5. දුබ්බලකට්ඨ ජාතකය (105)
“බහුම්පෙතං වනෙ කට්ඨන්ති” යන මේ ජාතක දේශනය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සේක්, එක් තැතිගත් භික්ෂුවක් අරබයා දෙසූහ. ඔහු වනාහි සැවැත් නුවර වැසි කුල පුත්‍රයෙකි. බුදු රජුන්ගෙන් බණ අසා පැවිදි විය. ඔහු මරණ බයින් තැති ගත්තකු විය. රෑ වසන තැන හා දවල් වසන තැන්වල දී සුළං හඬ, වියළි දඬු වැටෙන හඬ, කුරුළු සිව්පා ආදීන්ගේ හඬ අසා මරණ බයින් තැතිගෙන මහහඬ නංවමින් පැන යයි. තමා මැරෙන අයකු බවට හැඟීම් මාත්‍රයක්වත් නො වීය. ඉදින්, හේ මම කවදා හෝ මරණයට පත්වෙමි යි දැන සිටියේ නම් මරණයට බිය නො වන්නේය. මරණානුස්සති කමටහන නො වැඩූ බැවින් ම එසේ බය වෙයි. ඒ භික්ෂුවගේ මේ මරණයට බිය වීමේ ස්වභාවය භික්ෂූන් අතර ප්‍රකට විය.
භික්ෂූහු දිනක් දම් සභාවෙහි දී මේ කථාව මතු කළහ. ඇවැත්නි, අසවල් භික්ෂුව මරණයට බිය වූවෙකි. භික්ෂුව අවශ්‍යතාක් මා මිය යා යුතුයැ යි නිරතුරු මරණ සති භාවනාව වැඩිය යුතුය. බුදු රජහු දම් සභාවට ම වැඩි කල්හි, භික්ෂූහු එම කාරණය සැලකැර සැටියහ. බුදුහු ඒ භික්ෂුව කැඳවා මහණ, ඔබ මරණ බියෙන් තැතිගෙන සිටින්නෙහි ද? එසේය, ස්වාමීනි. ඉක්බිති, බුදුහු, මහණෙනි, මේ භික්ෂුව පිළිබඳ ව අමනාප නො වෙනු. මොහු මරණ භීරුක වනුයේ දැන් පමණක් නො වේ. පෙර ද මරණයට බිය වූයේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු හිමවත් පෙදෙසෙහි රුක් දෙවියෙක් වී උපන්හ. එකල බරණැස් රජ තම මඟුළැති යුද්ධයේ දී නො සැලී සිටින සේ හික්මවීමට ඇත් ගුරුන්ට දුන්නේය. ඔවුහු ඇතු වැටෙහි බැඳ තෝමර ගත් අත් ඇති මිනිස්සු පිරිවරා යුදට වන් විට බිය ව පලා නො යනු සඳහා ආලනයෙහි බැඳ හික්මීම කරත්. මිනිස්සු ඒ කාර්යය කරන කල්හි අධික වේදනාව ඉවසීමට නො හැකි ඇතු ටැඹ බිඳ දමා මිනිසුන් එළවා හිමවතට ම පැන ගියේය. මිනිස්සු ඇතු අල්ලාගැනීමට නො හැක්කාහු, නැවතුණහ. ඌ එහි මරණයෙහි බියපත් විය. ඇතා සුළං හඬට පවා සැලෙමින් මරණ බියෙන් බියපත් ව සොඬ වනමින් වේගයෙන් පැන යයි. එහි දී ද ඇතුට ටැඹෙහි බැඳ නො සැලී සිටින හික්මවීම කරන්නාක් මෙන් දැනෙයි. කයට හෝ සිතට අස්වැසිල්ලක් නොලැබ වෙවුලමින් ඒ මේ අතර හැසිරෙයි.
ඒ දුටු රුක් දෙවියා ගසෙහි කඳ අත්තක සිට මේ ගාථාව කීය.
“බහුම්පෙතං වනෙ කට්ඨං වාතො භඤ්ජති දුබ්බලං,
තස්ස චෙ භායසි නාග, කිසො නූන භවිස්සසීති”
තස්ස චෙ භායසි නාග, කිසො නූන භවිස්සසීති”
“වනයෙහි දුර්වල යම් කාෂ්ඨයක් සුළඟ විසින් බිඳී ද ඇතුන් ඉදින්, එයට බිය වන්නේ නම් ඒකාන්තයෙන් කෘෂ වූවෙක් වන්නෙහිය.”
එහි, මේ ලුහුඬු අර්ථයයි. යම් ඒ දුබල දර කඩක් පෙරදිග ආදී දිශාවලින් හමන වාතය විසින් සිඳී ද ඒ මේ වනයෙහි සුලබ දෙයකි. තැන් තැන්වල එවැනි දේ පවතී. ඔබ ඊට බය වන්නේ නම් ඒකාන්තයෙන් කෘෂ වූවෙක් වන්නේය. මේ වනයෙහි ඔබට බියක් නැත. එම නිසා මෙතැන් සිට බිය නො වෙමි.
මෙසේ දෙවියා ඔහුට ඔවදන් දුන්නේය. ඇතු ද එතැන් සිට බිය නො වූයේය.
බුදුහු මේ ජාතක දේශනය නිමකොට සිව්සස් වදාළහ. ඒ භික්ෂුව ද සෝවාන් විය. එදින ඇතා මේ භික්ෂුව විය. රුක් දෙවියා මම ම වීමි.
6. උදඤ්චනී ජාතකය (106)
“සුඛං වත මං ජීවන්තන්ති” යන මෙම ජාතකය බුදු රජුන් දෙවුරම් වෙහෙර වසන සේක්, පතිකුලයට නො ගොස් කල් ඉක්ම වූ කුමරියකගේ පෙළඹවීමක් අරබයා දෙසූහ. මෙහි කථා පුවත තෙළෙස් වැනි නිපාතයේ චුල්ලනාරද කස්සප ජාතකයෙහි එන්නේය. බුදුහු ඒ භික්ෂුවගෙන් මහණ, ඔබ කළකිරුණේ සැබෑදැ යි විමසීය. ස්වාමීනි, එසේය, කී කල්හි මහණ, ඔබ සිත බැඳුණේ කවර අරමුණක ද? ස්වාමීනි, එක්තරා චුල්ල කුමාරිකාවක කෙරෙහි බැඳුණේය. මහණ, මැය ඔබගේ සැතිරියකි. පෙර මැය නිසා ඔබ ශීලයෙන් පිරිහී කම්පාවෙමින් සිටි කල්හි නුවණැත්තන් නිසා සැප ලැබීයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර රාජ්‍යය කැරවන කල්හි, අතීත කථාව ද චුල්ලනාරද කස්සප ජාතකයෙහි ම එන්නේය. එදින සවස් කාලයෙහි බෝසත්හු පලවැල ගෙන අවුත් පන්සලට පිවිස දොර විවෘත කොට පුත් වූ චුල්ල තාපසට මෙසේ කීය. දරුව, ඔබ වෙන දිනවල දරදිය ගෙනෙන්නෙහිය. ගිනි දල්වන්නෙහිය. අද ඒ කිසිවක් නො කොට දුක් මුහුණින් කල්පනා කැරෙමින් සිටින්නේ මක්නිසා ද? පියාණෙනි, ඔබතුමා පලවැල පිණිස ගිය කල්හි එක් ස්ත්‍රියක් අවුත් මා පොළඹවා මා ගෙනයන්නට තැත් කළාය. ඔබතුමා මා නිදහස් කරන්නේ නම් යන්නෙමි යි නො ගියෙමි. අසවල් තැන ඇය හිඳුවා ආවෙමි. පියාණෙනි, මම දැන් ඇය වෙත යමි. බෝසත්හු ඔහු නැවැත්වීමට නොහැකි බව දැන එසේ නම් දරුව, යව. ඔබ මැය රැගෙන ගොස් යම් දවසක මැය මස්, මාංශ කෑමට ආශා වන්නේ ද ගිතෙල්, ලුණු, සහල් ආදිය ඇයට අවශ්‍ය වන්නේ ද එදාට මේ මේ දේ ගෙන එව යි ඔබ වෙහෙස කරන්නීය. එදින ඔබ මගේ ගුණ සිහිකොට එයින් පිටවී මෙහි ම එව යි ඔහු නිදහස් කළේය. චුල්ල තාපස ද ඇය සමග මිනිස් පියසට ගියේය. ඉක්බිති, ඕ ඔහු තම වසඟයට ගෙන මස් ගෙන එව. මාළු ගෙන එව ආදී වශයෙන් යමක් ඇයට අවශ්‍ය ද ඒ ඒ දෙය ගෙන්වා ගනී. එවිට තවුසා මෙසේ සිතීය. මෑ ඇගේ දාසයකු - කම්කරුවකු ලෙස සිතා මට වඩාත් පීඩා කරතැයි පලා අවුත් පියා වෙත ම පැමිණ පියා වැඳ සිටියේ, මේ ගාථාව කීය.