9. කුණ්ඩකපූව ජාතකය (109)
“යථන්නො පුරිසො හොති”, යන මේ ජාතක දේශනාව බුදු රජහු සැවැත් නුවර දෙව්රම් වෙහෙර වසන සේක්, මඟ දුගියකු අරබයා දෙසූහ. සැවැත් නුවර සමහර දිනවල එක ම කුලයක් බුදුපාමොක් මහසඟනට දන් දෙති. තවත් දිනවල තුන් හතර දෙන එකතුව ද සමූහ වශයෙන් ද වීථි වශයෙන් ද මුළු නගරයෙහි කැමැත්ත ගෙන ද දන් දෙත්. එදින වීථි වශයෙන් පිරිනැමෙන දානයකි. එහි දී මිනිස්සු බුදුන් ප්‍රමුඛ සංඝයාට කැඳ පිළිගන්වා කැවිලි ගෙන එවු යි කීවාහ. එකල්හි එම වීථියෙහි වෙසෙන අනුන්ට බැල මෙහෙවර කොට ජීවත් වන දුගී මිනිසෙක් මෙසේ සිතීය. මට කැඳ දෙන්ට නො හැකිය. කැවිලි දෙමි යි සියුම් සහල් කුඩු දියෙන් තෙමා වටකොට වරා කොළයෙහි ඔතා උණු අළුයෙහි පිස මේ බුදු රජුන්ට පුදමි යි එය රැගෙන බුදු රජුන් ඉදිරියෙහි සිට කැවිලි ගෙන එව යි කී මොහොතෙහි ම සියල්ලන්ට ම පෙරටු ව ගොස් බුදු රජුන්ගේ පාත්‍රයෙහි ම තැබීය. බුදුහු අන් අය විසින් දෙන ලද කැවිලි නො පිළිගෙන එම කැවුම් වැළඳූහ.
එකෙණෙහි ම සම්මා සම්බුදුහු මඟ දුගියාගේ කුඩු කැවිලි පිළිකුල් නො කොට වැළඳූහැ යි මුළු නගරය ම එක ම කෝලාහලයක් බවට පත්විය. රාජ රාජමහා මාත්‍යයෝ ද අන් පිරිසෙන් දොරටුපාලයන් දක්වා සියල්ලෝ ම බුදුරදුන් වැඳ මඟ දුගියා වෙත එළැඹ අහෝ පින්වත, සියයක් ගෙන දෙසියක් ගෙන පන්සියයක් ගෙන අපට පින් දෙව යි කීවාහුය. මඟ දුගියා ද බුදු රජුන්ගෙන් විමසා දැනගන්නෙමි යි බුදු රජුන්ට මෙකරුණ සැල කළේය. එවිට බුදුහු ධනය ගෙන හෝ නො ගෙන සියලු සත්ත්වයන්ට පින් දෙව යි වදාළහ. ඔහු ධනය ගන්ට ඇරඹීය. මිනිස්සු දෙගුණ, සිව්ගුණ, අටගුණ ආදී වශයෙන් දුන්නා වූ ධනය රන් නව කෙළක් විය. ඉක්බිති, බුදුහු අනුමෙවෙන් බණ දෙසා විහාරයට වැඩ භික්‍ෂූන් විසින් වත් දක්වනු ලැබූ කල්හි බුද්ධාවවාදය කොට ගඳකිළියට වැඩියහ. රජ සවස් භාගයෙහි මඟ දුගියා කැඳවා සිටු තනතුරෙන් පිදීය.
භික්‍ෂූහු දම් සභාවෙහි දී මේ කථාව උපදවා ඇවැත්නි, බුදුහු මඟ දුගියා විසින් පිරිනමන ලද කුඩු කැවුම පිළිකුල් නො කොට අමාවක් මෙන් වැළඳූහ. මඟ දුගියා ද බොහෝ ධනය ද සිටු තනතුර ද ලැබ මහත් සැපතකට පැමිණියේය. බුදුහු දම් සභාවට වැඩ මහණෙනි, දැන් කිනම් කථාවකින් හුන්නාහුදැ යි විචාළහ. මෙනම් කථාවකිනැ යි කී කල්හි මහණෙනි, මා විසින් මොහු පිදූ කුඩු කැවුම් වළඳන ලදුයේ දැන් පමණක් නො වේ. පෙර රුක් දේවතාවකු ව සිටිය දී ද වළඳන ලද්දේයැ යි ද එදා ද මොහු සිටු තනතුර ලැබුවේයැ යි ද වදාරා ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු එරඬු ගසක රුක් දෙවියෙක් වී උපන්හ. එකල්හි එගම මිනිස්සු දෙවියන් අදහන්නෝ වෙත්. ඉක්බිති, එක් උත්සවයක් පැමිණි කල්හි මිනිස්සු තමතමන්ගේ රුක් දෙවියන්ට බලිපූජා කළහ. එකල්හි එක්තරා දුගී මිනිසෙක් අනෙක් මිනිසුන් තමතමන්ගේ දෙවියන්ට උපහාර දක්වනු දැක ඔහු ද එරඬු ගසකට උපහාර දැක්වීය. මිනිස්සු තම තමන්ගේ දෙවියන් සඳහා විවිධ මල්, සුවඳ විලවුන්, ආහාරපාන ගෙන ගියහ. දුගී මිනිසා කුඩු කැවුමක් ද සරථ මෙන් දිය ද ගෙන එරඬු ගස අබියස සිට මෙසේ සිතී. දෙවියෝ වනාහි දිව්‍ය ආහාරපාන බුදිත්. මගේ දෙවියා ද කුඩු කැවුම් නො බුදියි. මෙය නිකරුණේ විනාශ වීමෙන් ඇති ඵලය කිම? මම ම එය කමි යි එතැනින් ම නැවැත්තේය. එකෙණෙහි බෝසත්හු රුක් දෙබලක සිට පින්වත, ඉදින්, ඔබ පොහොසත් නම් මට මිහිරි කැවිලි දෙන්නෙහිය. ඔබ වනාහි දුගියෙකි. මම ඔබගේ කැවුම් නො පිළිගෙන වෙන කිනම් දෙයක් බුදින්නෙමි ද? මට වෙන් වූ කොටස නො නසන්නැ යි කියා මේ ගාථාව කීහ.
“යථන්නො පුරිසො හොති තථන්නා තස්ස දෙවතා,
අහරෙතං කණං පූවං මා මෙ භාගං විනාසායාති”
“පුරුෂයා යම්බඳු ආහාරයක් ඇත්තේ වේ ද, ඔහුගේ දෙවියා ද එබඳු ආහාර ඇත්තකු වේ. මේ කුඩු කැවුම ගෙන එව. මගේ කොටස නො නසත්වා.”
එහි, “යථන්නො” යම්බඳු භෝජනයක් ඇත්තේ වේ ද, “තථන්නො” ඒ පුරුෂයාගේ දෙවියා ද එබඳු භෝජන ඇත්තකු ම වේ. “ආහරෙතං කණං පූවං”, මේ (සහල්) කුඩුවලින් පිසූ කැවුම ගෙන එව. මගේ කොටස නො නසව.
ඒ දුගී මිනිසා නැවතී බෝසතුන් දැක බලි පූජාව කළේය. බෝසත්හු ද එහි රසය වළඳා පින්වත පුරුෂය, කුමක් නිසා මට උපහාර දක්වන්නේහිදැ යි විචාළේය. දේවයිනි, මම දුගියෙක් වෙමි. ඔබ පිහිටෙන් දුගී බවෙන් මිදීම සඳහා උපහාර දක්වමි යි කීය. පින්වත් පුරුෂය, ඔබ නො තැවෙනු. ඔබ විසින් පූජා කරනු ලැබුවේ හොඳින් කෙළෙහි ගුණ දන්නා දෙවියකුට ය. මේ එරඬු ගස වටකොට මුවපිටින් මුවවිට හැපෙන සේ නිදන් සැළි ඇත. ඔබ රජුට දන්වා ගැලින් ඒ ධනය ගෙනගොස් රජ මිදුලෙහි එක්රැස් කැරව. රජු ඔබට සතුටු ව සිටු තනතුර දෙන්නේය කියා බෝසත්හු අතුරුදන් වූය. දුගී මිනිසා ද දෙවියා කී ලෙස කළේය. රජ ද ඔහුට සිටු තනතුර දුන්නේය. මෙසේ දුගී මිනිසා බෝසතුන් නිසා මහත් සම්පතට පැමිණ කම් වූ පරිදි ගියේය.