8. බාහිය ජාතකය (108)
“සික්‍ඛෙය්‍ය සික්‍ඛිතබ්බානීති” යන මේ ජාතක දේශනාව බුදුහු විශාලාව ඇසුරු කොට මහා වනයෙහි කූටාගාර ශාලාවක වසන සේක්, ලිච්ඡවි කුමරකු අරබයා වදාළහ. ඒ ලිච්ඡවි රජ බුදු සසුනෙහි පහන් සිත් ඇත්තේ, බුදුපාමොක් මහා සඟනට ආරාධනා කොට නිවසෙහි මහදන් පැවැත්වීය. ඔහුගේ බිරිය වනාහි ස්ථුල අගපසඟ ඇත්තීය. ඉදිමී ගිය මළ මිනියක ස්වරූපය ඇත්තී, ආචාරශීලී නො වූවාය. බුදු රජහු බත් කිස අවසානයෙහි අනුමෙවෙන් බණ දේශනා කොට විහාරයට වැඩමවා භික්‍ෂූන්ට අවවාද දී ගඳකිළියට වැඩියහ. දම් සභාවෙහි රැස්වූ භික්‍ෂූහු, ඇවැත්නි, එවැනි රූසපුවෙන් හෙබි ලිච්ඡවි රජුගේ බිරිය ස්ථුල අගපසඟ ඇත්තීය. නො මනා පැවතුම් ඇත්තීය. ඒ රජු කෙසේ නම් ඇයට සිත් අලවා වසන්නේ ද? දම් සභාවට වැඩි බුදු රජහු මහණෙනි, මෙතැන කිනම් කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නාහුයැ කී කල්හි, මහණෙනි, මේ රජ දැන් පමණක් නොව පෙරත් ඉමහත් සිරුරැති ස්ත්‍රියක සමග සිත් අලවා විසීයැ යි වදාරා ඔවුන් විසින් අයදනා ලද බුදු රජහු ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු ඒ රජුගේ ඇමැති වූහ. ඉක්බිති, දනව් වැසි මහත් සිරුරු ඇති, මනාව නො පිහිටි අගපසඟ ඇති ස්ත්‍රියක් කුලීවැඩ කැරෙමින් රජ මිදුල අබියසින් යන්නී, සිරුරු කිස කිරීමේ අවශ්‍යතාවයෙන් පීඩාවට පත්වූවා, හැඳිවතින් සිරුර පිළිසන් කොට හිඳ සිරුරු කිස කොට වහා නැඟී සිටියාය. එකෙණෙහි බරණැස් රජු වා කවුළුවෙන් රාජාංගනය දෙස බලන්නේ, ඇය දැක මෙසේ සිතීය. මෙවැනි එළිමහන් භූමියක සිරුර කිස කරන මේ ස්ත්‍රිය හිරිඔතප් රැකෙන සේ හැඳිවතින් ආවරණය වී සිරුරු මළ පහකොට වහා ම නැඟී සිටියාය. එම නිසා මැය නිරෝගී විය යුතුය. මැගේ ගර්භාෂය ද නිදොස් සමනයෙන් නිර්මල විය යුතුය. එවැනි කුසක පුතකු උපදින විට ඔහු ද නිරෝගී පින්වත් පුතකු වන්නේය. මවිසින් මැය අග මෙහෙසිය කළයුතු වන්නේය. ඉක්බිති, රජු ඇය අස්වාමික බව දැන රජ අණින් ඇය ගෙන්වා අග මෙහෙසිය කළේය. ඕ රජුට ප්‍රිය මනාප වූවාය. නොබෝ කලකින් ම ඕ පුතකු ප්‍රසූත කළාය. ඒ පුත්‍රයා ද සක්විති රජෙක් වූයේය.
බෝසත්හු ඇගේ ඒ මහත් සම්පත් දැක කථා කිරීමට සුදුසු අවස්ථාවක් බලා දේවයිනි, කුඩා වුව ද හික්මිය යුතු කාර්යයෙහි හික්මිය යුතුය. කෙසේ ද යත්, මහා පිනැති එතුමිය හිරිඔතප් රැකෙන සේ ආවරණය වී ශරීර මළ බැහැර කිරීම කරන්නී, ඔබගේ සිත් ගෙන මෙබඳු මහත් සැපතක් ලැබුවාය යි කියා සංවර භාවයෙහි ගුණ ප්‍රකාශ කරන්නාහු, මේ ගාථාව කීහ.
“සික්‍ඛෙය්‍ය සික්‍ඛිතබ්බානි සන්ති සච්ඡන්‍දිනො ජනා,
බාහියාපි සුහන්නෙන රාජානමභිරාධයීති”
“හික්මිය යුතු ශිල්පයන් හික්මෙන්නේය. ඒ ශිල්පයන්හි කැමැති ජනයෝ ඇත්තාහ. ජනපද වැසියක වූ ඒ ස්ත්‍රිය සංවරව කළ පුරීක්‍ෂයන් සර්ගය නිසා රජුගේ සිත් ගත්තීය.”
එහි, “සන්ති සච්ඡන්‍දිනො”, ඒ ඒ ශිල්පයන්හි කැමැති ජනයෝ ඇත්තාහ. “බාහියා”, (නගරයෙන්) පිට දනව්වක ඉපදී වැඩුණු ස්ත්‍රිය, “සුභන්නන”, හිරිඔතප් අත් නො හැර පිළිසන් ආකාරයෙන් සිරුරු මළ බැහැර කිරීම “සුහන්න” නමි. “රාජානමභිරාධයී”, රජුගේ සිත් ගෙන මේ සැපත ලැබුවාය. මේ අයුරින් බෝසත්හු හික්මිය යුතු ශිල්පයන්ගේ ගුණ ප්‍රකාශ කළහ.
බුදුහු මේ ජාතකය ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදින අඹුසැමි යුවල මෙදින අඹුසැමි යුවළ මැයි. පණ්ඩිත ඇමැතියෝ මම ම වීමි.
9. කුණ්ඩකපූව ජාතකය (109)
“යථන්නො පුරිසො හොති”, යන මේ ජාතක දේශනාව බුදු රජහු සැවැත් නුවර දෙව්රම් වෙහෙර වසන සේක්, මඟ දුගියකු අරබයා දෙසූහ. සැවැත් නුවර සමහර දිනවල එක ම කුලයක් බුදුපාමොක් මහසඟනට දන් දෙති. තවත් දිනවල තුන් හතර දෙන එකතුව ද සමූහ වශයෙන් ද වීථි වශයෙන් ද මුළු නගරයෙහි කැමැත්ත ගෙන ද දන් දෙත්. එදින වීථි වශයෙන් පිරිනැමෙන දානයකි. එහි දී මිනිස්සු බුදුන් ප්‍රමුඛ සංඝයාට කැඳ පිළිගන්වා කැවිලි ගෙන එවු යි කීවාහ. එකල්හි එම වීථියෙහි වෙසෙන අනුන්ට බැල මෙහෙවර කොට ජීවත් වන දුගී මිනිසෙක් මෙසේ සිතීය. මට කැඳ දෙන්ට නො හැකිය. කැවිලි දෙමි යි සියුම් සහල් කුඩු දියෙන් තෙමා වටකොට වරා කොළයෙහි ඔතා උණු අළුයෙහි පිස මේ බුදු රජුන්ට පුදමි යි එය රැගෙන බුදු රජුන් ඉදිරියෙහි සිට කැවිලි ගෙන එව යි කී මොහොතෙහි ම සියල්ලන්ට ම පෙරටු ව ගොස් බුදු රජුන්ගේ පාත්‍රයෙහි ම තැබීය. බුදුහු අන් අය විසින් දෙන ලද කැවිලි නො පිළිගෙන එම කැවුම් වැළඳූහ.
එකෙණෙහි ම සම්මා සම්බුදුහු මඟ දුගියාගේ කුඩු කැවිලි පිළිකුල් නො කොට වැළඳූහැ යි මුළු නගරය ම එක ම කෝලාහලයක් බවට පත්විය. රාජ රාජමහා මාත්‍යයෝ ද අන් පිරිසෙන් දොරටුපාලයන් දක්වා සියල්ලෝ ම බුදුරදුන් වැඳ මඟ දුගියා වෙත එළැඹ අහෝ පින්වත, සියයක් ගෙන දෙසියක් ගෙන පන්සියයක් ගෙන අපට පින් දෙව යි කීවාහුය. මඟ දුගියා ද බුදු රජුන්ගෙන් විමසා දැනගන්නෙමි යි බුදු රජුන්ට මෙකරුණ සැල කළේය. එවිට බුදුහු ධනය ගෙන හෝ නො ගෙන සියලු සත්ත්වයන්ට පින් දෙව යි වදාළහ. ඔහු ධනය ගන්ට ඇරඹීය. මිනිස්සු දෙගුණ, සිව්ගුණ, අටගුණ ආදී වශයෙන් දුන්නා වූ ධනය රන් නව කෙළක් විය. ඉක්බිති, බුදුහු අනුමෙවෙන් බණ දෙසා විහාරයට වැඩ භික්‍ෂූන් විසින් වත් දක්වනු ලැබූ කල්හි බුද්ධාවවාදය කොට ගඳකිළියට වැඩියහ. රජ සවස් භාගයෙහි මඟ දුගියා කැඳවා සිටු තනතුරෙන් පිදීය.