4. මිතචින්තී ජාතකය (114)
“බහුචින්තී අප්පචින්තී චාති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, මහළු තෙරුන් දෙදෙනකුන් වහන්සේ අරබයා දෙසූහ. ඔවුහු වනාහි එක්තරා දනව්වක වනායතනයක වස් වැස බුදු රජුන් දැකීමට යන්නෙමු යි මාර්ගෝපකරණ පිළියෙල කොට අද යමු හෙට යමු යි මසක් ඉක්මවා නැවතත් මාර්ගෝපකරණ සකසා මාසයක් ද මේ අයුරින් නැවතත් මාසයක් ද වශයෙන් තමන්ගේ කුසීත බව නිසාත් සෙනසුන පිළිබඳ ආශාව නිසාත් තුන් මසක් ඉක්මවා එයින් නික්ම දෙව්රම් වෙහෙරට අවුත් තමන්ට ගැළපෙන තැනක පා සිවුරු තැන්පත් කොට බුදු රජුන් දුටහ. අනතුරු ව භික්ෂූහු ඔවුන්ගෙන් ඇවැත්නි, බුද්ධෝපස්ථානය සඳහා මෙපමණ කලක් අතපසු කළේ මන්දැ යි විචාළහ. ඔවුහු එකරුණ කීහ. මේ අයුරින් ඔවුන්ගේ කුසීත බව ප්රකට විය. දම් සභාවෙහි ද ඔවුන්ගේ කුසීත භාවය පිළිබඳ ව ම කථා මතු කළාහුය. බුදු රජුන් වැඩමවා මහණෙනි, මා එන්නට පළමු ව කවර කථාවකින් හුන්නාහුදැ යි විචාර මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, මොවුන් අලස වූවෝ, සෙනසුනෙහි ඇළුණෝ, දැන් පමණක් නොව, පෙර ද එසේ ම වූවෝ යි වදාරා අතීත කථාව දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කැරවන කල්හි බරණැස් ගඟෙහි මත්ස්යයෝ තිදෙනෙක් වූහ. බහුචින්තී, (වැඩියෙන් සිතන්නා) අප්පචින්ති, (අඩුවෙන් සිතන්නා) මිතචින්තී (පමණට සිතන්නා) උන්ගේ නම් විය. ඔවුහු වන පෙදෙසේ සිට මිනිස් පියසට ආහ. මෙයින් මිතචින්ති මත්ස්යයා අනෙක් දෙන්නාට, මේ මිනිස් පියස බිය ජනකය. සැක සහිතය. මසුන් මරන්නෝ විවිධ දැල් කෙමිණ දමා මසුන් අල්ලා ගනිත්. අපි වන පෙදෙසට ම යමු යි කීය. අනෙක් මසුන් දෙදෙනා අලස බැවින් හා ගොදුරු ලොල් බව නිසාත් අද යමු, හෙට යමු යි තුන් මසක් ඉක්මවූහ. දිනක් මසුන් මරන්නෝ දැල ගඟට දැමූහ. එවේලෙහි බහුචිත්තී, අප්පචිත්තී දෙදෙනා ගොදුරු සොයමින් ඉදිරියෙන් යති. එහෙත් දෙදෙනාගේ නො දැනීම නිසා දැලේ ඉව නො දැන දැල තුළට ගියහ. මිතචින්තී මත්ස්යයා පසුපසින් එන්නේ, දැල් ගඳ ඉව කොට අනෙක් දෙදෙනා දැලට පිවිසි බවත් දැන මේ කම්මැලි මෝඩ දෙදෙනාගේ ජීවිතය රැක දෙමි යි සිතා පිටුපසින් දැල් කුසට ගොස් දැල් කුස පලා නික්මුණාක් මෙන් හගවා දිය කළඹා නැවත දැල ඉදිරියට පැන දැල කුසට ගොස් පසු භාගය පලා නික්මී ගියාක් මෙන් හඟවා දිය කළඹා පසු භාගයට වැටුණේය. එවිට කෙවුලෝ මසුන් දැල පලා ගියෝ යි සිතා දැල් කෙළවරින් ගෙන එසවූහ. එවිට ඒ මසුන් දෙදෙනා ම දැලින් මිදී දියෙහි වැටුණහ. මේ අනුව මිතචින්තී නිසා දෙදෙනාගේ ජීවිත රැකුණි.
බුදු රජහු මේ ඉකුත් වත ගෙනහැර දක්වා මේ ගාථාව වදාළහ.
“බහුචින්තී අප්පචින්තී ච උභො ජාලෙ අබජ්ඣරෙ,
මිතචින්තී අමොචෙසි උභො තත්ථ සමාගතාති”
මිතචින්තී අමොචෙසි උභො තත්ථ සමාගතාති”
“මිතචින්ති, අප්පචින්ති මසුන් දෙදෙනා ම දැලෙහි බැඳුණහ. මිතචින්තී මත්ස්යයා ඔවුන් දැලේ මිදවීය. ඔවුන් දෙදෙනා ද මිතචින්ති සමග එක් වූවෝය.”
එහි, “බහුචින්තී”, බොහෝ කොට සිතන බැවින් ද සැක බහුල බැවින් ද ලබන ලද නමයි. අනෙක් දෙපදයෙහි ද මේ ක්රමයමැ යි. “උභොතත්ථ සමගතා”, මිතචින්ති නිසා යලි පණ ලැබුවා වූ ඒ දෙදෙන නැවත දියෙහි ද මිතචින්ති සමග එක්වූහ, යන අර්ථයි.
මෙසේ බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් ප්රකාශ කළහ. ඒ මහළු භික්ෂූහු ද සෝවාන් ඵලයෙහි පිහිටියහ. එදින බහුචින්ති, අප්පචින්ති මසුන් දෙදෙන මේ භික්ෂූ දෙන ම වූහ. මිතචින්තී මත්ස්යයා වනාහි මම ම වීමි.
5. අනුශාසික ජාතකය (115)
“යායඤ්ඤමනුසාසති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එක්තරා අනුශාසනා කරන මෙහෙණක් අරබයා දෙසූහ. එතුමිය සැවැත් නුවර වැසි එක් කුල දුවක් වූවාය. පැවිදි ව උපසපන් කාලයෙහි පටන් මහණකමෙහි නො යෙදුනී, ආමිෂයෙහි ගිජු වී අන් මෙහෙණක වූ යම් පෙදෙසකට නො යයි ද එවැනි නගරයෙහි එක් පෙදෙසක පිඬු පිණිස හැසිරෙයි. මිනිස්සු ද ප්රණීත පිණ්ඩපාත දෙති. රස තෘෂ්ණාවෙන් බැඳී ඉදින්, මේ පෙදෙසෙහි අන් මෙහෙණහු පිඬු පිණිස හැසිරෙද් ද, එවිට මගේ ලාභ පිරිහෙන්නේය. යම් අයුරකින් මෙපෙදෙසට අන් මෙහෙණියෝ නො එන්නෝ ද, එසේ කළ යුතු යි සිතා ආර්යාවනි, අසවල් තැන සැඩ ඇතකු සිටී. සැඬ අයෙක් සැඬ බල්ලෙක් සිටී. අසවල් තැන උවදුරු සහිතය. එහි පිඬු පිණිස නො හැසිරෙනු යි අවවාද දෙයි. මෙහෙණගේ අවවාද අසා මෙහෙණියෝ එදෙසට ගෙල හරවා බැලීම් පමණකුදු නො කළෝය. අනුශාසිකා මෙහෙණ දිනක් එපෙදෙසෙහි පිඬු පිණිස හැසිරෙන්නී, එක් ගෙයකට වේගයෙන් පිවිසෙන කල්හි සැඬ බූරුවෙක් පහර දී කලවා ඇටය බින්දේය. මිනිස්සු වේගයෙන් අවුත් දෙකට කැඩුණු කලවා ඇටය එකට තබා බැඳ ඇඳක හොවා මෙහෙණවරට ගෙන ගියහ. අනෙක් භික්ෂුණීහු, මැය අනුන්ට අවවාද කොට එම පෙදෙසෙහි හැසිර තමා ම කලවා ඇටය බිඳගත්තී අපවාද කීහ. මෙසේ අනුශාසිකා භික්ෂුණිය කළ ක්රියාව කල් නො ගොස් භික්ෂූන් අතර ප්රකට විය.
දිනක් දම් සභාවෙහි රැස් වූ භික්ෂූහු ඇවැත්නි, අනුශාසිකා භික්ෂුණිය අනුන්ට අවවාද කොට තමා ම එම පෙදෙසේ හැසිර සැඬ බූරුවකුගෙන් පහර ලැබ කලවා ඇටය බිඳගත්තී ඇගේ අගුණ කථාව කීවාහුය. බුදු රජුන් දම් සභාවට වැඩ මහණෙනි, දැන් කවර කථාවෙකින් හුන්නාහුදැ යි අසා මේ කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, මේ මෙහෙණ අනුන්ට අනුශාසිකා වූයේ දැන් පමණක් නො වේ. පෙරත් එසේ ම වූවායැ යි වදාරා යමකු තමා දෙන අවවාදයෙහි නො පිහිටයි ද ඔහු නිරතුරු ව දුකට ම පත් වේයැ යි මේ අතීත කථාව ගෙනහැර දැක්වූහ.