5. අනුශාසික ජාතකය (115)
“යායඤ්ඤමනුසාසති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එක්තරා අනුශාසනා කරන මෙහෙණක් අරබයා දෙසූහ. එතුමිය සැවැත් නුවර වැසි එක් කුල දුවක් වූවාය. පැවිදි ව උපසපන් කාලයෙහි පටන් මහණකමෙහි නො යෙදුනී, ආමිෂයෙහි ගිජු වී අන් මෙහෙණක වූ යම් පෙදෙසකට නො යයි ද එවැනි නගරයෙහි එක් පෙදෙසක පිඬු පිණිස හැසිරෙයි. මිනිස්සු ද ප්‍රණීත පිණ්ඩපාත දෙති. රස තෘෂ්ණාවෙන් බැඳී ඉදින්, මේ පෙදෙසෙහි අන් මෙහෙණහු පිඬු පිණිස හැසිරෙද් ද, එවිට මගේ ලාභ පිරිහෙන්නේය. යම් අයුරකින් මෙපෙදෙසට අන් මෙහෙණියෝ නො එන්නෝ ද, එසේ කළ යුතු යි සිතා ආර්යාවනි, අසවල් තැන සැඩ ඇතකු සිටී. සැඬ අයෙක් සැඬ බල්ලෙක් සිටී. අසවල් තැන උවදුරු සහිතය. එහි පිඬු පිණිස නො හැසිරෙනු යි අවවාද දෙයි. මෙහෙණගේ අවවාද අසා මෙහෙණියෝ එදෙසට ගෙල හරවා බැලීම් පමණකුදු නො කළෝය. අනුශාසිකා මෙහෙණ දිනක් එපෙදෙසෙහි පිඬු පිණිස හැසිරෙන්නී, එක් ගෙයකට වේගයෙන් පිවිසෙන කල්හි සැඬ බූරුවෙක් පහර දී කලවා ඇටය බින්දේය. මිනිස්සු වේගයෙන් අවුත් දෙකට කැඩුණු කලවා ඇටය එකට තබා බැඳ ඇඳක හොවා මෙහෙණවරට ගෙන ගියහ. අනෙක් භික්‍ෂුණීහු, මැය අනුන්ට අවවාද කොට එම පෙදෙසෙහි හැසිර තමා ම කලවා ඇටය බිඳගත්තී අපවාද කීහ. මෙසේ අනුශාසිකා භික්‍ෂුණිය කළ ක්‍රියාව කල් නො ගොස් භික්‍ෂූන් අතර ප්‍රකට විය.
දිනක් දම් සභාවෙහි රැස් වූ භික්‍ෂූහු ඇවැත්නි, අනුශාසිකා භික්‍ෂුණිය අනුන්ට අවවාද කොට තමා ම එම පෙදෙසේ හැසිර සැඬ බූරුවකුගෙන් පහර ලැබ කලවා ඇටය බිඳගත්තී ඇගේ අගුණ කථාව කීවාහුය. බුදු රජුන් දම් සභාවට වැඩ මහණෙනි, දැන් කවර කථාවෙකින් හුන්නාහුදැ යි අසා මේ කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, මේ මෙහෙණ අනුන්ට අනුශාසිකා වූයේ දැන් පමණක් නො වේ. පෙරත් එසේ ම වූවායැ යි වදාරා යමකු තමා දෙන අවවාදයෙහි නො පිහිටයි ද ඔහු නිරතුරු ව දුකට ම පත් වේයැ යි මේ අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු වනයක කුරුළු යෝනියෙහි ඉපිද වැඩිවියට පත්ව කුරුළු නායකයෙක් වී නොයෙක් සියගණන් කුරුල්ලන් පිරිවරා හිමවතට ගියහ. එහි වසන කළ එහි සිටි සැඬ කිරිල්ලක් මහමඟට අවුත් ගොදුරු ගන්නීය. ගැල්වලින් වැටුණු වී, මුං ආදි බීජ ලැබ එහි ආශා කොට අනෙක් කුරුල්ලන් එහි පැමිණීම වැළැක්විය යුතු යි සිතා ඔවුන්ට අවවාද දෙමින් කුරුල්ලන්ට මේ මහා මාර්ගය වනාහි බිය ජනකය. නපුරු ගොනුන් යෙදූ ගැල් නිතර පවතී. වහා අහසට නැඟීමට අපහසුය. එම නිසා එහි නො යා යුතුයි. කුරුල්ලෝ ඇයට අනුශාසිකා නම දුන්හ.
දිනක් ඇය මහමඟ හැසිරෙන්නී, මහමඟ වේගයෙන් පැමිණි යානයක හඬ අසා, රථය තවත් දුරයැ යි සිතා ඔබිමොබ හැසිරෙමින් සිටියාය. යානය ද වාත වේගයෙන් පැමිණියේය. කිරිල්ලට උඩ නැඟීමට නො හැකි විය. රිය සකට අසුවීමෙන් දෙපලු වූවාය. කුරුළු නායක කුරුල්ලන් ගණන් ගන්නා විට, අනුශාසිකා කිරිල්ල නැත. ඇය සොයමු යි කීවේය. සෙසු කුරුල්ලෝ ද සොයන කල්හි, ඇය දෙපළු වී සිටින බව කීහ. කුරුලු නායක, ඇය අනෙක් කුරුල්ලන්ගේ ගමන වළකා තමා එහි හැසිරෙන්නී, දෙකට සිඳී මරණයට පත්වූවාය යි කියා මේ ගාථාව කීය.
“යායඤ්ඤමනුසාසති සයං ලොලුප්පචාරිණී,
සායං විපක්‍ඛිකා සෙති හතා චක්කෙන සාළිකාති”
“ලොල්ව හැසිරෙන යම් කිරිල්ලක් අනුන්ට අවවාද කරන්නී ද, ඒ සැළලිහිණි කිරිල්ල රිය සකින් නැසී පියාපත් සිඳී මහමඟ හොත්තීය.”
එහි, “යායඤ්ඤමනුසාසති”, මෙහි ‘ය’ කාරය පද සන්ධි පිණිසයි. යම් කිරිල්ලක් අනුනට අනුශාසනා කරති යි, යන අර්ථයි. “සයං ලෝලුප්පචාරිණී”, තමා ලොල්ව හැසිරෙන්නී ම, “සායං විපක්‍ඛිකා සෙති”, ඕ පියාපත් ඇතිව මහමඟ වැතිර සිටී. “හතා චක්කෙන සාළිකාති”, රිය සකින් නැසුණු සැළලිහිණි කිරිල්ලියයි.
බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එදා අනුශාසික කිරිල්ල දැන් අනුශාසික භික්‍ෂුණිය වූවාය. කුරුලු රජ මම ම වීය.
6. දුබ්බච ජාතකය (116)
“අතිකරමකරාචරියාති” යන දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක් අකීකරු භික්‍ෂුවක් අරබයා වදාළහ. ඒ කථා පුවත නව වැනි නිපාතයෙහි ගිජ්ඣ ජාතකයෙහි ප්‍රකට වන්නේය. බුදුහු වනාහි ඒ භික්‍ෂුව අමතා, මහණ, නුඹ දැන් පමණක් අකීකරු වූයේ නොව, අපරත් අකීකරු වූයේය. අකීකරු කම නිසා ම නුවණ ඇත්තන්ගේ අවවාදය නො සලකන්නේ, අඩයටි පහරින් මරණයට පැමිණියේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.