6. දුබ්බච ජාතකය (116)
“අතිකරමකරාචරියාති” යන දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක් අකීකරු භික්‍ෂුවක් අරබයා වදාළහ. ඒ කථා පුවත නව වැනි නිපාතයෙහි ගිජ්ඣ ජාතකයෙහි ප්‍රකට වන්නේය. බුදුහු වනාහි ඒ භික්‍ෂුව අමතා, මහණ, නුඹ දැන් පමණක් අකීකරු වූයේ නොව, අපරත් අකීකරු වූයේය. අකීකරු කම නිසා ම නුවණ ඇත්තන්ගේ අවවාදය නො සලකන්නේ, අඩයටි පහරින් මරණයට පැමිණියේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරෙද්දී බෝසත් තෙම අඩයටි පනින ශිල්ප දත් කුලයක ගෙන වැඩිවියට පැමිණියේ, නුවණ ඇත්තේ, උපායශීලී විය. හෙතෙම එක් නළුවකුගේ සමීපයෙහි අඩයටි පනින ශිල්පය පුහුණු වී ගුරුවරයා සමග ශිල්ප දක්වමින් හැසිරෙයි. මොහුගේ ගුරුවරයා වනාහි සිව් අඩයටියකින් පැන යන ශිල්පය දනිතත් පසෙකින් පැන යන ශිල්ප නො දනී. හෙතෙම එක් දිනක් කුඩා ගමක ශිල්ප දක්වන්නේ, සුරා මදයෙන් මත් ව පස් අඩයටියකින් පනින්නෙමි යි පිළිවෙලින් අඩයටි තැබීය. ඉක්බිති, ඔහුට බෝසත්හු කීහ. ගුරුතුමනි, නුඹ පස් අඩයටි ශිල්පය නො දන්නෙහිය. එක් අඩයටියක් බැහැර කරව. එසේ නො කළ හොත් පස් වැනි අඩයටියෙහි ඇණී මරණයට පැමිණෙන්නෙහිය. හෙතෙම අධික ලෙස මත් වී සිටි බැවින් ඔබ මගේ තරම නො දන්නෙහි යි, ඔහුගේ කීම නො පිළිගෙන අඩයටි සතරක් පැන පස් වැනි අඩයටියෙහි රිටක ඇමුණු මී මලක් මෙන් ඇමිණී වැළපෙමින් හොත්තේය. ඉක්බිති, ඔහුට බෝසත්හු නුවණ ඇත්තන්ගේ කීම නො කොට මේ විපතට පැමිණියේයැ යි මේ ගාථාව කීහ.
“අතිකරමකරාචරිය, මය්හම්පෙතං න රුච්චති,
චතුත්‍ථෙ ලඞ්ඝයිත්‍වාන පඤ්චමියස්මිං ආවුතොති”
“ඇදුරුතුමනි, තොපට නො පිළිවන් වූ අධික වූ ක්‍රියාවක් කළෙහිය. මට ඒ කාරණය නුරුස්සයි. සතර වැනි ශස්ත්‍රයෙහි (නො වැටී සිරුර) පන්වා පස් වැන්නෙහි ඇවිණී ගියෙහිය.”
එහි, “අතිකරමකරාචරියාති”, ගුරුතුමනි, අද ඔබ නො කළ යුතු දෙය කළෙහිය. තමාගේ දැනුමට වඩා වැඩි දෙයක් කළේය, යන අර්ථයි. “මය්හම්පෙතං න රුච්චති”, අතවැසියකු වූ මට ද මෙකරුණ රුචි නො වේ. එම නිසා පළමු කොට ම මා ඔබට මෙකරුණ කීවෙමි යි දක්වයි. “චතුත්‍ථෙ ලඞ්ඝයිත්‍වානති” අඩයටි සතරක් පැන “පඤ්චමියස්මිං ආවුතොති”, නුවණ ඇත්තන්ගේ වචන නො පිළිගෙන දැන් පස් වැනි අඩයටියෙහි ඇමිණියෙහිය.
මෙය කියා ගුරුතුමා අඩයටියෙන් වෙන් කොට කළ යුතු දේ කළහ. බුදු රජහු මේ කථාව ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදින ගුරුතුමා මේ අකීකරු භික්‍ෂුව විය. අතවැසියා වනාහි මම ම වීමි.
7. තිත්තිර ජාතකය (117)
“අච්චුග්ගතා අතිබලතාති” යන දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක්, කෝකාලික භික්‍ෂුව අරබයා වදාළහ. එහි කථා පුවත දහතුන් වැනි නිපාතයෙහි තක්කාරිය ජාතකයෙහි මතු සඳහන් වන්නේය. බුදු රජහු වනාහි මහණෙනි, කෝකාලික භික්‍ෂුව තමාගේ වචනය නිසා නැසුණේ දැන් පමණක් නොව, පෙරත් නැසුණේමැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරද්දී බෝසත්හු (නැගෙනහිර) උසස් බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව තක්සලාවෙහි සියලු ශිල්ප ඉගෙන කම් සැප හැර දමා තවුස් පැවිද්දෙන් පැවිදි ව පඤ්ච අභිඥා හා සමාපත්ති අට ද උපදවා ගත්හ. හිමවත් පෙදෙසෙහි සියලු තාපස පිරිස රැස් වී ඔහු අවවාද දායක ගුරුවරයා කොට පිරිවරා ගත්හ. හෙතෙම පන්සියයක් තාපසවරුන්ගේ අවවාද දායක ගුරුවරයා වී ධ්‍යාන සුවයෙන් යුක්ත ව හිමාල වනයෙහි විසීය. එකල එක් පාණ්ඩු රෝගී තාපසයෙක් පොරොව ගෙන දර පලයි. ඉක්බිති, එක් දොඩමළු තාපසයෙක් ඔහුගේ සමීපයෙහි හිඳ මෙතෙන්ට පහර දෙව. මෙතෙන්ට පහර දෙව යි ඒ තාපසයා තරහ ගැන්වීය. හෙතෙම කිපී දැන් නුඹ මගේ දර පලන ශිල්පය උගන්වන ගුරුවරයා නො වෙයි. මුවාත් පොරොව ඔසවා එක් පහරින් ම මරණයට පත් කළේය. බෝසත්හු ඔහුගේ අවසන් කටයුතු කැරවීය. එකල අසපුවට නුදුරෙහි එක් තුඹසක් ළඟ තිත් වටුවෙක් වසයි. හෙතෙම උදේ සවස තුඹස මත සිට මහත් සේ හඬලෑවේය. ඒ අසා එක් වැද්දෙක් තිත් වටුවකු විය යුතුයැ යි හඬ අනුව ගොස් ඌ මරා ගෙන ගියේය.