6. උදඤ්චනී ජාතකය (106)
“සුඛං වත මං ජීවන්තන්ති” යන මෙම ජාතකය බුදු රජුන් දෙවුරම් වෙහෙර වසන සේක්, පතිකුලයට නො ගොස් කල් ඉක්ම වූ කුමරියකගේ පෙළඹවීමක් අරබයා දෙසූහ. මෙහි කථා පුවත තෙළෙස් වැනි නිපාතයේ චුල්ලනාරද කස්සප ජාතකයෙහි එන්නේය. බුදුහු ඒ භික්‍ෂුවගෙන් මහණ, ඔබ කළකිරුණේ සැබෑදැ යි විමසීය. ස්වාමීනි, එසේය, කී කල්හි මහණ, ඔබ සිත බැඳුණේ කවර අරමුණක ද? ස්වාමීනි, එක්තරා චුල්ල කුමාරිකාවක කෙරෙහි බැඳුණේය. මහණ, මැය ඔබගේ සැතිරියකි. පෙර මැය නිසා ඔබ ශීලයෙන් පිරිහී කම්පාවෙමින් සිටි කල්හි නුවණැත්තන් නිසා සැප ලැබීයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර රාජ්‍යය කැරවන කල්හි, අතීත කථාව ද චුල්ලනාරද කස්සප ජාතකයෙහි ම එන්නේය. එදින සවස් කාලයෙහි බෝසත්හු පලවැල ගෙන අවුත් පන්සලට පිවිස දොර විවෘත කොට පුත් වූ චුල්ල තාපසට මෙසේ කීය. දරුව, ඔබ වෙන දිනවල දරදිය ගෙනෙන්නෙහිය. ගිනි දල්වන්නෙහිය. අද ඒ කිසිවක් නො කොට දුක් මුහුණින් කල්පනා කැරෙමින් සිටින්නේ මක්නිසා ද? පියාණෙනි, ඔබතුමා පලවැල පිණිස ගිය කල්හි එක් ස්ත්‍රියක් අවුත් මා පොළඹවා මා ගෙනයන්නට තැත් කළාය. ඔබතුමා මා නිදහස් කරන්නේ නම් යන්නෙමි යි නො ගියෙමි. අසවල් තැන ඇය හිඳුවා ආවෙමි. පියාණෙනි, මම දැන් ඇය වෙත යමි. බෝසත්හු ඔහු නැවැත්වීමට නොහැකි බව දැන එසේ නම් දරුව, යව. ඔබ මැය රැගෙන ගොස් යම් දවසක මැය මස්, මාංශ කෑමට ආශා වන්නේ ද ගිතෙල්, ලුණු, සහල් ආදිය ඇයට අවශ්‍ය වන්නේ ද එදාට මේ මේ දේ ගෙන එව යි ඔබ වෙහෙස කරන්නීය. එදින ඔබ මගේ ගුණ සිහිකොට එයින් පිටවී මෙහි ම එව යි ඔහු නිදහස් කළේය. චුල්ල තාපස ද ඇය සමග මිනිස් පියසට ගියේය. ඉක්බිති, ඕ ඔහු තම වසඟයට ගෙන මස් ගෙන එව. මාළු ගෙන එව ආදී වශයෙන් යමක් ඇයට අවශ්‍ය ද ඒ ඒ දෙය ගෙන්වා ගනී. එවිට තවුසා මෙසේ සිතීය. මෑ ඇගේ දාසයකු - කම්කරුවකු ලෙස සිතා මට වඩාත් පීඩා කරතැයි පලා අවුත් පියා වෙත ම පැමිණ පියා වැඳ සිටියේ, මේ ගාථාව කීය.
“සුඛං වත මං ජීවන්තං පචමානා උදඤ්චනී,
චොරී ජායප්පවාදෙන තෙලං ලොණඤ්ච යාචතීති”
“ඒකාන්තයෙන් සුව සේ වෙසෙන මා පෙළමින් දිය ඉස්නා යන්ත්‍රයක් (ඝටිකාවක්) මෙන් භාර්යා නමින් සිටිමින් සෙරක් තෙල් ලුණු ආදිය ඉල්ලයි.”
එහි, “සුඛං වත මං ජීවන්තන්ති”, පියාණෙනි, ඔබතුමන් සමීපයෙහි සුව සේ ජීවත් වූ මා “පචමානා”, පීඩා හා සිත් තැවීම් කැරෙමින් යමක් කනු කැමැත්තී වන්නී ද ඒ ඒ දේ පිසන්නේය. යමකින් දිය ඉසිනු ලැබේද ඒ, “උදඤ්චනී” සැළියෙන් හෝ ළිඳකින් ජලය උඩට අදින යන්ත්‍රයයි. එයින් ජලය අදින්නාක් මේන ඇය යමක් කැමැති වන්නී ද ඒ ඒ දෙය ඇද ගනී, යන අර්ථයි. “චොරී ජායප්පවාදෙන”, භාර්යා නමින් එක් සෙරක් මා මිහිරි වචනයෙන් පොළඹවා එතැනට ගොස් තෙල් හා ලුණු ද වෙනත් කැමැති සියලු දේ ද ඉල්ලයි. මා දාසයකු මෙන් සලකා ගෙන්වා ගනිතැ යි ඇගේ අගුණ කීවේය.
ඉක්බිති, බෝසත්හු පුතු සනසා දරුව, එනු මැනවි. ඔබ මෙත් වඩන්න. කරුණාව වඩන්න යි සතර බ්‍රහ්ම විහරණ ඉගැන්වූහ. කසිණු පිරිකම් ද කීහ. ඔහු ද ටික දිනකින් ම අභිඤ්ඤා සමාපත්ති උපදවා බඹ විහරණ වඩා පියා සමග බඹ ලොව උපන්නේය.
බුදුහු ද මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් වදාළහ. ඒ භික්‍ෂුව සෝවාන් විය.
එදා චුල්ල කුමාරිකාව දැන් චුල්ල කුමාරිකාව වූවාය. චුල්ල තාපස කළකිරුණු භික්‍ෂුව විය. පියා වනාහි මම ම වීමි.
7. සාලිත්තක ජාතකය (107)
“සාධු ඛො සිප්පකං නාමති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, හංසයකුට පහරදුන් භික්‍ෂුවක් අරබයා දේශනා කළහ. එක්තරා සැවැත් නුවර එක්තරා වැසියෙක් සාලිත්ත ශිල්පයෙහි කෙළවරට පැමිණ සිටියේය. සාලිත්ත ශිල්පය නම් ගල් කැට විදීමේ ශිල්පයයැ යි කියනු ලැබේ. හෙතෙම එක් දවසක් දහම් අසා බුදු සසුනෙහි පැවිදි ව උපසම්පදාව ලැබීය. ඔහු ශික්‍ෂාකාමී නො වීය. පිළිවෙතින් ද සරු වූවෙක් නො වූයේය. දිනක් ඔහු ළදරු භික්‍ෂුවක් සමග අචිරවතී නදියට ගොස් නා ගං ඉවුරෙහි සිටියේය. එවේලෙහි සුදු හංසයෝ දෙදෙනෙක් අහසින් යමින් සිටියහ. එවිට ඔහු ළදරු භික්‍ෂුව අමතා මම මේ පසු ව යන හංසයා කැටකින් ඇසට පහර දී පාමුල හෙළමි. ඔබට එය කළ නො හැකියි. හංසයාගේ මෙපස ඇස තිබේවා. එපිට ඇසට ගසා හෙළමි. ඔබට නො හැකි දෙයක් කියන්නෙහිය. එසේ නම් බලා සිටිනු. එක් තුන්හුලස් කැටයක් ගෙන ඇඟිල්ලෙහි පටලවා හංසයාගේ පසුපසට විද්දේය. කැටය රූං ශබ්දය නඟිමින් අහසට නැඟිණි. හංසයා උවදුරක් විය යුතුයැ යි නැවතී හඬ අසන්නේ, එවිට කැටය ඇස විදගෙන ගියේය. එවිට ම හංසයා විලාප නඟමින් පාමුල වැටුණේය. එවිට භික්‍ෂූන් රැස්ව ඔහු ගර්හා කොට නුසුදුසු ක්‍රියාවක් කළේයැ යි බුදු රජුන් වෙත ගෙන ගොස් මෙකරුණ සැලකළහ. බුදු රජහු ඔහුගේ ක්‍රියාව හෙළා දකිමින් මහණෙනි, මේ භික්‍ෂුව මේ ශිල්පයෙහි දක්‍ෂ වනුයේ දැන් පමණක් නො වේ. පෙරත් දක්‍ෂ වූයේමැ යි වදාරා ඉකුත් වත දැක්වූහ.