8. වට්ටක ජාතකය (118)
“නචින්තයන්තො පුරිසොති” යන දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, උත්තර නම් සිටු පුත්‍රයා අරබයා වදාළහ. සැවැත් නුවර මහත් ධනයක් ඇති උත්තර නම් සිටුවරයකු විය. ඔහුගේ බිරිඳගේ කුසෙහි එක් පින් ඇති සත්ත්වයකු බඹ ලොවින් චුත වී පිළිසිඳ ගෙන වැඩිවියට පැමිණියේ, උතුම් පැහැයෙන් මනා රූ ඇත්තේ විය. ඉක්බිති, එක් දිනක් සැවැත් නුවර කැති නැකැත් සැණකෙළිය - නැකැත් ක්‍රීඩාව ප්‍රකාශයට පත් කළ කල්හි සියලු රටවැසියා නැකත් කෙළියේ යෙදුණේ විය. ඒ සිටු පුත්‍රයාගේ අනිත් යහළු සිටු පුත්‍රයෝ භාර්යාවන් සහිත වූහ. උත්තර සිටු පුත්‍රයා බොහෝ කලක් බඹලොව විසූ හෙයින් කාමයන්හි නො ඇලේ. ඉක්බිති, ඔහුගේ යහළුවෝ උත්තර සිටු පුත්‍රයාට ද එක් ස්ත්‍රියක් ගෙනවුත් නැකත් කෙළි කෙළිමු යි මන්ත්‍රණය කොට ඔහු වෙත එළැඹ යහළුව, මේ නගරයෙහි කැති නැකත් සැණකෙළියයැ යි ඝෝෂා කරන ලද්දේ වෙයි. ඔබට ද එක් ස්ත්‍රියක ගෙන අවුත් නැකත් කෙළි කෙළෙමු යි කීවාහුය. එවිට සිටු පුත් මට ස්ත්‍රියකගෙන් වැඩක් නැතැ යි කී කල්හි නැවත නැවත ඇවිටිලි කිරීමෙන් මැනවැ යි පිළිගන්වා එක් වෙසඟනක් සියලු අලංකාරයන්ගෙන් සරසවා ඔහුගේ ගෙදරට ගෙන ගොස් සිටු පුත්‍රයාගේ ගෙදරට යවයි. ඔහු නිදන ගෙයට යවා නික්ම ගියහ. සිටු පුත්‍රයා ඇය නිදන ගෙට පිවිසිය ද ඇය දෙස නො බලයි. කථා නො කරයි. ඇය මෙසේ සිතුවාය. මෙතෙම සුවෙන් අග තැන්පත් ස්ත්‍රී විලාශයන්ගෙන් යුක්ත වූ මා නො බලයි. කථා නො කරයි. දැන් තමාගේ ස්ත්‍රී විලාශයන්ගෙන් ඔහු බලවමි යි, ස්ත්‍රී ලීලා දක්වන්නී, සතුටු වූ ආකාරයෙන් අග දත් පෙන්වා සිනාසුණාය. එවිට සිටු පුත් දත් දෙස බලා ඇට යන සංඥාව උපදවා ගත්තේය. ඇගේ සියලු සිරුර ඇට සැකිල්ලක් මෙන් පෙනුණේය. සිටු පුත් ඇයට වියදම් දී යව යි පිටත් කළේය.
ඇය සිටු පුත්ගේ ගෙදරින් පිටත් ව යන විට එක්තරා ධනවතෙක් වීථිය අතර දී ඇයට වියදම් දී තමාගේ ගෙදරට ගෙන ගියේය. හත් දවසක් ඉක්ම ගිය කල්හි නැකත් කෙළිය අවසන් විය. වෙසඟනගේ මව දුවගේ පැමිණීම නො දැක සිටු පුත්‍රයා වෙත ගොස් ඇය කොහිදැ යි විචාළාය. ඔවුහු උත්තර සිටු පුත්‍රයාගේ ගෙට ගොස් ඈ කොහිදැ යි විචාළාහ. ඒ අවස්ථාවෙහි ම ඇගේ වියදම් දී පිටත් කළේයැ යි කීවේය. ඉක්බිති, ඇගේ මව හඬන්නී, මගේ දුව නො දකිමි. මගේ දුව ගෙනෙව යි උත්තර සිටු පුත්‍රයා ද රැගෙන රජු සමීපයට ගියාය. රජතුමා ද නඩුව විනිශ්චය කරන්නේ, මේ සිටු පුත්‍රයෝ වෙසඟනක් ගෙනවුත් දුන්නාහුදැ යි විචාළේය. දේවයන් වහන්ස, එසේය. දැන් ඇය කොහි ද? නො දනිමි. එකෙණෙහි ම ඇයව පිටත් කළෙමි. දැන් ඈ කැඳවාගෙන එන්නට හැකි වෙයි ද? දේවයන් වහන්ස, නො හැක්කෙමි. රජතුමා, ඉදින්, කැඳවාගෙන එන්නට නො හැකි වන්නේ නම් ඔහුට රජ අණ ක්‍රියාත්මක කළ යුතුයැ යි කීවේය. ඉක්බිති, ඔහු අත් පිටිපසට කැර බැඳ රජ අණ ක්‍රියාත්මක කරන්නෙමැ යි ගෙන ගියාහුය. සිටු පුත්‍රයා වනාහි වෙසඟන කැඳවා ගෙන එන්නට නො හැකි වන්නේ, රජතුමා රජ අණ කැරව යි කී විට මුළු නගරය ම කැළඹෙන්නට විය. මහජනයා ළයෙහි අත් තබාගෙන මේ කුමක් ද ස්වාමීනි, ඔබට නුසුදුසු දඬුවමක් ලැබුණේයැ යි වැළපෙයි. සිටුතුමා ද පුත්‍රයාගේ පසුපස වැළපෙමින් යයි.
සිටු පුත්‍රයා මෙසේ සිතුවේය. මේ මට මෙබඳු දුකක් ගිහි ගෙයි වසන නිසා උපන්නේය. ඉදින්, මෙයින් මිදින්නෙමි නම් මහා ගෞතම සම්මා සම්බුදුන්ගේ සමීපයෙහි පැවිදි වන්නෙමි. ඒ වෙසඟන ද වනාහි ඒ කැළඹිලි හඬ අසා මේ කිනම් ශබ්දයක්දැ යි විචාරා ඒ පුවත අසා වේගයෙන් බැස පහවන්න. පහවන්න ස්වාමීනි, මා රාජ පුරුෂයන්ට දකින්නට දෙව තමා පෙනී සිටියාය. රාජ පුරුෂයෝ ඇය දැක මව කැඳවා සිටු පුත්‍රයා නිදහස් කැරවා ගියාහුය. හෙතෙම සහායකයන් පිරිවරා ගඟට ගොස් ජල ස්නානය කොට ගෙට ගොස් හීල ආහාරය ගෙන මව්පියන්ගෙන් පැවිද්දට අවසර ලබාගෙන සිවුරු සළුගෙන මහ පිරිවරින් බුදු රජුන් වෙත ගොස් වැඳ පැවිද්ද ඉල්ලා පැවිද්ද හා උපසම්පදාව ලැබ නො හළ කමටහන් ඇත්තේ, විදසුන් වඩා නොබෝ දිනකින් රහත් බැව්හි පිහිටියේය.
ඉක්බිති, එක් දිනක් දම් සභාවෙහි රැස්වූ භික්‍ෂූහු ඇවැත්නි, උත්තර සිටු පුත්‍රයා තමන්ට බයක් උපන් කල්හි ශාසනයෙහි අගය දැන මේ දුකින් මිදෙන්නේ, පැවිදි වන්නෙමි යි සිතා ඔහු විසින් මනා කොට සිතීමෙන් මිදුණේ මෙන් ම පැවිදි අග්‍ර ඵලයෙහි පිහිටියේයැ යි ඔහුගේ ගුණ කථාව කීවාහුය. බුදු රජහු අවුත් මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැ යි විචාරා මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, උත්තර සිටු පුත්‍රයා මෙන් තමාට බය උපන් කල්හි මේ ක්‍රමයෙන් මේ දුකින් මිදෙන්නෙමි යි සිතන්නේ, මරණ බයින් මිදුණේ, පෙර නුවණ ඇත්තෝ ද තමන්ට බය උපන් කල්හි මේ ක්‍රමයෙන් මේ දුකින් මිදෙන්නෙමු යි සිතා මරණ බය දුකින් මිදුණාහුයැ යි කියා අතීත කථාව ගෙනහැර දැක්වූහ.