණු දෙසීයක් කොයින් ද?
බෝසත්හු මේ ගාථාව කියා බමුණ, යව. ඔබගේ සළුව සොයා ස්නානය කොට තමාගේ කාර්යයක් කරනු යි කියා අතුරුදන් වූහ. බමුණා ද එසේ කොට ඒකාන්තයෙන් මම රැවටුණෙමි යි නො සතුටට පත්ව ගියේය.
බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එදා සිවලා දෙව්දත් විය. රුක් දෙවියා නම් මම ම වීමි.
4. මිතචින්තී ජාතකය (114)
“බහුචින්තී අප්පචින්තී චාති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, මහළු තෙරුන් දෙදෙනකුන් වහන්සේ අරබයා දෙසූහ. ඔවුහු වනාහි එක්තරා දනව්වක වනායතනයක වස් වැස බුදු රජුන් දැකීමට යන්නෙමු යි මාර්ගෝපකරණ පිළියෙල කොට අද යමු හෙට යමු යි මසක් ඉක්මවා නැවතත් මාර්ගෝපකරණ සකසා මාසයක් ද මේ අයුරින් නැවතත් මාසයක් ද වශයෙන් තමන්ගේ කුසීත බව නිසාත් සෙනසුන පිළිබඳ ආශාව නිසාත් තුන් මසක් ඉක්මවා එයින් නික්ම දෙව්රම් වෙහෙරට අවුත් තමන්ට ගැළපෙන තැනක පා සිවුරු තැන්පත් කොට බුදු රජුන් දුටහ. අනතුරු ව භික්‍ෂූහු ඔවුන්ගෙන් ඇවැත්නි, බුද්ධෝපස්ථානය සඳහා මෙපමණ කලක් අතපසු කළේ මන්දැ යි විචාළහ. ඔවුහු එකරුණ කීහ. මේ අයුරින් ඔවුන්ගේ කුසීත බව ප්‍රකට විය. දම් සභාවෙහි ද ඔවුන්ගේ කුසීත භාවය පිළිබඳ ව ම කථා මතු කළාහුය. බුදු රජුන් වැඩමවා මහණෙනි, මා එන්නට පළමු ව කවර කථාවකින් හුන්නාහුදැ යි විචාර මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, මොවුන් අලස වූවෝ, සෙනසුනෙහි ඇළුණෝ, දැන් පමණක් නොව, පෙර ද එසේ ම වූවෝ යි වදාරා අතීත කථාව දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බරණැස් ගඟෙහි මත්ස්‍යයෝ තිදෙනෙක් වූහ. බහුචින්තී, (වැඩියෙන් සිතන්නා) අප්පචින්ති, (අඩුවෙන් සිතන්නා) මිතචින්තී (පමණට සිතන්නා) උන්ගේ නම් විය. ඔවුහු වන පෙදෙසේ සිට මිනිස් පියසට ආහ. මෙයින් මිතචින්ති මත්ස්‍යයා අනෙක් දෙන්නාට, මේ මිනිස් පියස බිය ජනකය. සැක සහිතය. මසුන් මරන්නෝ විවිධ දැල් කෙමිණ දමා මසුන් අල්ලා ගනිත්. අපි වන පෙදෙසට ම යමු යි කීය. අනෙක් මසුන් දෙදෙනා අලස බැවින් හා ගොදුරු ලොල් බව නිසාත් අද යමු, හෙට යමු යි තුන් මසක් ඉක්මවූහ. දිනක් මසුන් මරන්නෝ දැල ගඟට දැමූහ. එවේලෙහි බහුචිත්තී, අප්පචිත්තී දෙදෙනා ගොදුරු සොයමින් ඉදිරියෙන් යති. එහෙත් දෙදෙනාගේ නො දැනීම නිසා දැලේ ඉව නො දැන දැල තුළට ගියහ. මිතචින්තී මත්ස්‍යයා පසුපසින් එන්නේ, දැල් ගඳ ඉව කොට අනෙක් දෙදෙනා දැලට පිවිසි බවත් දැන මේ කම්මැලි මෝඩ දෙදෙනාගේ ජීවිතය රැක දෙමි යි සිතා පිටුපසින් දැල් කුසට ගොස් දැල් කුස පලා නික්මුණාක් මෙන් හගවා දිය කළඹා නැවත දැල ඉදිරියට පැන දැල කුසට ගොස් පසු භාගය පලා නික්මී ගියාක් මෙන් හඟවා දිය කළඹා පසු භාගයට වැටුණේය. එවිට කෙවුලෝ මසුන් දැල පලා ගියෝ යි සිතා දැල් කෙළවරින් ගෙන එසවූහ. එවිට ඒ මසුන් දෙදෙනා ම දැලින් මිදී දියෙහි වැටුණහ. මේ අනුව මිතචින්තී නිසා දෙදෙනාගේ ජීවිත රැකුණි.