4. මිත්තවින්දක ජාතකය (104)
“චතුබ්හි අට්ඨජ්ඣගමාති” යන මේ ජාතක දේශනා බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, අකීකරු භික්ෂුවක් අරබයා දේශනා කළහ. මෙහි කථා පුවත යට මිත්තවින්ද ජාතකයෙහි කී අයුරින් විස්තර කළ යුතුය. මේ ජාතකය කස්සප බුදු රජුන්ගේ කාලයට අයත් වේ. එකල අපාගත සත්ත්වයෙක් උරචක්රය ඔසවාගෙන නිරයෙහි පැසෙන්නේ, ස්වාමීනි, මම කිනම් පවක් කළේ වෙම්දැ යි බෝසතුන්ගෙන් විචාළේය. එවිට බෝසත්හු තා විසින් මේ මේ පව්කම් කරන ලදැ යි මේ ගාථාව කීහ.
“චතුබ්හි අට්ඨජ්ඣගමා අට්ඨාහිපි ච සොළස,
සොළසාහි ච බත්තිංස අත්රිච්ඡං චක්කමාසදො,
ඉච්ඡාහතස්ස පොසස්ස චක්කං භමති මත්ථකෙති”
සොළසාහි ච බත්තිංස අත්රිච්ඡං චක්කමාසදො,
ඉච්ඡාහතස්ස පොසස්ස චක්කං භමති මත්ථකෙති”
“සතර දෙනාගෙන් නො සතුටු ව අට දෙනකු වෙත ගියේය. අට දෙනාගෙන් නො සතුටු ව සොළොස් දෙනකු කරා ගියේය. සොළොස් දෙනාගෙන් නො සතුටු ව දෙතිස් දෙනකු කරා ගියේය. එයින් නො සතුටු ව වැඩියෙන් පතන්නේ, උරචක්රයට ගියේය. ආශාවෙන් පහර ලැබූ පුරුෂයාගේ හිස මුදුනෙහි උරචක්රය කැරකෙයි.”
එහි, “චතුබ්හි අට්ඨජ්ඣගමාති”, මුහුද මැද විමාන ප්රේතයන් සිව් දෙනකු ලැබ ඔවුන්ගෙන් සතුටු නො වී වැඩි ආශාව නිසා ඉදිරියට ගොස් විමාන ප්රේතියන් අට දෙනකුන් ලැබීය යන අර්ථයි. සෙසු පද දෙකෙහි ද මේ ක්රමය මැයි. “අත්රිච්ඡං චක්කමාසදො” මෙසේ ලද දෙයින් නො සතුටු ව මහත් ආශාව නිසා තව තවත් පතමින් දැන් උරචක්රය ලැබීය. මේ උරචක්රයට පැමිණියෙහි. මෙසේ වූ ඔහුට, “ඉච්ඡාහතස්ස පොසස්ස”, තෘෂ්ණාවෙන් පීඩා වූ පහර ලැබූ ඒ ඔබගේ “චක්කං භමති මත්ථකෙති”, ගලින් කළ චක්රය යකඩින් කළ චක්රය යන ද්විධ වූ මුවහත් ඇති යකඩ චක්රය ඒ පුරුෂයාගේ හිස මුදුනෙහි භ්රමණය වෙමින් වැටෙනු දැක මෙසේ කීය. මෙසේ ද කියා තමන්ගේ දෙව් ලොවට ම ගියේය. ඒ නිරි සතා ද තම පව් ගෙවුණු පසු කම් වූ පරිදි ගියේය.
බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එදින මිත්තවින්දක දැන් අකීකරු භික්ෂුව විය. දෙව් පුත් වනාහි මම ම වීමි.
5. දුබ්බලකට්ඨ ජාතකය (105)
“බහුම්පෙතං වනෙ කට්ඨන්ති” යන මේ ජාතක දේශනය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සේක්, එක් තැතිගත් භික්ෂුවක් අරබයා දෙසූහ. ඔහු වනාහි සැවැත් නුවර වැසි කුල පුත්රයෙකි. බුදු රජුන්ගෙන් බණ අසා පැවිදි විය. ඔහු මරණ බයින් තැති ගත්තකු විය. රෑ වසන තැන හා දවල් වසන තැන්වල දී සුළං හඬ, වියළි දඬු වැටෙන හඬ, කුරුළු සිව්පා ආදීන්ගේ හඬ අසා මරණ බයින් තැතිගෙන මහහඬ නංවමින් පැන යයි. තමා මැරෙන අයකු බවට හැඟීම් මාත්රයක්වත් නො වීය. ඉදින්, හේ මම කවදා හෝ මරණයට පත්වෙමි යි දැන සිටියේ නම් මරණයට බිය නො වන්නේය. මරණානුස්සති කමටහන නො වැඩූ බැවින් ම එසේ බය වෙයි. ඒ භික්ෂුවගේ මේ මරණයට බිය වීමේ ස්වභාවය භික්ෂූන් අතර ප්රකට විය.
භික්ෂූහු දිනක් දම් සභාවෙහි දී මේ කථාව මතු කළහ. ඇවැත්නි, අසවල් භික්ෂුව මරණයට බිය වූවෙකි. භික්ෂුව අවශ්යතාක් මා මිය යා යුතුයැ යි නිරතුරු මරණ සති භාවනාව වැඩිය යුතුය. බුදු රජහු දම් සභාවට ම වැඩි කල්හි, භික්ෂූහු එම කාරණය සැලකැර සැටියහ. බුදුහු ඒ භික්ෂුව කැඳවා මහණ, ඔබ මරණ බියෙන් තැතිගෙන සිටින්නෙහි ද? එසේය, ස්වාමීනි. ඉක්බිති, බුදුහු, මහණෙනි, මේ භික්ෂුව පිළිබඳ ව අමනාප නො වෙනු. මොහු මරණ භීරුක වනුයේ දැන් පමණක් නො වේ. පෙර ද මරණයට බිය වූයේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කැරවන කල්හි බෝසත්හු හිමවත් පෙදෙසෙහි රුක් දෙවියෙක් වී උපන්හ. එකල බරණැස් රජ තම මඟුළැති යුද්ධයේ දී නො සැලී සිටින සේ හික්මවීමට ඇත් ගුරුන්ට දුන්නේය. ඔවුහු ඇතු වැටෙහි බැඳ තෝමර ගත් අත් ඇති මිනිස්සු පිරිවරා යුදට වන් විට බිය ව පලා නො යනු සඳහා ආලනයෙහි බැඳ හික්මීම කරත්. මිනිස්සු ඒ කාර්යය කරන කල්හි අධික වේදනාව ඉවසීමට නො හැකි ඇතු ටැඹ බිඳ දමා මිනිසුන් එළවා හිමවතට ම පැන ගියේය. මිනිස්සු ඇතු අල්ලාගැනීමට නො හැක්කාහු, නැවතුණහ. ඌ එහි මරණයෙහි බියපත් විය. ඇතා සුළං හඬට පවා සැලෙමින් මරණ බියෙන් බියපත් ව සොඬ වනමින් වේගයෙන් පැන යයි. එහි දී ද ඇතුට ටැඹෙහි බැඳ නො සැලී සිටින හික්මවීම කරන්නාක් මෙන් දැනෙයි. කයට හෝ සිතට අස්වැසිල්ලක් නොලැබ වෙවුලමින් ඒ මේ අතර හැසිරෙයි.
ඒ දුටු රුක් දෙවියා ගසෙහි කඳ අත්තක සිට මේ ගාථාව කීය.
“බහුම්පෙතං වනෙ කට්ඨං වාතො භඤ්ජති දුබ්බලං,
තස්ස චෙ භායසි නාග, කිසො නූන භවිස්සසීති”
තස්ස චෙ භායසි නාග, කිසො නූන භවිස්සසීති”