7. තිත්තිර ජාතකය (117)
“අච්චුග්ගතා අතිබලතාති” යන දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක්, කෝකාලික භික්‍ෂුව අරබයා වදාළහ. එහි කථා පුවත දහතුන් වැනි නිපාතයෙහි තක්කාරිය ජාතකයෙහි මතු සඳහන් වන්නේය. බුදු රජහු වනාහි මහණෙනි, කෝකාලික භික්‍ෂුව තමාගේ වචනය නිසා නැසුණේ දැන් පමණක් නොව, පෙරත් නැසුණේමැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරද්දී බෝසත්හු (නැගෙනහිර) උසස් බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව තක්සලාවෙහි සියලු ශිල්ප ඉගෙන කම් සැප හැර දමා තවුස් පැවිද්දෙන් පැවිදි ව පඤ්ච අභිඥා හා සමාපත්ති අට ද උපදවා ගත්හ. හිමවත් පෙදෙසෙහි සියලු තාපස පිරිස රැස් වී ඔහු අවවාද දායක ගුරුවරයා කොට පිරිවරා ගත්හ. හෙතෙම පන්සියයක් තාපසවරුන්ගේ අවවාද දායක ගුරුවරයා වී ධ්‍යාන සුවයෙන් යුක්ත ව හිමාල වනයෙහි විසීය. එකල එක් පාණ්ඩු රෝගී තාපසයෙක් පොරොව ගෙන දර පලයි. ඉක්බිති, එක් දොඩමළු තාපසයෙක් ඔහුගේ සමීපයෙහි හිඳ මෙතෙන්ට පහර දෙව. මෙතෙන්ට පහර දෙව යි ඒ තාපසයා තරහ ගැන්වීය. හෙතෙම කිපී දැන් නුඹ මගේ දර පලන ශිල්පය උගන්වන ගුරුවරයා නො වෙයි. මුවාත් පොරොව ඔසවා එක් පහරින් ම මරණයට පත් කළේය. බෝසත්හු ඔහුගේ අවසන් කටයුතු කැරවීය. එකල අසපුවට නුදුරෙහි එක් තුඹසක් ළඟ තිත් වටුවෙක් වසයි. හෙතෙම උදේ සවස තුඹස මත සිට මහත් සේ හඬලෑවේය. ඒ අසා එක් වැද්දෙක් තිත් වටුවකු විය යුතුයැ යි හඬ අනුව ගොස් ඌ මරා ගෙන ගියේය.
බෝසත් තෙම උගේ ශබ්දය නො අසන්නේ අසවල් තැන තිත් වටුවෙක් වසයි. කුමක් නිසා උගේ හඬ නො ඇසෙන්නේදැ යි තවුසන්ගෙන් විචාළේය. ඔවුහු ඒ කරුණ සැලකළාහුය. හෙතෙම දෙදෙනාගේ ම ඒ කාරණා සසඳා මේ ගාථාව කීවේය.
“අච්චුග්ගතා අතිබලතා අතිවෙලං පභාසිතා,
වාචාහනති දුම්මෙධං තිත්තිරං වාතිවස්සිතන්ති”
“ඉතා උස් වූ, (ඉතා මහත් කොට කියන ලද්දා වූ) ඉතා බලවත් වූ, ප්‍රමාණය ඉක්මවා ප්‍රකාශිත වචනය ප්‍රමාණය ඉක්මවා හැඬූ වටුවා මෙන් නුවණ නැත්තහු නසයි.”
එහි, “අච්චුග්ගතාති”, ඉතා මහත් කොට කියන ලද, “අතිබලතාති”, නැවත නැවත කීමෙන් ඉතා බලවත් වූ ස්වභාවයෙන් “අතිවෙලං පභාසිතාති”, වේලාව ඉක්මවා, පමණ ඉක්මවා කියන ලදි. “තිත්තිරං වාතිවස්සිතන්ති”, යම් සේ තිත් වටුවා අධික ව හඬලන්නේ, නැසුණේය. එසේ ම එබඳු වචනය නුවණ නැති බාල පුද්ගලයා නසයි.
මෙසේ බෝසත්හු තාපස පිරිසට අවවාද දී සිව් බඹ විහරණ වඩා බඹ ලොව පිහිට කොට ගියේ විය.
බුදුහු, මහණෙනි, කෝකාලික දැන් පමණක් තමාගේ වචනය නිසා නැසුණේ නො වේ. පෙරත් නැසුණේයැ යි මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමාවට පත්කළහ. එකල අකීකරු තාපසයා මේ කෝකාලික විය. තාපස පිරිස බුදු පිරිසයි. නායක තාපසයා වනාහි මම ම වෙමි යි වදාළහ.
8. වට්ටක ජාතකය (118)
“නචින්තයන්තො පුරිසොති” යන දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, උත්තර නම් සිටු පුත්‍රයා අරබයා වදාළහ. සැවැත් නුවර මහත් ධනයක් ඇති උත්තර නම් සිටුවරයකු විය. ඔහුගේ බිරිඳගේ කුසෙහි එක් පින් ඇති සත්ත්වයකු බඹ ලොවින් චුත වී පිළිසිඳ ගෙන වැඩිවියට පැමිණියේ, උතුම් පැහැයෙන් මනා රූ ඇත්තේ විය. ඉක්බිති, එක් දිනක් සැවැත් නුවර කැති නැකැත් සැණකෙළිය - නැකැත් ක්‍රීඩාව ප්‍රකාශයට පත් කළ කල්හි සියලු රටවැසියා නැකත් කෙළියේ යෙදුණේ විය. ඒ සිටු පුත්‍රයාගේ අනිත් යහළු සිටු පුත්‍රයෝ භාර්යාවන් සහිත වූහ. උත්තර සිටු පුත්‍රයා බොහෝ කලක් බඹලොව විසූ හෙයින් කාමයන්හි නො ඇලේ. ඉක්බිති, ඔහුගේ යහළුවෝ උත්තර සිටු පුත්‍රයාට ද එක් ස්ත්‍රියක් ගෙනවුත් නැකත් කෙළි කෙළිමු යි මන්ත්‍රණය කොට ඔහු වෙත එළැඹ යහළුව, මේ නගරයෙහි කැති නැකත් සැණකෙළියයැ යි ඝෝෂා කරන ලද්දේ වෙයි. ඔබට ද එක් ස්ත්‍රියක ගෙන අවුත් නැකත් කෙළි කෙළෙමු යි කීවාහුය. එවිට සිටු පුත් මට ස්ත්‍රියකගෙන් වැඩක් නැතැ යි කී කල්හි නැවත නැවත ඇවිටිලි කිරීමෙන් මැනවැ යි පිළිගන්වා එක් වෙසඟනක් සියලු අලංකාරයන්ගෙන් සරසවා ඔහුගේ ගෙදරට ගෙන ගොස් සිටු පුත්‍රයාගේ ගෙදරට යවයි. ඔහු නිදන ගෙයට යවා නික්ම ගියහ. සිටු පුත්‍රයා ඇය නිදන ගෙට පිවිසිය ද ඇය දෙස නො බලයි. කථා නො කරයි. ඇය මෙසේ සිතුවාය. මෙතෙම සුවෙන් අග තැන්පත් ස්ත්‍රී විලාශයන්ගෙන් යුක්ත වූ මා නො බලයි. කථා නො කරයි. දැන් තමාගේ ස්ත්‍රී විලාශයන්ගෙන් ඔහු බලවමි යි, ස්ත්‍රී ලීලා දක්වන්නී, සතුටු වූ ආකාරයෙන් අග දත් පෙන්වා සිනාසුණාය. එවිට සිටු පුත් දත් දෙස බලා ඇට යන සංඥාව උපදවා ගත්තේය. ඇගේ සියලු සිරුර ඇට සැකිල්ලක් මෙන් පෙනුණේය. සිටු පුත් ඇයට වියදම් දී යව යි පිටත් කළේය.