7. සාලිත්තක ජාතකය (107)
“සාධු ඛො සිප්පකං නාමති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, හංසයකුට පහරදුන් භික්ෂුවක් අරබයා දේශනා කළහ. එක්තරා සැවැත් නුවර එක්තරා වැසියෙක් සාලිත්ත ශිල්පයෙහි කෙළවරට පැමිණ සිටියේය. සාලිත්ත ශිල්පය නම් ගල් කැට විදීමේ ශිල්පයයැ යි කියනු ලැබේ. හෙතෙම එක් දවසක් දහම් අසා බුදු සසුනෙහි පැවිදි ව උපසම්පදාව ලැබීය. ඔහු ශික්ෂාකාමී නො වීය. පිළිවෙතින් ද සරු වූවෙක් නො වූයේය. දිනක් ඔහු ළදරු භික්ෂුවක් සමග අචිරවතී නදියට ගොස් නා ගං ඉවුරෙහි සිටියේය. එවේලෙහි සුදු හංසයෝ දෙදෙනෙක් අහසින් යමින් සිටියහ. එවිට ඔහු ළදරු භික්ෂුව අමතා මම මේ පසු ව යන හංසයා කැටකින් ඇසට පහර දී පාමුල හෙළමි. ඔබට එය කළ නො හැකියි. හංසයාගේ මෙපස ඇස තිබේවා. එපිට ඇසට ගසා හෙළමි. ඔබට නො හැකි දෙයක් කියන්නෙහිය. එසේ නම් බලා සිටිනු. එක් තුන්හුලස් කැටයක් ගෙන ඇඟිල්ලෙහි පටලවා හංසයාගේ පසුපසට විද්දේය. කැටය රූං ශබ්දය නඟිමින් අහසට නැඟිණි. හංසයා උවදුරක් විය යුතුයැ යි නැවතී හඬ අසන්නේ, එවිට කැටය ඇස විදගෙන ගියේය. එවිට ම හංසයා විලාප නඟමින් පාමුල වැටුණේය. එවිට භික්ෂූන් රැස්ව ඔහු ගර්හා කොට නුසුදුසු ක්‍රියාවක් කළේයැ යි බුදු රජුන් වෙත ගෙන ගොස් මෙකරුණ සැලකළහ. බුදු රජහු ඔහුගේ ක්‍රියාව හෙළා දකිමින් මහණෙනි, මේ භික්ෂුව මේ ශිල්පයෙහි දක්ෂ වනුයේ දැන් පමණක් නො වේ. පෙරත් දක්ෂ වූයේමැ යි වදාරා ඉකුත් වත දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු ඒ රජුගේ ඇමැතියෙක් වූහ. එකල රජුගේ පුරෝහිත බමුණා වාචාලයකු විය. බොහෝ කථා කරන්නේය. පුරෝහිත කථා කරන කල අනිකකුට ඉඩ නො ලැබේ. කවදා මොහුගේ වචන පැවැත්මක් වන්නේදැ යි සිතමින් සිටියේය. එකල එක කොර මිනිසකු කැට විදීමේ ශිල්පයෙහි කෙළ පැමිණියකු විය. ගම් දරුවෝ ඔහු රියක නංවා ඇදගෙන බරණැස් නුවර දොර අබියස වූ අතු විහිදුණ නුග රුක මුලට ගෙනගොස් ඔහු පිරිවරාගෙන පනම්, කහවනු ආදිය දී ඇත් රුවක් දක්වව්, අස් රුවක් දක්වව් කියත්. කොරු ද කැට විද නුග පත්වල විවිධ රූ සටහන් දක්වයි. මේ අයුරින් සියලු නුග කොළ සිදුරු විය.
දිනක් බරණැස් රජු උයනට යන්නේ, එතැනට පැමිණියේය. සියලු ගම් දරුවෝ හඹා පියතැ යි යන බයින් බැහැර වූහ. කොරු එතැන ම වැතිරී සිටියේය. රජු නුග මුලට පැමිණ රියෙහි සිටියේ ම නුග පත් සිදුරුවීම නිසා වැටෙන සෙවණැල්ල ද සිදුරු වී තිබෙනු දැක උඩ බලනුයේ සියලු පත් සිදුරු වී තිබෙනු දැක මේ කරන ලද්දේ කවුරුන් විසින්දැ යි විචාළේය. දේවයිනි, කොරා විසින් විය යුතු යි අවට සිටියෝ කීහ. එවිට රජ මොහු උපයෝගී කොටගෙන පුරෝහිත බමුණාගේ වාචාල බව සිඳලන්ට හැකි වන්නේයැ යි සිතා කොරා කොහිදැ යි විමසීය. ගස මුල වැතිරී සිටි ඔහු දැක දේවයිනි, ඔහු මෙහි සිටී යි කීහ. රජු ඔහු ගෙන්වා පිරිස බැහැර කොට අප ළඟ එක් වාචාල බමුණකු සිටී. ඔහු නිහඬ කරන්ට හැකිදැ යි, කොරාගෙන් ඇසීය. දේවයිනි, නැළියක් පමණ එළු බෙටි ලැබෙන්නේ නම් හැකිවෙමි යි කීවේය. රජු කොරා රජ මැදුරට ගෙන ගොස් තිරයකින් පිටුපස හිඳුවා තිරයෙහි සිදුරක් කොට පුරෝහිත බමුණාට සිදුර එල්ලකොට අසුනක් පනවා නැළියක් පමණ වියළි එළු බෙටි කොරු ළඟ තබවා පුරෝහිත රාජ සේවයට පැමිණි කල්හි එම අසුනෙහි හිඳුවා කථා ඇරඹීය. බමුණා කිසිවකුට අවකාශ නො දී රජු සමග කථාව පටන් ගත්තේය. එවිට කොරු තිර සිදුරෙන් එක එක එළු බෙට්ටක් බැගින් මැස්සකු ප්‍රවේශ කරන්නාක් මෙන් මුව තොල් මත හෙළීය. පුරෝහිත ද එන එන එළු බෙටි නළයට තෙල් පුරවන්නාක් මේන ගිල දැම්මේය. සියලු එළු බෙටි අවසන් විය. ඒ එලු බෙටි කුසගත වූ කල්හි අඩලාහක් පමණ විය.