11. පරොසත වර්‍ගය
1. පරෝසත ජාතකය (101)
“පරොසතඤ්චෙපි සමාගතානං, ඣායෙය්‍යුං තෙ වස්සසතං අපඤ්ඤා,
එකොව සෙය්‍යො පුරිසෝ සපඤ්ඤො, යො භාසිතස්ස විජානාති අත්‍ථන්ති”
“රැස්වූවන් අතර සියයකට අධික වූ ද නුවණ නැති ඔවුන් අවුරුදු සියයක් පරීක්‍ෂා කොට බලමින් සිටිය ද උතුම් නො වේ. යමෙක් ප්‍රකාශිත වචනයේ අර්ථය දනී ද ඒ නැණවත් එක ම පුරුෂයා උතුම් වේ.”
මේ ජාතක කථාවෙහි කථා පුවත වශයෙන් ද විස්තර කථාව අනුව ද නිමා කිරීම අනුව ද පරෝසහස්ස ජාතකය හා සමාන වේ. මෙහි ඣායෙය්‍යු යි පදය පමණක් වෙනස් වේ. එහි අර්ථය නම් වස් සියයක් නුවණ නැති ව බලා සිටී. අවධානය යොමු කොට සිටී. මෙසේ සිටිය ද අර්ථය හෝ හේතුව නො දකිත්. එම නිසා යමෙක් අර්ථය දනී ද ඔහු ම නැණවතා වෙත්. ශ්‍රේෂ්ඨයා වෙත්.
2. පණ්ණික ජාතකය (102)
“යො දුක්‍ඛඵුට්ඨාය භවෙය්‍ය තාණන්ති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, පළා වෙළඳාම් කරන උපාසකයකු අරබයා දෙසූහ. සැවැත්නුවර වැසි ඒ උපාසකයා විවිධ මුල්, කොළ වර්ග ද ලබු, කොමඩු ආදිය ද විකුණා ජීවිකාව කළේය. ඔහුට පැහැපත්, රූමත්, ආචාර ශීලයෙන් යුත්, ලජ්ජා බය ඇති දුවක් වූවාය. ඕ නිරතුරු සිනහ මුහුණින් යුතු වූවාය. මැයට සම කුලයන්හි විවාහය සඳහා කැඳවීමක් පැමිණි කල්හි උපාසකයා මෙසේ සිතීය. මැයට විවාහ කැඳවීමක් ඇත. මැය නිතර ම සිනා මුහුණින් සිටින්නීය. කුමරියකට කුමරියක් නැති කල්හි වෙනත් කුලයකට ගිය කල්හි මව්පියන්ට නින්දා වන්නේය. ඇයට කුමාරි ධර්ම ඇත්ද නැද්දැ යි විමසමි යි දියණිය ලවා පැස ගෙන්වා ගෙන පළා නෙලනු සඳහා වනයට ගොස් විමසීම් වශයෙන් කාමයෙන් ආකූල වූවකු මෙන් රහස්‍යය කථා කියමින් ඇය අතින් ගති. එකෙණෙහි ඕ අඬමින් වැළපෙමින් පියාණෙනි, මේ නුසුදුසුය. දියෙහි ගිනි දැල් මතුවූවාක් වැනිය. මෙවන් දෙයක් නොකරනු මැනවැ යි කීවාය. දියණිය, මා ඔබ විමසනු සදහා මෙසේ අතින් ගතිමි. දැන් මට කියනු ඇත්ත වශයෙන් ම ඔබට කුමාරිකා ධර්ම තිබේ ද? එසේය, පියාණෙනි. මවිසින් රාගිත සිතින් කිසියම් පුරුෂයකු නො බලන ලද්දාය. ඉක්බිති, උපාසකයා දියණිය අස්වසා ගෙට ගොස් විවාහ මංගල්‍යය සිදුකොට ඇය හිමියන් සමග යවා බුදුරජුන් මල්, තෙල්, ගඳමල් අතැති ව දෙවුරට ම ගොස් බුදු රජුන් වැඳපුදා එකත් පසෙක සිටි කල්හි, බොහෝ කලකින් පැමිණියේ නො වේදැ යි බුදුහු වදාළහ. උපාසකයා ඒ සියලු පුවත් සැල කළේය. බුදු රජහු, උපාසකය, කුමරිය බොහෝ කලක පටන් ආචාර ශීල ඇත්තීය. ඔබ ඇය විමසනුයේ දැන් පමණක් නො වේ. පෙරත් විමසුවේ ම වීයැ යි වදාරා ඔහු විසින් අයදින ලද බුදුහු ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසත්හු වනයක රුක් දෙවියෙක් වී උපන්හ. එකල්හි බරණැස් නුවර පලා වෙළෙන්දෙක් විය. මෙහි සියලු කථාව වර්තමාන කථාව හා සමානයි. එදවස පියා විසින් දියණියගේ අත ගත් කල්හි ඈ වැළපෙමින් මේ ගාථාව කීවාය.
“යො දුක්‍ඛඵුට්ඨාය භවෙය්‍ය තාණං, සො මෙ පිතා දුහි වනෙ කරෝති,
සා කස්ස කන්‍දාමි වනස්ස මජ්ඣෙ, යො තායිතා සො සහසා කරොතීති”
“යමෙක් දුකට පත් මා හට පිහිට වන්නේ ද ඒ මගේ පියා වනයෙහි දී සතුරු කම් කරයි. වන මැද ඒ මම කවරකුගේ පිහිට පතා හඬම් ද යමෙක් මගේ ආරක්‍ෂකයා වෙයි ද ඔහු ම සැහැසිකම් කරයි.”
එහි, “යො දුක්‍ඛඵුට්ඨාය භවෙය්‍ය තාණං”, කායික හෝ මානසික වශයෙන් දුකකින් පීඩාවට පත් කල්හි යමෙක් ආරක්‍ෂක වෙයි ද පිහිට වන්නා වෙයි ද “සො මෙ පිතා දූහී වනෙ කරෝති”, ඒ මගේ දුකෙහි දී ආරක්‍ෂකයා වූ පියා ම මෙතැන දී මෙවැනි මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් කරයි. තමා නිසා උපන් දියණියට සිරිත් ඉක්මවීමක් කිරීමට සිතයි. “සා කස්ස කන්‍දාමි”, මම කවරකුට හඬා කියම් ද? කවරෙක් මට පිහිට වන්නේදැ යි දක්වයි. “යො තායිතා සො සහසා කරොතීති”, යමෙක් මගේ ආරක්‍ෂකයා - පිහිටවන්නා වීමට සුදුසු ද ඒ පියා ම සැහැසි කම් කරයි යන අර්ථයි.
ඉක්බිති, පියා ඇය සනසා දියණිය ඔබ රැකුණු තැනැත්තියක් වේවාදැ යි විචාළේය. එසේය, පියාණෙනි, මගේ ආත්මය රැකුණේය. පියා දියනිය ගෙට ගෙන ගොස් මංගල විධි පවත්වා හිමියකුට සරණපාවා දුන්නේය.
බුදුහු මේ ජාතකය වදාරා සිව්සස් දැක්වූහ. උපාසකයා සෝවාන් විය.
එකල්හි පියා දැන් පියා ම විය. දියණිය දැන් දියණිය ම වූවාය. මේ කාරණය සියසින් දුටු රුක් දෙවියා මම ම වීමි.
3. වේරි ජාතකය (103)
“යත්‍ථ වෙරී නිවසති” යන මේ ජාතකය බුදු රජහු දෙවුරම් වෙහෙර වෙසෙන සේක්, අනේපිඬු මහසිටු අරබයා දෙසූහ. අනේපිඬු මහසිටු දිනක් තම භුක්ති ඇති ගමකට ගොස් ආපසු එන්නේ, අතරමග සොරුන් දැක අතරමග වසන්ට නුසුදුසුය. සැවැත් නුවරට ම යන්නෙමි යි ගොනුන් වේගයෙන් මෙහෙයවා සැවැත් නුවරට ම අවුත් දෙවැනි දවස් වෙහෙරට ගියේ, බුදුන්ට එම කරුණ සැල කළේය. බුදුහු, ගෘහපතිය, පෙර ද පඬිවරු අතරමඟ සොරුන් දැක අතර නො රැඳී තමන් වසන ස්ථානයට පැමිණියහැ යි වදාරා ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු මහත් සම්පත් ඇති සිටුවරයකු ව එක් කුඩා ගමකට ආරාධිත භෝජන අනුභවය සඳහා යන්නේ, අතරමඟ සොරුන් දැක අතරමඟ නො සිට වේගයෙන් ගොනුන් මෙහෙයවන්නේ තම ගෙදරට ම අවුත් නොයෙක් රසවත් අහර අනුභව කොට සිරියහනෙහි වැතිරී සිටියේ, සොරුන්ගේ අතින් මිදී නිර්භය ස්ථානය ම වූ තම ගෙදරට ම පැමිණියේ වෙමි යි ප්‍රීතිය ප්‍රකාශ කිරීම් වශයෙන් මේ ගාථාව කීය.